Ads 468x60px

.

මුළු බලපිටියම කම්පාවට පත්කරමින් හිත්පිත් නැති ලොරි රථ මාරයා නදීශානි බිලිගත් හැටි...

යෞවනයේ සුන්දරත්වය මැද අධ්‍යාපන කටයුතු සාර්ථක කර අනාගත ලෝකය දිරියෙන් ජයගන්නට වෙර දැරූ ත්‍රිශාක්‍යා නදීශානි ද සිල්වා නමැති 22 හැවිරිදි දිරිය දියණියගේ හදිසි අභාවයෙන් බලපිටිය වලගෙදර පුරා ශෝකය මුසු අන්ධකාරය පැතිර තිබෙනවා. ඇය ජීවිතයේ වැඩියෙන්ම සතුටට පත්වූ දවස සරසවියට තමා තේරී ඇති බව දැනගත් දිනය විය.

"අම්මේ මම සරසවියට ගිහින් උපාධිය පාස්‌වෙලා අම්මා වගේම අනාගත පරපුරට අකුරු කියලා දෙන්න ඉස්‌කෝලෙ හාමිනේ කෙනෙක්‌ වෙනවා. එතකොට මට පුළුවන් වේවි අනාගතය බාරගන්න දරුවන්ට මම දන්න හැම දෙයක්‌ම කියලා දෙන්න. 

ඒ විතරක්‌ නෙමෙයි මල්ලීටත් හොඳට උගන්වා ගන්න පුළුවන්." යන අහිංසක සිතුවිලි ත්‍රි්‍රශාක්‍යාගේ හදවතේ ලැඟුම්ගත් එකම බලාපොරොත්තුව වූවාය. එහෙත් භද්‍ර යෞවනයේ සුන්දරත්වය නිමේෂයකින් යටපත් කරමින් ගිනිගත් "හිරු" තම රැස්‌ දහරාව පොළොව මත පතිතකොට නිදහස්‌ වුවද එම අව්රශ්මියට වඩා දැඩි උණුසුමක්‌ දැනුනේ ත්‍රිශාක්‍යාගේ දෙමාපියන්ටය.

දෛව්‍ය මෙතරම්ම අහිංසකයින්ට අකාරුණික වීමේ හේතුව කුමක්‌දැයි සිතා ගැනීමට පවා ඔවුන්ට අපහසු අසීරු කරුණකි.

අම්බලන්ගොඩ ගා/දේවානන්ද මහා විද්‍යාලයේ උසස්‌ පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිට ඉන් ඉහළින් සමත්වීම නිසා ත්‍රිශාක්‍යා සරසවි වරම් ලැබීමට වාසනාවන්ත වූවාය.

2013 මාර්තු 11 දින ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සූදානමින් සිටියේය.

ඊට පෙරදින එනම් මාර්තු 10 වන ඉරිදා පෙරවරුවේ සිය මෑණියන් වන බලපිටිය ගා/රේවත ජාතික පාසලේ ගුරුවරියක වන චන්ද්‍රd ද සිල්වා මහත්මිය සමඟ සරසවියට ඉදිරිපත් කළ යුතු වෛද්‍ය වාර්තා ඇතුළු අදාළ කාර්යන් ඉටුකර ගැනීමට බළපිටිය මූලික රෝහලට ගොස්‌ යළි නිවසට පැමිණීමට දෛවය ඇයට ඉඩ දුන්නේ නැත. ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති සිය නිවසට යැමට තිබුණේ තවත් පියවර කිහිපයක්‌ පමණි.

එක්‌වර හිත්පිත් නැතිව පැමිණි ලොරි රථ මාරයා ත්‍රිශාක්‍යා හප්පා යටකර නොනවත්තාවම පළා ගියේය. ත්‍රිශාක්‍යා මොහොතකින් නිසල වූවාය. අනාගතේ රටට සේවය කරන්නට දහසකුත් එකක්‌ බලාපොරොත්තු හදවතේ හිරකරගෙන සිටි රූමත් මලක්‌ තැලී පොඩි වූවාසේ සිරුරේ තුවාල සිහිතව සදහටම නොඑන්නට දෑස්‌ පියාගෙන සිටියාය.

ත්‍රිශාක්‍යාගේ මෑණියන් මේ කිසි දෙයක්‌ ගැන සිතාගන්නට බැරිව කම්පනයෙන් පසුවන්නීය. විටෙක දිගටම තම දුව ගැන මතකය අවදිකරන්නීය.

"අනේ දෙවියනේ අපේ අනාගතයම අඳුරු වුණා. මේක නම් හීනයක්‌ වගේ. කවුද මගේ සුරංගනාවි අරගෙන ගියේ. මගේ දූ සරසවියට නේද යනවා කිව්වේ. උපාධි ලෝගුව දාලා සහතිකේ අතේ තියාගෙන දූ ඉන්න හැටි මට පේනවා දුවේ. ඉක්‌මනට ගිය තැනකින් දුවගෙන අම්ම ළඟට එන්න. ඇයි දූ වෙනද වගේ මං ළඟට එන්නෙ නැත්තේ" යි දිගටම කඳුළු වගුරවමින් හඬින්නිය.

ත්‍රිශාක්‍යාගේ පියා නිහාල් ද සිල්වා තම දියණියගේ අකල් වියෝව අදහාගත නොහැකිව වැලපෙන අයුරු දකින කවරකුට වුවද නෙතගට කඳුළු පිරෙනු වළකාලිය නොහැක. අවුරුදු 22 ක්‌ සුරඟනක සේ ඇතිදැඩිකොට හදාවඩා ගත් තම ප්‍රාණය හා සමාන ආදරණීය දියණිය මෙලෙස අකාලයේ මෙලොව හැරදා යයි කියා කිසි විටෙක නිහාල් හීනෙන්වත් නොසිතන්නට ඇත.

ත්‍රිශාක්‍යාගේ එකම සොහොයුරාද මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටී. ඔහුගේ නිහඬ බව දකින කිසිවෙකුට එක එල්ලේ ඔහු දෙස බැලීමට තරම් ශක්‌තියක්‌ නොතිබිණි. ඇයගේ අකල් වියෝවෙන් කම්පා වී සිටින බලපිටිය වලගෙදර හා අසල ප්‍රදේශවල ජනතාව මේ දුක්‌බර පුවත අසා වැළ නොකැඩී එම නිවසට ඇදි එනු දක්‌නට ලැබිණි.

බලපිටිය වලගෙදර ප්‍රදේශයේ ලොකු කුඩා කවුරුත් එක හඬින් පවසන්නේ පූදින්නට වෙර දරන මෙවන් සුවඳවත් මල් කැකුළු අකාලයේ මිලින කරමින් අහිංසක ජීවිත බිලිගන්නා අකාරුණික, අවිනීත රියෑදුරන් නීතියේ රැහැනට හසුකර නිසි දඬුවම් ලබාදීමට පියවර ගැනීම යුගයේ අවශ්‍යතාවක්‌ බවය.


 
Related Posts with Thumbnails