Ads 468x60px

.

නවක වදය...

විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව හරහා ඇද තිබු විශාල බැනරයේ ‘නවක සොයුරන් සාදරයෙන් පිළිගනිමු’ යනුවෙන් ලොකු අකුරෙන් ලියා තිබුණි. තමාරා අයේෂාට වැලමිටෙන් ඇන්නාය.

‘මොකට බය වෙනවද?’ ඇය ඉංගී‍්‍රසියෙන් කියමින් ඒ බැනරය හිසෙන් ද ඇස්වලින් ද අයේෂාට පෙන්වූවා ය.

‘ඒක නම් ඇත්ත තමා,’ අයේෂා ද ඉංගී‍්‍රසියෙන් පිළිතුරු දුන්නා ය.

නවක සිසුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම එතරම් පහසු නොවී ය. ඔවුහු බිය මුසු බලාපොරොත්තු සහගත බැල්මෙන් තැන තැන රොක් ගැසී අතේ කරේ බෑග් එල්ලා ගෙන සිටියහ. 


සමහරු තම දෙමව්පියන් ද සමඟ ම පැමිණ සිටියහ. ජ්‍යෙෂ්ඨ අයියලා සහ අක්කලා ඔවුන් අතර කඩිසර ව ඔබ මොබ යමින් ආචාරශීලී ව ‘ආයුබෝවන්’ අපි මේ ගොල්ලන් ව හොඳින් බලා ගන්නවා. 

අම්මලා තාත්තලා කිසි දේකට බය වෙන්න එපා, යයි කියනු ඇසී නවක සිසු සිසුවියන් සැනසිලි සුසුම් හෙළූහ. ‘අඩෝ මෙහෙ වරෙන්’ යයි තවකකු නවක සිසුවකුට කථා කරනු ඇසි තමාරා සහ අයේෂා ගල් ගැසී බලා සිටියෝ ය. 

ඔවුන් අසල සිටි තනුජා ‘මෙහෙ හැටි ඔහොම තමයි’, යනුවෙන් දැනමුතු අයුරින් ඔවුන්ට පැවසුවා ය. ‘හව් කැන් දේ ස්පීක් ටු අස් ලයික් දැට්’ යයි අයේෂා සසල වූවා ය.

ඇගේ මිතුරිය තමාරා ඉංගී‍්‍රසියෙන්ම ඇයට අස්වැසිලි බස් දෙඩී ය. ‘ඕගොල්ලන් මොන ඉස්කෝලෙන් දැයි’ තනුජා ඔවුන් ගෙන් විමසුවා ය. ඔවුහු දෙදෙනා ම කොළඹ අග්‍රගණයේ පුද්ගලික කාන්තා පාසලකින් පැමිණි බව කීහ. ‘ඔයා මොන ඉස්කෝලෙන්ද?’ යැයි අයේෂා ඇගෙන් පෙරළා විමසුවා ය. 


ඇය අගනුවරට කිට්ටු ව පිහිටි බාලිකා පාසලක නම කිව්වා ය. ඔවුන් සතුටු සාමීචියේ යෙදෙන අතර තුර අයේෂා සහ තමාරා පාසලේදී දැන හඳුනා ගෙන සිටි කොළඹ පිරිමි විදුහලකින් පැමිණ සිටි සිසුන් කිහිප දෙනෙක් ද ඔවුන්ට එකතු වූහ.

වවුනියා දිස්ත්‍රික්කයෙන් පැමිණ සිටි සාවිත්‍රි නම් වූ දෙමළ සිසුවිය ද ඉංගී‍්‍රසි බසින් කථා කරමින් සිටි ඔවුනට කෝලයෙන් වුවද එකතු වූවා ය. තම විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වී සිටි තනුජාට ඉංගී‍්‍රසි භාෂාව සඳහා සම්මාන සාමර්ථ්‍යයක් ලැබී තිබුණ අතර ඇයට ඉංගී‍්‍රසියෙන් කථා කළවුන් සමඟ පැහීම එතරම් ප්‍රශ්නයක් නොවුණි.

