Ads 468x60px

.

සමහරු කටකතා හදලා, අපි දෙන්නා හොඳටම රණ්ඩු වුණාය කියලා - ජැකලින්

ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. 

ඒක බොරුවක්...

ජැකලින් ෆර්නැන්ඩස් ගැන වගතුග නිතර දැනගන්න අපේ රසික රසිකාවියන් වඩාත් කැමැතියි. එයට හේතුව ඇය ශ්‍රී ලාංකේය යුවතියක් නිසා ජැකලින් මේ දවස්වල රඟපාන චිත්‍රපට, ඇගේ ගමන්බිමන් ගැන රසිකයන් නිතරම සොයා බලනවා.

පසුගිය සති කිහිපය තුළ ඈ ගැන අලුත් ආරංචියක් දැනගන්නට ලැබුණේ නැහැ. ඒත් පසුගිය සතියේ අගදී දැනගන්න ලැබුණේ ජැකලින් ඉතාම කාර්ය බහුලව සිටි බවයි.

ආසියාවේ මයිකල් ජැක්සන් ලෙසින් සමහරු හඳුන්වන සුපිරි නළු ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන ‘රමයියා වස්තාවයියා’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ජැකලින් යොමුවී සිටියා. එහි ඇතුළත් වන ගීතමය ජවනිකාවක ද ඇය රඟපෑවා.

එය නර්තන ජවනිකාවක්. ප්‍රභූදේවාගේ අපූර්වතම නර්තන දැක පුරුදු ඔබට ඔහු යටතේ ජැකලින් කෙලෙස ඒ නර්තනය නිරූපණය කළාදැයි හිතාගන්න පුළුවන්. සැබැවින්ම ජැකලින් ඒ රංගනය සාර්ථකව නිරූපණය කළා. ඒ නිසයි ඈ තෘප්තිමත් හඬින් මෙලෙස කීවේ.


”..මට මේ චිත්‍රපටයේ රඟපෑමට ලැබීම සතුටක්. විශේෂයෙන්ම ප්‍රභූදේවා වැනි දක්ෂයකු යටතේ වැඩ කරන්න ලැබීමත් සතුටක්.

(මේ චිත්‍රපටයේ ලිගිරිෂ්කුමාර් සහ ශ්‍රැති හසන් ද රඟපානවා) මේ අතරේදී ජැකලින්ට තවත් චිත්‍රපටයක රඟන්නට ආරාධනා ලැබුණා. ඒ ඒක්තා කපූර්ගේ චිත්‍රපටයකයි.

තවමත් නමක් යොදා නොමැති මේ චිත්‍රපටයේත් ඇගේ නර්තන ජවනිකාවක් ඇතුළත් වන බවයි ආරංචි.චිත්‍රපට රූපගත කිරීම් නිසා දැඩි කාර්යබහුල වාතාවරණයක සිටි ජැකලින් එයින් පසුව ලද දින කිහිපයක නිවාඩුව වෙන් කළේ ඉතාලියේ සංචාරය කරන්නයි.

එරට අගනුවර රෝම පුරවරයේ සංචාරයකටයි ඈ පිටත්ව ගියේ. තනිවම නොවෙයි. ඇගේ අම්මාත් තාත්තාත් එක්කයි. මේ සංචාරයට ඈ යොමුවුණේ තාත්තාගේ විශේෂ ඉල්ලීමක් නිසයි. ඔහු තම දියණියට කියා සිටියේ රෝමයට ගොස් වතිකානුවට යන්නට වඩාත් කැමැති බවයි.

”තාත්තා දවස් ගණනක් තිස්සේ කිව්වා, වතිකානුවට යන්න ආසයි කියලා. ඉතින් මේ ලැබුණු පුංචි නිවාඩුව මම ඒ ගමනට යොදා ගත්තා” ජැකලින් මාධ්‍යවේදියකු සමඟ පවසා තිබුණා.

මේ සංචාරය අතරතුරදී ජැකලින් ගැන උණුසුම් ආරංචියක් පැතිරී ගොස් තිබුණා. මේ ආරංචිය ජැකලින් සහ චිත්‍රපට අධ්‍යක්ෂ සජිද් ඛාන් ගැනයි. ජැකලින් සහ සජිද් නිතර නිතර මුණගැසෙන බව බොලිවුඩ්පුරය පුරා පැතිරී ගිය තවත් කතන්දරයක්. සමහරු කියන්නේ මේ දෙදෙනා පෙම්වතුන් බවයි.

ජැකලින් දැන් චිත්‍රපටවල රඟපෑම තීරණය කරන්නේ සජිද් ගේ අනුදැනුම මත බවත් පැවසෙනවා. සජිද් අකැමැති චිත්‍රපටවල ජැකලින්ට රඟපෑම තහනම් වී ඇති බවත් සමහරු කියනවා. මෙවැනි ප්‍රශ්නයක් මතුවූ නිසාදෝ මෑතකදී සජිද් සහ ජැකලින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවටත් ආරංචි පැතිරී ගිහින්.

”සමහරු කටකතා හදලා, අපි දෙන්නා හොඳටම රණ්ඩු වුණාය කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක බොරුවක්” ජැකලින් කටකතා කරුවන්ට දොස් නඟමින් පැවසුවා.

රණ්ඩුව කොහොම වෙතත් මේ ශ්‍රී ලාංකේය සුරූපිනිය සජිද් ගේ තවත් අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට තෝරාගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails