Ads 468x60px

.

දමිතා ඇත්තටම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වකට සේමිණි ගැන කිව්ව කතාව මෙන්න...

සේමිණීගේ නම විකුණලා දිනන්න දෙයක් මේ ක්‍ෂේත්‍රයේ මට නැහැ...

ඒත් කර කියා ගන්න දෙයක් නැති...අනුන්ගේ පවුල් කඩා ඉහිරවන... 

රංගන ශිල්පිනියක් තමයි මේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ කියලා මට මඩ ගහලා...

එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය කෙරුණු වැඩසටහනක දී තමාගේ නම ඈදගෙන අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි චෝදනා නගමින් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ, රංගන ශිල්පිනී  දමිතා අබේරත්නට එරෙහිව ඉකුත් 21 වැනි දින නඩු පැවරුවාය.

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන එම චෝදනා සම්බන්ධයෙන් දමිතා දරන්නේ කෙබඳු මතයක් දැයි දැනගනු පිණිස අපි ඇයව මෙසේ සංවාදයට එක්කර ගත්තා.

සේමිණි ඉද්දමල්ගොඩට ප්‍රසිද්ධියේ අපහාස කළ බවට චෝදනාවක් ඔබට එල්ල වී තිබෙනවා. එම චෝදනාව සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ මොනවාද?

පැහැදිලිවම මම නිර්දෝෂීයි.

එසේනම්, ඔබ අපහාසාත්මක ප්‍රකාශයක් කළාය කියන එම ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවේදී ඔබ ඇය ගැන මොනවාද පැවසුවේ?

සේමිණි ඉද්දමල්ගොඩට මම කිසිම අපහාසයක් කළේ නැහැ. ඇගේ නම සම්බන්ධ කරලා එක්තරා වෙබ් අඩවියක් විසින් පළ කරපු පුවතක් සම්බන්ධයෙන්, ඔය කියන සම්මුඛ සාකච්ඡාවේදී මගෙන් විමසූ විට, ඔය කවුරුවත් යන එන හෝටල් ගැන සොයන්න වෙලාවක් මට නැහැ කියලා මම උත්තර දුන්නා. 


ඇත්තටම, මම කාර්යබහුල කෙනෙක්. කිසිම කෙනෙක් යන එන  තැන් හොය හොයා ඉඳීමේ කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. සේමිණිගේම නම ඈඳිලා ඇති වුණු කතාබහක් සම්බන්ධයෙන් එල්ලවුණු ප්‍රශ්නයකට මගේ පාර්ශ්වයෙන් පිළිතුරු සැපයීමකුයි මම එහිදී කළේ.

සේමිණීගේ නම සම්බන්ධ වුණු ඒ අපහාසාත්මක පුවතට ඔබේ නම ඈදුනේ කොහොමද?

සේමිණිගේ නම සම්බන්ධ වුණු ඒ පුවත වෙබ් අඩවියට ලබාදුන්නේ මමයි කියලා ඇඟවෙන ප්‍රකාශයක් ඇය ඒ වෙබ් අඩිවියට කරලා තිබුණා. ඇය ඒ වෙබ් අඩවියට යවා තිබුණු පැහැදිලි කිරීමේ ලිපියේ සඳහන් කරලා තිබුණේ, කර කියා ගන්න දෙයක් නැති අනුන්ගේ පවුල් කඩා ඉහිරවන රංගන ශිල්පිනියක් තමයි ඇයට විරුද්ධව මේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ කියලා.


“සේමිණි කතා කරයි” කියන මාතෘකාව යටතේ ඒ වෙබ් අඩවියේ සඳහන් කරල තිබුණ එම ලිපියේ කෙළවරක මගේ නමත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම ඒ ලිපියත් සමග මගේ ඉතා ජනප්‍රිය ඡායාරූපයකුත් පළ කරලා තිබුණා. ඒ ඡායාරූපය මම මෙගාස්ටාර් තරගය සඳහා ලබාගත්, දැනටත් බොහෝ  අවස්ථාවලදී යොදාගන්නා ඡායාරූපයක්. 


ඒ නිසා  ඒක බොඳ කළා කියලා, ඒ ඡායාරූපයේ ඉන්නේ මමයි කියලා කාටවත් හඳුනාගන්න බැරි කමක් නැහැ. නඩු පවරන්නේ වෙබ් අඩවිවල සඳහන්ව තිබූ කරුණු වලටත් එක්කයි කියලා මට එවා තිබෙන එන්තරවාසියෙත් සඳහන් කර තිබෙනවා.

ඉතින් එම චෝදනා අසත්‍ය බවද ඔබ පවසන්නේ?

ඇය මගේ සමකාලීන රංගන ශිල්පිනියක් නමෛයි. මට තේරුම් ගන්න බැහැ, ඇයි ඇය මාවම අල්ලාගෙන, කුහකකමින් සහ ඊර්ෂ්‍යාවෙන් කිසිම පදනමක් නැතිව මට චෝදනා කරන්නේ කියලා. මම ලංකාවේ හැම සම්මාන උළෙලකදීම සම්මාන ලබලා, ජාත්‍යන්තර වශයෙනුත් සම්මාන 2ක් දිනාගෙන ලංකාවට ගෞරවයක් ලබාදුන් රංගන ශිල්පිනියක්. 


