Ads 468x60px

.

මම හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. මානසිකවත් ඇදවැටුණා - ආශා

මම උත්සාහ කරන්නෙ මගෙන් වෙච්චි වැරදි හදාගන්න...

මම බලා ඉන්නෙ මාව රැක බලාගන්න පුළුවන් කෙනෙක් හම්බවෙනකන්...

ගහකට එතෙන වැලක් වගේ ආදරයෙන් බැඳෙන්න ඕනෑ... 

ආශා එදිරිසිංහ කියන්නෙ වැඩි කලබලයක් නැතිව තමන්ගෙ ගමන යන නිළියක්. ඇය කියන්නෙ නිර්මාණ ගොඩක් බදාගෙන රඟපෑමේ ආශාවක් නම් නැහැ කියලයි. ඒත් ඇය මේ දවස්වල කාර්යබහුලයි. ඒ රඟපෑම නිසා නම් නෙවෙයි.

මේ ඇයත් සමඟ කල කතා බහක්...

අලුත් අවුරුද්දෙ ඔයාගෙ වැඩ කටයුතු මොන වගේද?
අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුත් එක්කයි මම ඉන්නෙ. ඒ බලාපොරොත්තුවල මුලින්ම තියෙන්නෙ අපේ නිෂ්පාදන ආයතනය. සන්නිවේදන කටයුතුත්, ටෙලි නාට්‍ය කටයුතුත් අපේ නිෂ්පාදන ආයතනය තුළ සිදු කෙරෙනවා.

මේ දවස්වල අපි ටෙලි නාට්‍ය දෙකක වැඩකටයුතු කරගෙන යනවා. 'අළු බඳුන' ඒ එක ටෙලිනාට්‍යයක්. අළු බඳුන වැඩකටයුතු හුඟක් දුරට අවසන්. ළඟදීම ඒක ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබේවි.

පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු මොන වගේද?
පෞද්ගලික ජීවිතයත් ආයතනයේ වැඩකටයුතුත් එක්ක සම්බන්ධවෙලා තමයි ගතවෙන්නෙ. හැම තත්ත්පරයක්ම මම ඒ වෙනුවෙන් යොදවනවා. ඒ හින්දා කාර්යබහුලයි.

පසුගිය අවුරුද්ද දිහා ආපහු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?
පසුගිය අවුරුද්දේ මම හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. මානසිකවත් ඇදවැටුණා. ඒත් මං මේ අවුරුද්ද පටන්ගත්තෙ ඊට වඩා ශක්තියකින්. බලාපොරොත්තුත් එක්ක.

අයි.ටී.එන්. නාළිකාව ඔස්සේ විකාශනය වෙච්ච රන් සමනලයෝ ටෙලි නාට්‍යයේ සමනලී ඔයා. තාමත් සමනලීට රසික රසිකාවියො ආදරෙයි නේද?
අනේ ඔව්. සමනලී බොහොම සංවේදී චරිතයක්. ඇයට වගේම අද නිරූපණය කළ මටත් රසික රසිකාවියො හුඟක් ආදරෙයි.

ගෙදර ජීවිතය තුළ බැඳීම් මොනවගේද?
අයියයි, මමයි, තාත්තයි, අම්මයි අපි හතර දෙනා ඉන්නෙ පුදුම බැඳීමකින්. ඒක ශක්තියක්. පවුලේ අයගෙන් ලැබෙන ආදරය ආශීර්වාදයක්. ඇද වැටෙන වෙලාවලදී නැඟිටලා ඉන්න උදවුවෙන්නෙ පවුල තුළ තියෙන ආදරය වගේම බැඳීම.

ආදරය කියන දේ ඔයා පැහැදිලි කරන්නේ මොන විදියටද?
ආදරේ හරිම සුන්දරයිනෙ. හැබැයි අවංකකමත් විශ්වාසවන්ත බවත් තියෙන්න ඕනෑ. ආදරයේදී සිත් රිදීම් වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒත් අවංකකමයි විශ්වාසයයි තියෙනවා නම් ඒ ආදරේ පලුදු වෙන්නෙ නෑ. ඒක සුන්දර ආදරයක් වෙයි.

ඔයත් ඔයාගේ ජීවිතේ ආදරය අත්විඳල තියෙනවද?
ඔව්. අත්විඳල තියෙනවා.