හදිසියේ ම එතනට කඩා වැදුණු ජ්‍යෙෂ්ඨ ‘අක්කා’ කෙනෙක්, ‘මේ, මේ, කඩුව දාගන්නවා ඇතුළට. මෙහෙ ඒවා බෑ, තේරුණාද?’ යයි තර්ජනාංගුලිය එසවිය. තමාරා කට ඇරියද තනුජා ඇයට වැලමිටෙන් ඇන්න බැවින් යළි එය වසා ගත්තා ය. ‘කඩුව? වොට්?’ යයි සාවිත්‍රි ළඟ සිටි පිරිමි ළමයකුගෙන් විමසුවා ය. 


එය ඇසී ඇය දෙස රවා බැලු ජ්‍යෙෂ්ඨ අක්කා (ඇගේ නම සඳලතා බවත් ඇය පැමිණ සිටියේ අනුරාධපුරය පැත්තේ දුෂ්කර ගම්මානයකින් බවත් ඔවුහු පසුව දැන ගත්හ) ‘ඇයි මොකද? සිංහල බැරිද?’ යයි කඩා පැන්නා ය. ‘ටිකක් පුළුවන්’, සාවිත්‍රි පැටලෙමින් දෑස් මහත් කර ගනිමින් පැවසුවා ය.

ඇයගේ නළලතෙ හි වූ පොට්ටුව දෙස ද ගෙලෙහි වූ කළු ඇට මිශ්‍ර මාලය දෙස ද බැලු සඳලතා ‘මෙහේදී සිංහල ඉගෙන ගන්න වෙයි,’ කියමින් අන් අය දෙස බැලුවා ය. ‘මෙහේ කථාව සිංහලෙන්. කඩුව තහනම්. තමුසෙලාගේ විස්තර දැන් මට කියපියව්. 


කව්ද ගෙදර ඉඳන් එන්නේ?’ තමාරා, අයේෂා, තනුජා සහ පිරිමි ළමයි කිහිප දෙනෙක් අත් එසවූහ. ‘හරි. හෙට ඉඳන් උඹලා දවල්ට කන්න වැඩිපුර බත් එකක් ගේන්න ඕනේ. තමුන් කොහෝ ඉඳලද එන්නේ?’ ඇය සාවිත්‍රිට ඇඟිල්ල දිගු කරමින් ඇසුවා ය. ‘වෙල්ලවත්ත’ සාවිත්‍රි පිළිතුරු දුන්නා ය. 

අනෙකුත් සිසුන්ගෙන් ද ඇය ඒ ප්‍රශ්න විමසුවාය. නේවාසිකාගාරවල සිට එන අයට ද දීම සඳහා නිවෙස්වල සිට එන අයට වැඩිපුර බත් ගෙන එන ලෙස ඇය එම කණ්ඩායමේ සිසුනට අණ කළා ය.

‘හෙට තමුසෙල කන්න යන්නේ මාත් එක්ක,’ කියමින් ඇය ඔවුන්ව ප්‍රධාන රැස්වීම් ශාලාවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහයකට කැටුව ගියා ය.

තේ පැන් සංග්‍රහයෙන් අනතුරු ව ජ්‍යෙෂ්ඨ සිසුවෙක් නවක සිසුන් අමතා කථාවක් පැවැත්වීය. ඉතා ආදරයෙන් නවක සිසුන් පිළිගන්නා බව කී ඔහු විශ්වවිද්‍යාලය තුළ හැසිරිය යුතු ආකාරය විශේෂයෙන් ම ඔවුන්ගේ ඇඳුම ගැන අවධාරණය කළේ ය. 


ගැහැනු ළමයි විලුඹ දක්වා දිග සාය සහ අත් මැණික් කටුව දක්වා වැසුණු හැට්ට ඇඳිය යුතු බව කියවුණි. පිරිමි ළමයි අත් දිග කමිස සහ දිග කලිසම ඇඳිය යුතු විය. දෙපක්ෂය ම සපත්තු නෑදිය යුතු වූ අතර පටි සෙරෙප්පු (රබර් හෝ වෙනත්) පමණක් පැලදිය යුතු විය.

ඩෙනිම් කලිසම් වැනි ධනවාදී මෝස්තර තරයේම තහනම් විය. ගැහැනු ළමයි කොණ්ඩය කරලට ගොතා පැමිණිය යුතු ය. නිය, තොල් ආලේප සම්පූර්ණයෙන් ම තහනම් විය. දිගු නිය පොතු තිබේ නම් කපා පැමිණිය යුතු විය.