ඇය මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15-16 ක් පමණ වන්නට ඇති. නමුත්, මම අවුරුදු 32ක් තිස්සෙයි මේ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නේ. ඒ කාලය තුළ ක්‍ෂේත්‍රයේ මාව ඇසුරු කරපු අය හොඳට දන්නවා මම කාටවත් අපහාස කරන්න පෙළඹෙන කෙනෙක් නමෛයි කියලා. 

දෙවියන් විසින් මට ලබාදීපු දක්ෂතාවය මතයි මම ක්‍ෂේත්‍රයේ මේ තරම් දේවල් ලබාගෙන  තිබෙන්නේ. ඒ නිසා, සේමිණි ඉද්දමල්ගොඩ කියන නම විකුණලා හෝ වෙනත් කෙනෙකුගේ නමක් විකුණලා, අපහාස කරලා දිනන්න දෙයක් මේ ක්‍ෂේත්‍රයේ මට නැහැ.

ඔබත්, සේමිණිත් අතර ඇති වී තිබෙන ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුව තිබුණායැයි ඔබ  සිතන්නේ නැද්ද?

ඇත්තටම මෙය මුළු ක්‍ෂේත්‍රයටම කරපු අපහාසයක්. මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුව තිබුණු ප්‍රශ්නයක්. මට විරුද්ධවත් මීට පෙර නිර්දය විදියට වෙබ් අඩවිවලින් අසත්‍ය ප්‍රචාර පළ කරපු අවස්ථාවලදී ඒවා වෙබ් අඩවිවලට ලබාදුන්නේ කලා ක්‍ෂේත්‍රයේම අය බව දැන දැනත්, මම වෙබ් අඩවිවලට විරුද්ධව නීතිමය පියවර ගත්තා මිස ක්‍ෂේත්‍රයේ අයට විරුද්ධව නඩු පැවරුවේ නැහැ.

ඉතිං ඇයි එවැනි සාකච්ඡාමය පියවරකට යොමු නොවුණේ?

මීගමුවේ පදිංචිව සිටින ප්‍රවීණ නිෂ්පාදකවරයකුත් වරක් මට කතා කරලා කිව්වා මේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කැමති නම් ඔහු ඒ සඳහා මැදිහත් කරුවකු වන්නට සූදානම් කියලා. මම ඊට කැමැත්ත පළ කළා. එවැනි සාකච්ඡාවකට එනවානම්, මම ඇයට විරුද්ධව වෙබ් අඩවිවලට තොරතුරු ලබා දුන් බවට සාක්ෂිත් ඇය රැගෙන ආ යුතුයි කියලා මම ඔහුට කිව්වා. නමුත්, මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇය පැමිණියේ නැහැ.

කොහොම නමුත්, දැන් මෙය නීතිමය පියවරක් දක්වා දුරදිග ගොස් හමාරයි. මෙම කාරණයේදී ඔබ නිර්දෝෂී නම් ඒ සම්බන්ධයෙන් ඔබ ඉදිරියේදි ගැනීමට බලා‍පොරොත්තු වන පියවර මොනවාද?

 
මිලියන 500 ක් ඉල්ලා නඩු පවරා  ඇති බව මාධ්‍ය මගින් පළ වුණත්, අද (26) වන තුරු මට ඒ සම්බන්ධයෙන් සිතාසියක් ලැබි නැහැ. ඇගෙන් මට ලැබි තිබෙන එන්තරවාසියට එරෙහිව, මම මගේ නීතිඥයන් මාර්ගයෙන් ඇයගෙන් රුපියල් මිලියන 1000ක්  ඉල්ලා එන්තරවාසියක් මම දැනටමත් යවලයි තියෙන්නේ.


මා අපහසුතාවට පත්වන ලෙස, පදනම් විරහිතව, ද්වේශ සහගතව නඩු පවරා තිබිම සැලකිල්ලට ගෙන මගේ නීතිමය අයිතිය ආරක්ෂා කිරීමටත්, මට සිදුවී තිබෙන හානියට වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් මගේ නීතිඥවරුන්  වන සමන්ති ගමගේ, ප්‍රදීප් ගමගේ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් රත්නායක යන අයට මම මේ වන විටත් උපදෙස් දීලයි තිබෙන්නේ.

මෙම නීතිමය ක්‍රියාමාර්ගයෙන් පසුව කලා ක්‍ෂේත්‍රයේ අය ඔබට මොනවාද කිව්වේ?

මම වේදිකාව, සංගීත, හඬ කැවීම්, ටෙලිනාට්‍ය, සිනමා ඇතුළු  ක්‍ෂේත්‍රයන් කිහිපයකටම සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්. මේ ප්‍රශ්නෙදී නව පරපුරේ අය, ප්‍රවීණයෝ වගේම මගේ සමකාලීන අයත් මාව දිරිමත් කළා. ඇත්තටම මම මගේ ජීවිතේදී හම්බ කරලා තියෙන්නේ මිනිස්සුයි කියන එක මේ කාරණේදී මට තේරුම් ගියා. මේ අවස්ථාවේ මාව දිරිමත් කරන සැමට මම ස්තුති වන්ත වෙනවා. 


 
Related Posts with Thumbnails