එතකොට විවාහය කියන්නේ?
ඕනෑම ගැහැනු ළමයෙකුගෙ කැමැත්ත ආරක්‍ෂාවෙන් උපරිම ආදරයෙන් විවාහ ජීවිතයක් ගත කරන්නනෙ. ගහකට වැලක් වගේ ආදරයෙන් බැඳිල ජීවත් වෙන්නනෙ. මමත් බලා ඉන්නෙ මාව රැකබලාගන්න පුළුවන් අවංකව විශ්වාසයෙන් ඉන්න කෙනෙකුට. මුළු ජීවිත කාලයමනෙ එයාට බාර දෙන්නෙ.

ඒත් මෑත කාලයේ කලා ක්‍ෂේත්‍රයේ අහන්න දකින්න ලැබෙන්නෙම විවාහය ගැන හොඳ ආරංචි නෙවෙයිනෙ.
ඒක ඇත්ත. මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි පොදුවේ සමාජයේත් ඒ වගේ දේවල් තියෙනවා. 10 කුගෙන් 5ක්ම විවාහය පිළිබඳ ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඒත් විවාහය කියන කාරණාවේදී විවාහ වෙන්න ඕනෑ නිසා විවාහ වෙන එක නෙවෙයි වෙන්න ඕනෑ. නිවැරැදි තීරණයකුයි ගන්න ඕනෑ.

මමත් උත්සාහ කරන්නෙ අතීතයේ වැරැදි නිවැරැදි කරගෙන අලුතින් ජීවිතයට මුහුණ දෙන්න. ආදරයේදී විවාහයේදී රවටන්න හොඳ නෑ. මගේ අම්මයි තාත්තයි වයසට ගිහිල්ලත් බොහොම ආදරෙන් ජීවත් වෙනවා. වැලන්ටයින් දිනයත් ඒගොල්ලො ආදරෙන් සමරනවා. ඇත්තටම මමත් ඒ දිහා බලා ඉන්නෙ හරිම ආදරයෙන්.

ඔයාට පුංචි කාලේ ඉඳලම නිළියක් වීමේ සිහිනයක් තිබුණාද?
මට තිබුණෙ නැටුම් ටීචර් කෙනෙක් වෙන හීනයක්. ඒ හින්දා මං අවු. 12 විතර වෙනකම් නැටුම් ඉගෙන ගත්තා. ඒ හීනය හින්ද මගේ පාඩම් වැඩක් අතපසු වුණා. අධ්‍යාපන කටයුතු පල්ලෙහාටම ගියා. ඊට පස්සේ ඒ හීනය පස්සෙන් යන එක ටිකක් ගෙදරින් නැවැත්තුවා. ආයේ තවත් හීනයක් මට තිබුණා. වෛද්‍යවරියක් වෙන්න ඕනැයි කියලා.

ඒ දවස්වල බෝනික්කො පෙළට තියල බෙහෙත් දිදී ඒ හීනය අත්හදා බැලුවා. කොහොම හරි මටම හිතිල අධ්‍යාපන කටයුතු ආයෙ හරිගස්සාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ නිර්මාණාත්මක පැත්තට මගේ හිත ගියා. කොහොමටත් මං රංගනයටත් වඩා කැමැති නිර්මාණාත්මක දෙයකින් කලා ක්‍ෂේත්‍රයේ රැඳෙන්න.

අළු බඳුන ටෙලි නාට්‍ය ගැන තවත් විස්තර ටිකක් කියන්න.
අළු බඳුන දිලූක ප්‍රසාද්ගෙ අධ්‍යක්‍ෂණයක්. ප්‍රවීණ නළු නිළියො රැසක්ම රංගනයෙන් දායක වෙනවා. මමත් සුද්දි කියල තරුණියකගෙ චරිතයක් රඟපානවා. කතරගම දුෂ්කර ගමක රූපගත කිරීම් කළේ. හැබැයි සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස්. ඉහළ රසාස්වාදයක් ලබාදෙන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා.

ඔයාගේ රසික රසිකාවියන් වෙනුවෙන් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද?
ජීවිතය ගැන හීන දකින්න. ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න. එතකොට මේ අවුරුද්ද වාසනාවන්ත කරගන්න පුළුවන් වේවි. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.
 
Related Posts with Thumbnails