‘වට් නොන්සන්ස් ඉස් දිස්?’ තමාරා තම ඇස් උඩට රෝල් කරමින් අයේෂාගෙන් විමසුවා ය. අයේෂා දෙවුර උස් කර ‘අයි හැව් නො අයිඩියා’, යනුවෙන් පිළිතුරු දුන්නා ය. ‘මේකට කියන්නේ නවක වදය’ යයි තනුජා ඔවුන්ව දැනුවත් කළා ය. සිංහලෙන් කියවුණ දේ ඔවුහු සාවිත්‍රිට ඉංගී‍්‍රසියෙන් පැහැදිලි කර දුන්හ. ‘බට් දැට් ඊස් ගුඩ්’ යනුවෙන් ඇය පැහැදුනා ය.

‘ඒයි මෙහෙ වරෙන්,’ තනුජා රවා බැලුවා ය.

‘කාටද යකෝ තෝ රවන්නේ?’

‘උඹට’ යයි කීමට සිතුණ ද තනුජා ආයාසයෙන් එය මැඩ ගත්තා ය.

‘උඹ කොහේ ඉඳලද ආවේ?’

‘මොරටුවේ’

‘කොහේද යකෝ ඉගෙන ගත්තේ?’

තනුජා තම පාසලේ නම කීවා ය.

‘උඹේ මහ එකා මොකද කරන්නේ?’

අලංකාර මසුන් අපනයනය කරුවකුගේ දියණියක වූ තනුජා, ‘මාලු විකුණනවා’ යැයි කියා හැකර ලෙස කීවා ය.

‘තොට කඩ්ඩ පුළුවන්ද?’

‘පුළුවන්’

කියපිය කඩ්ඩෙන් කවියක්,

‘බා බා බ්ලැක් ෂිප්...’ යනුවෙන් තනුජා ළදරු කවියක් කියා සිසුවා වෙනතක් බලන ඇසිල්ලෙන් එතැනින් පැන ගත්තා ය.

විශ්වවිද්‍යාලයේ දෙවන තුන්වන ආදි දින සියල්ල ම මෙලෙසින් ගෙවී ගියේ ය. කොයි මොහොතේ ජ්‍යෙෂ්ඨ සිසුවෙක් කොහෙන් කඩාපාත් වේදෝයි බියෙන් නවක සිසුහු තැති ගත් ස්වරූපයෙන් ම එදිනෙදා ගත කළහ.

සියල්ල ඉවසා ගෙන සිටියත් ඔවුන්ට දැරීමට අපහසු ම වූයේ දවල් කෑම වේලයි. කලින් කිවු පරිදි හැකි සෑම සිසුවෙක් ම වැඩිපුර බත් මුලක් රැගෙන ආවේ ය. ඔවුන් ජ්‍යෙෂ්ඨ සිසුවකුගේ ‘අධීක්ෂණය’ යටතේ සියලු ම බත් මුල් එකට දමා එකට අනා මිශ්‍රණයක් සෑදිය යුතු විය. සියලු දෙනා ම එයින් සාප්පායම් විය යුතු විය. 


මුල් දවසේ නොදැනීම නිසා පාන් වැනි දෑ රැගෙන ආ සිසුන් ඒවා ද අර බත් මිශ්‍රණයට ම එකතු කළ යුතු විය. මේ පැතිවල මිනිස්සු කන්නේ මෙසේ දැයි සාවිත්‍රි පුදුමයෙන් අන් අයගෙන් විමසුවා ය. එසේ නොවන බව ඇය හා තරමට ම පුදුමයට පත් වූ අන් සිසුහු ඇයට පැවසූහ.

ගෙදරදි හැඳි ගෑරුප්පුවලින් කෑම කන අයේෂාත් මස් මාංශ අනුභව නොකරන තනුජාත් දැඩි අපහසු තාවයකට පත් වූහ. ඔවුන් පෙරැත්තයෙන් මෙන් කටක් දෙකක් ගිල දැම්මේ සඳලතාට ඇති බිය නිසා ම ය. 


තම මව හිමිදිරි උදෑසන පිබිදි මහත් සෙනෙහසින් පිළියෙළ කොට දුන් බත් මුලට අත් වූ ඉරණම දැක තනුජා ගේ දෑසට කඳුළු ඉනුවේ ය. සාවිත්‍රි කිසිත් නොකියා කොනින් කොනින් ටිකක් කෑමට පුරුදු විය. 

නොකෑ අයට සඳලතා නොසෑහෙන සේ බැන්නා ය. සමාජයේ සියලු දෙනා ම එක සමාන බවත් ඇති හැකි අය නැති බැරි අය සමඟ සමඟියෙන් එකාවන් ව සිටිය යුතු බවත් එය සංකේතවත් කිරීමට මෙසේ සියලු දෙනා ම එක් ව ආහාර ගත යුතු බවත් ඇය දෙසුවා ය. 

කණ්ඩායමේ උන් පිරිමි ළමෝ කෙසේ හෝ ආහාර ගිල දැමූහ. එකට ඇනූ සම්බා සහ රතු කැකුළු බත් ද මාලු බිත්තර හා කිරට, මිරිසට, තෙලට උයන ලද ව්‍යඤ්ජන ද නොයෙකුත් කොළ මැල්ලුම් ද බැලීම පවා අපි‍්‍රය විය.

තම නිවස පිටුපස තබා ඇති කොම්පොස්ට් බැරලයට කර පෙවු දින සිහි වූ තමාරාට තම ආමාශ ගත ද්‍රව්‍ය පෙරලෙනු දැනිණ. ඇති වූ ඔක්කාරය යටපත් කරන්නට තැත් කිරීමෙන් ඇය තවත් අපහසුතාවයට පත් වූවාය.


කලවම් වූ ආහාරවලින් එන පුසුඹ ඇගේ නහය හරහා උදරයට ම ගමන් කරන්නා සේ ඇයට දැනුණි. කර කියා ගත දෙයක් නැති තැන ඇය ‘එක්ස්කියුස්මී’ යයි තෙපලමින් නැගිට අඩියට දෙකට විවේකාගාරය කරා දිවුවා ය. ඇගේ උදව්වට මෙන් තනුජා ද අයේෂා ද නැගිට දිවූහ. 

සාවිත්‍රි වටපිට බලත් ම සඳලතාගේ නෙත් පහරට හසු වී මැලවුණ මුහුණින් නැවත නෙත් බිමට යොමු කර ගත්තා ය. මේ වදයෙන් බේරීමට නොයෙකුත් විසඳුම් සෙවු ඔවුනට දින කිහිපයකට පසු නියම විසඳුම ගෙන ආවේ අයේෂාගේ බාල සොහොයුරා ය.

කොළඹ පිරිමි පාසලක ඉගෙනුම ලබන ඔහු තම මිතුරන් සමඟ ද සාකච්ඡා කොට ක්‍රියාන්විතයක් තම සොහොයුරියට යෝජනා කළේ ය. ‘යු ආ මෑඩ්’ ඇය විශ්මයෙන් හඬ නැගුවා ය. එසේ වුවද එය කර බලන්නට බාල සොහොයුරා ඇයට පෙරැත්ත කළේ ය. 


අයේෂා පසු දින ම හොර රහසේ මෙය තමාරාට ද තමාරා තනුජාට ද ඔවුන් දෙදෙනා ම සාවිත්‍රිට ද දැනුම් දුන්හ. එදින ද බත් මිශ්‍රණය කෑ නොකෑ පමණින් සිටි ඔවුහුද පිරිමි ළමයි කිහිප දෙනෙක් ද එය එක හෙළා අනුමත කළහ. වැඩි විස්තර ඉතා රහසිගත ව ඔවුන් සාකච්ඡා කළේ විශ්ව විද්‍යාලයට ඇතුල් වූ පසු මුල් වරට හිත පුරා සිනහ නගමිනි.

පසු දින දවල් කෑම ද එලෙස ම විය. කෑමට වාඩි වූ සඳලතා ‘හ්ම් හ්ම් ගන්නවා ඔක්කොම කෑම පාර්සල්’, යනුවෙන් විධානය දුන්නා ය. කෙසෙල් කොළ, බත් කොළ දිග හැරිණි. පෙට්ටිවල ගෙනා කෑම ද ඒ මතට හැලුණි. තනුජා වෙනදාට වඩා උනන්දුවෙන් ආහාර මිශ්‍ර කළාය.


