Ads 468x60px

.

වාන්ඇළ ජනපදයම හඬවා කවිෂ්ක පුතු අවසන් ගමන් ගිය හැටි...

ළමයාගේ තාත්තා පිස්‌සු වැටිලා. එකම ළමයනේ... 

මිනිය ගෙනාපු වෙලේ එයා පිහියක්‌ අරගෙන වත්ත පුරාම දිව්වා. 

ජීවිතේ නැති කරගන්න...

පසුගිය 26 දා තම 17 වන උපන් දිනය සමරන්නට ලක ලැහැස්‌ති වී සිටි එහෙත් ගිනි ගොඩක්‌ අවුළුවා 25 දා ඒ සියලු බලාපොරොත්තු, සිහින, මාරයාට පූජාකොට අවාසනාවන්ත ලෙස සමුගත් කන්තලේ වාන්ඇළ ජනපදයේ පදිංචි කන්තලේ මධ්‍ය මහා විදුහලේ දීප්තිමත් සිසුවකු වූ ඒ. ජී. කවිෂ්ක මධුවන්ත සිසුවාගේ මරණයෙන් ඔහුගේ පියා මහත් කම්පාවට පත්ව වේදනාවෙන් යුතුව පුතුගේ දේහය අසලට වී නොකා නොබී එක්‌තැන්ව සිටිනවා. 

කන්තලේ ප්‍රදේශයේ ජනතාව දේහයට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණෙමින් සිටිනු දක්‌නට ලැබුණා.

ඉකුත් 19 දා තම පියාගේ කුඹුරින් නෙළාගන්නා ලද වී අස්‌වැන්න මිටිකොට ට්‍රැක්‌ටරයක
ට්‍රේලරයක පටවාගෙන සේරුනුවර - කන්තලේ ප්‍රධාන මාර්ගයෙන් තම වාන් ඇළ නිවසට ගෙනඑමින් සිටිය දී එම මාර්ගයේ 12 බැරියර් එක අසල දී වී මිටියක්‌ සමග මධුවන්ත දරුවා ටේලරයෙන් මහමගට ඇද වැටී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25 දා ජීවිතයෙන් සමුගත්තා.

මධුවන්තගේ පියා යුද හමුදාවේ විශ්‍රාමිකයෙකු වන ඒ. ජී. කරුණාතිලක වන අතර මෑතක්‌ වනතුරුම පදිංචිව සිට ඇත්තේ කොළඹ හෝමාගම ප්‍රදේශයේය. මධුවන්ත පන්නිපිටිය ධර්මපාලයේ හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබා මීට වසර දෙකකට පමණ උඩදී කන්තලේ මැදිමහ විදුහලට ඇතුල් වී ඇත. 


ඔහු මෙවර අ. පො. ස. (සා. පෙළ) විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසුවී ඇත. ඔහුගේ පවුලේ සියල්ල මේ වනවිට මහගෙදර වන කන්තලේ වාන්ඇළ ජනපදයේ ජීවත් වෙති.

කන්තලේ සිට කිලෝමීටර් 15 ක්‌ පමණ ගෙවා අප වාන්ඇළ මළ ගෙදරට යනවිටද නිවස අවට භූමිය පමණක්‌ නොව මාර්ගයේ ද වැල නොකැඩී එන ජනී ජනයාගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබිණි. එහිදී හමුවූ හිතවතකුගෙන් නිවසේ හා එහි වැඩකටයුතු පිළිබඳ පුංචි විපරමක්‌ කර සිටියෙමු. ඔහු පැවසූ වදන්වලින් අපි තැති ගතිමු.

"ළමයාගේ තාත්තා පිස්‌සු වැටිලා. එකම ළමයනේ. මිනිය ගෙදරට ගෙනාපු වෙලේ එයා පිහියක්‌ අරගෙන වත්ත පුරාම දිව්වා. ජීවිතේ නැති කරගන්න. අහළ පහළ අය මේ වනතුරුත් එයා පස්‌සෙන් ඉන්නෙ. පස්‌සේ ජයන්තිපුර පන්සලේ නායක හාමුදුරුවන් ඉක්‌මනට නිවසට වැඩම්මවලා තමයි මෙයාව සන්සුන් කරගත්තෙ".

එම කථාවෙන් පසු අපට සිද්ධියේ පිංතූර ගැනීමට පවා දෙවරක්‌ සිතන්නට සිදුවිය.

මධුවන්තගේ සුළු පියා තාත්තාගේ මල්ලී වන අපට සහය ලබාදුන් රණසිංහ මහතා

"මේ අයියගෙ පුතා. පවුලේ එකම ළමයා. අයියටයි, අක්‌කටයි මෙයා ඇරුනාම වෙන ලෝකයක්‌ නෑ. ඉගෙන ගන්න තියෙන්නෙ පුදුම දක්‌ෂකමක්‌. මෙයා ඉස්‌කෝලෙට ආවේ වාන් ඇලේ ගෙදර ඉඳලා. ඉතින් ඉස්‌කෝලෙට කිලෝ මීටර් 15 ක්‌ විතර බස්‌ එකෙන් එන්න ඕන. 


ඒක කරදර නිසා මම ඉන්න භාතියගම අපේ ගෙදර ඉඳලා මෙයා ඉස්‌කෝලෙ ගියා. අපිට මෙයා ගැන හොයන්න බලන්න කිසිම අවශ්‍යතාවක්‌ තිබුණෙ නෑ. මොකද මෙයා ගෑනු ළමයෙක්‌ වගේ. 

වැරැදි වැඩ, අනවශ්‍ය වැඩ, රස්‌තියාදු ගැහිලි මේ කිසිම දේකට සම්බන්ධ වෙන්නෙ නෑ. ගෙදර ආව ගමන් තියෙන වැඩක්‌ පලක්‌ කරලා පාඩම් කරනවා.

ඔය සිද්ධිය වුණු දවසේ වී අරගෙන ට්‍රැක්‌ටරය පිටත්වන විට මම කෑ ගහලා කීප සැරයක්‌ම මෙයාට කිව්වා ඔයාට ඕවා පුරුදු නෑ ඔයා යන්න එපා කියලා. ඒත් හිතේ තියෙන ආශාවට මෙයා නැගලා ගියා. ඒක වෙලාව කියලයි මට හිතෙන්නේ. 


26 උපන් දිනේට ජංගම දුරකතනයක්‌, ලැප්ටොප් එකක්‌ එයාට ඕන කිව්වා. ඒ දෙකම අරන් දෙන්න මම පොරොන්දු වුණා. ඒත් ඒ සියල්ල අපි දන්නෙ නැති කවුදො කෙනෙක්‌ අපෙන් උදුරාගත්තා" යෑයි කියා හෙතෙම දෑස්‌ පියා ගත්තේය.

මියගිය සිසුවාගේ පියාගේ හැසිරීම් රටාව හා ආවේගය පාලනය කරගත් වාන් ඇළ ජයන්තිපුර ශ්‍රී විසුද්ධාරාම පුරාණ රජමහා විහාරාධිපති උ/නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක උදළුමඩ ගුණරතන නායක හිමියන් අප සම්බන්ධ කර ගත්තේ මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ දැඩි කුතුහලයෙනි.

කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. සිද්ධිය වූදා රාත්‍රි 7.00 ට පමණ අපට පණිවුඩය ගෙනාවේ චන්දන ප්‍රියදර්ශන කියන අය. ඔබ වහන්සේ වැඩියේ නැත්නම් මළ ගෙදර තවත් මිනී කීපයක්‌ වළලන තත්වයට පත්වෙයි හැකි ඉක්‌මනින් වඩින්න යෑයි ඔහු කියා සිටියා. අපේ පන්සලේ වැඩ සිටින ගල්කැටිවෙල සුමනවංශ හාමුදුරුවොත් එක්‌ක මම ගියා. 


මළ ගෙදර එකම යුද පිටියක්‌. මිනිස්‌සු කීපදෙනෙක්‌ මියගිය දරුවගෙ තාත්තා බදාගෙන. මෙයා පිහියක්‌ අරගෙන ලණු අරගෙන වත්ත වටේ දුවලා තියෙනවා. මට දැන් ජීවත් වෙලා වැඩක්‌ නෑ. මගේ එකම කොල්ලා මගෙන් හොරු අරන් ගියා. මමත් ඌත් එක්‌කම යනවා කියලා."

මම බොහොම ශාන්තව කතා කළා. දැන් මොකක්‌ද කෙරෙන්න ඕන කියලා. ඇහැව්වට මටත් එයත් එක්‌කම යන්න ඉඩ දෙන්න කිව්වා. කොච්චර කීවත් අහන්නෙම නෑ. අන්තිමට එයා එකඟතාවකට ඇවිත් කිව්වා පුතාගේ 7 දවසෙ දානේ දීලා එයට මහණ වෙන්න ඕන කියලා. ඉතින් මම කිව්වා හරි අපි ඒක කරමු. 


හැබැයි ඒ වැඩේට ඔයාගේ නෝනගෙ කැමැත්ත ඕන කියලා. පස්‌සෙ අපි නෝනව ගෙන්නගෙන ඇහුවා. මහත්තයා මෙහෙම දේකට අවසර ඉල්ලනවා ඔබ මොකද කියන්නෙ කියලා? අපේ හාමුදුරුවනේ මම හිටියෙ එකම කොලු පැටියයි. 

ඌ කවදා හරි දොස්‌තර කෙනෙක්‌ වෙලා අපි දෙන්නට ලෝකයේ දෙන්න පුළුවන් ඉහළම සැප සම්පත් ලබාදෙනවා. මම කොහොම හරි හොඳට ඉගෙන ගෙන අපේ පරම්පරාවම ගොඩ දානවා කියලා. කෙල්ලකේ වගේ ගෙදර හැදුනු වැඩුණු දේව පැටියා මට නැති වුණා. 

ඒ දුක දරාගන්න බැරිව පපුව හතරට පැලෙන්න එන මට මගෙ මහත්තයත් නැති වුණොත් මම ජීවත් වෙන්නෙ කොහොමද අපේ හාමුදුරුවනේ. එහෙමනම් මාවත් මහණ කරන්න. අපේ හාමුදුරුවනේ. කියලා ඒ මාතාව මගේ කකුල් දෙක ළඟ වැඳ වුණා.

දැන් දරුවගෙ තාත්තා මහණ වෙන්න හිසත් මුඩුකරගෙන ඉන්නෙ. හත් දවසෙ දානේ දෙනතුරු අපි එයාව හොඳට බලාගත යුතුයි. බලමු අපි මොකද වෙන්නෙ කියලා. නායක හිමියෝ එසේ වදාළහ.

කවිෂ්කගේ පන්තිය භාර ගුරුතුමිය ජී. ඩී. කමලාවතී මහත්මිය මෙසේ පැවසුවා.

මගේ ගුරු ජීවිතයට දැන් අවුරුදු 23 යි. ඒ මේ කාලය තුළ මේ වගේ චරිතයක්‌ මට හමුවෙලා නෑ. ශිෂ්‍ය ජීවිතය කියන එක එයාගේ ඇඟ ඇතුලෙම තිබුණයි කියලයි මම හිතන්නේ. ඒ තරමට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරනවා. විනය කියන එක සීයට දෙසීයක්‌ තිබුණා. 


මම එකම උදාහරණයක්‌ කියන්නම්. දරුවා පාසලට ඇවිත් අවුරුදු 2 යි. මේ අවුරුද්දෙ ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගන්නා විට කාලය ඔහුට මදි වුණා. ඒත් අපේ ආචාර්ය මණ්‌ඩලය විදුහල්පති සිරිපාල ගලප්පත්ති මහතාත් සමග සියල්ල සාකච්ඡා කරලා. 

මේ දරුවාගේ චරිතය අනෙකුත් දරුවන්ට විද්‍යාලයේ සිසු නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ දී දරුවන් ඉදිරියට කැඳවලා හඳුන්වලා දෙන්න අපි තීරණය කළා. ඒ තරමට විනය ගරුක තැන්පත් ඉගෙනීමට උපන් හපන් දක්‌ෂ දරුවෙක්‌.

කවිෂ්ක මධුවන්ත දරුවාගේ අවසන් කටයුතු ඊයේ (27 දා) වාන්ඇළ ජනපදයේ පොදු සුසාන භූමියේ දී දහස්‌ සංඛ්‍යාත පාසල් දරු දැරියන්ගේ හා ජනපදවාසීන්ගේ සෝ සුසුම් මැද සිදුවිය.
 
Related Posts with Thumbnails