‘හරි බඩගිනියි’ කියමින් සඳලතා බත් ගුලියක් කෑවා නොව ගිල්ලා ය. ඇස් යුගල කිහිපයක් විමතියෙන් මහත් ව ඇය දෙස පිය නොහෙළා බලා සිටියහ. කෙමෙන් ඇගේ මුහුණ වෙනස් විය. ඇය ඔවුන් දෙස බලමින් තවත් බත් ගුලියක් අතට ගත්තා ය.

සියල්ලෝ ම වෙනදා මෙන් බත් අතගාන්නට විය. සඳලතා අතට ගත් බත් ගුලිය කෑවා ය. ඇයට හදිස්සියේ ම කැස්සක් ද කිවිසුමක් ද එකවර පිට විය. කටේ වූ ආහාර අර විශාල බත් පතට ම වැටිණි. සිසුහු කලබල වූහ. 


‘අනේ, හිර වුණා දැ’යි අසමින් තමාරා වැරෙන් ඇයගේ පිටට පහරක් ගැසුවා ය. කිවිසුමේ ගැම්ම මත වැදුණු පහරින් සඳලතා ඉදිරියට තල්ලු වී ඇගේ මුහුණ බත් පතේ වැදුණි. එහි වූ ගම්මිරිස් සැර ඇගේ නාසය හාරා ගෙන වැදුණි. ඇස්වලින් කඳුළු පිට වුණි. 

තනුජා මහත් කරුණාවෙන් ඉදුල් අතින් ම අගේ පිට අත ගෑවා ය. මේ කලබලය බැලීමට අන් මේසවල කමින් සිටි සිසුහුද එහි එක් වූහ. එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් සැකයෙන් මෙන් සඳලතා කෑ තැනින් ම බත් ගුලියක් ගෙන මුවෙහි දාගත්තේ ය.

සඳලතාගේ කටින් වැටුණු කෑම එහි වූ බව නවක සිසුවෙක් ඔහුට බයෙන් කොඳුරා කීමෙන් ඒ සිසුවා සෙමින් එතැනින් ඉවතට ගියේ ය. සඳලතා වට කර ගත් නවක සිසුවියන් ඇයගේ හිසත් පිටත් තම ඉඳුල් අත් වලින් අත ගෑහ. ඇගේ මුහුණේ නොයෙක් කෑම ජාති තැවරී තිබුණි.

අසුනෙන් නැගිට ගත් ඇය වහ වහා විවේකාගාරය වෙතට දුව ගියේ තනුජා දුන් ලේන්සුවෙන් මුහුණ පිස දමමිනි. එම ලේන්සුවේ වූ ගම්මිරිස් සැරට ඇගේ කට ද නාසය ද ඇස් ද දැවිල්ල හට ගැනීමෙන් ඇය තව තවත් දුකට පත් විය. 


විවේකාගාරයේ නාන කාමරයට යෑමට තැත් කළ සඳලතා දුටු නවක සිසුවියන් ‘අනේ මේ මුහුණ පුරාම ඉඳුල්’ කියමින් එහි වූ වතුර කෝප්පයක් නොබිය ව සඳලතාගේ මුහුණට ගැසුවා ය.

‘අයියෝ, ඔලුවෙත් ඉඳුල්’ කියමින් තවත් එකියක් වතුර කෝප්පයක් සඳලතාගේ ඔලුවට හැලුවා ය. නවක සිසුවියන්ගේ නොමඳ කරුණාවෙන් සඳලතා ද නාන කාමරය අවට බිම ද හොඳ හැටි තෙමුණි. සිදු වූ අකරතැබ්බය කෙසේ වුවා දැයි ඇයට ම සිතා ගත නොහැකි විය. 


ඇගේ ම වසරේ මිතුරියන් ඇය බැලීමට දිව එන විට නවක සිසුවියන් විසිර ගොස් සිටි අතර සඳලතා කේන්තියෙන් පුපුරා හැලෙමින් නාන කාමරය අසල සිට ගෙන සිටියා ය.

- ඉරන්දිනි මල්ලිකා රුද්‍රිගෝ ද සිල්වා
 
Related Posts with Thumbnails