Ads 468x60px

.

ෆේස්බුක් පෙම විශ්වවිද්‍යාල පෙම්වතා ඔහුම සෑදූ සයනයිඩ් වලින් ඉවරවු අභිරහස...

පෙම්වතියගේ ෆේස්බුක් එකේ මිතුරන් සංඛ්‍යාව වැඩි නිසා සැක හිතලා...

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂිකාවකට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය පෙම්වතා වස වර්ගයක් කිරි පැකැට්ටුවක දමා බොන්නට දී මරා දමා, පසුව ඔහුද විෂ එන්නත් කරගෙන සිය දිවි හානිකර ගැනීම විශාල අවධානයක් දිනාගත් සිද්ධියකි.

මෙම ඝාතනයටත් , සිය දිවි හානිකර ගැනීමටත් මුල් වූ සැබෑ සිද්ධිය කුමක්දැයි තවමත් නිශ්චිතවම අනාවරණය වී නැතත් තුන්වැන්නෙකු මේ පෙම් යුවළ අතරට පිවිසීම  හේතුවෙන් ඇතිවූ මත ගැටුමක්  ඊට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරිණි. 


අනාවරණය වී ඇති ආකාරයට අනුව මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්ව ඇත්තේ මෙයට වසර තුන හතරකට පෙරය. ඒ විශ්වවිද්‍යාලයට ඔවුන් තේරුණු මුල් කාලයේදීය. 

ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයක ප්‍රතිඵලයක් නිසා නොව , ප්‍රකට සමාජ වබේ අඩවියක් වන 'ෆේස්බුක් ' හරහා දැන හඳුනා ගැනීමකින් අනතුරුවය.

පෙම්වතා විසිපස් හැවිරිදිය. නමින් ඔහු චතුරංග අමිල කුමාරය. ඔහු කෑගල්ල ඉඹුල්ගස්දෙණියේ පදිංචිකරුවෙකි. පෙම්වතිය මහේෂිකා කුලරත්නය. විසිහතර හැවිරිදි ඇය නුවර මාරස්සන හාරගමය.


චතුරංග  වෛද්‍යවරයෙකු වන්නට පෙරුම් පුරන විට මහේෂිකා සිහින මැව්වේ තොරතුරු තාක්ෂණවේදිනියක් වන්නටය. නමුත් දැන් ඒ සියලු සිහින බොඳවී ගොසින් ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන්ගේද පැතුම් විනාශ කර දමමිනි.


දැනට කෙරී ඇති ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව පැහැදිලි වන්නේ
ෆේස්බුක් පෙම්වතුන් අතර කලක පටන් මත භේද තිබි ඇති බවය. ඒ පෙම්වතා ඔහුගේ පෙම්වතියව සැක කරන්නට ගැනීම නිසාය. ඊට බලපා ඇතැයි සැලකෙන්නේ ඇගේ ෆේස්බුක් පිටුවේ සිටි මිතුරන් සංඛ්‍යාව විශාල වීමය.

එය මිනී මරා ගන්නට තරම් ප්‍රශ්නයක් දැයි යමෙකුට සිතිය හැකිය. නමුත් ඒ දෙය සිදුවූයේ වෛද්‍ය ශිෂ්‍ය චතුරංග  යම් මානසික ව්‍යාකූලත්වයකින් පෙළුණු අයෙකු නිසා වන්නට පුළුවන. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල රෝහ‍ලේ සිටි ප්‍රකට මානසික වෛද්‍යවරයෙකුගෙන් පවා ප්‍රතිකාර ලබමින් සිට ඇත.


මේ දෙදෙනා ෆේස්බුක් පෙම්වතුන් වුවත් දෙපාර්ශ්වයේම මව්පියන්ගේ  ආශිර්වාදය ඔවුන්ට වැඩිකල් නොගොස්ම ලැබි තිබිණි. ඒ ඔවුන් උගත් දරුවන් බැවින්  වැරදි තීරණ නොගන්නා අය බව දැන සිටි නිසාය. දෙපාර්ශ්වයේම දෙමාපියන්ද එකිනෙකා හොඳින් දැන හඳුනාගෙන සිටියේ ඒ අයගේ ගෙවල් දොරවල් වල නෑගම් ද යමිනි.


චතුරංග කල්යත්ම මහේෂිකාව සැක කරන්නට ගැනීම හේතුවෙන් දෙදෙනා අතර සිත්පළුදු වී මත ගැටුම් ඇති වනවිට  එය අනතුරකට මුල බව  වටහාගත් බැවින්දෝ මහේෂිකාගේ මව පුතා තව ටික කාලෙකින් ඩොක්ටර් කෙනෙක්.  


ඉතින් පුතාගෙ තත්ත්වයට මහේෂිකා ගැළපෙන්නේ නැහැනේ. ඒ නිසා ඔයා මහේෂිකාවට වඩා හොඳ  කෙනෙක් සොයාගන්න යැයි චතුරංගට පවසන්නට වූවාය. ඒ සම්බන්ධය නතර කරන්නැයි නොකියා කියමිනි.

මම නංගිට ආදරෙයි. මට වෙන අය ඕනෙ නැහැ. ඒ ඔහුගෙන් ඊට ලැබෙන  ප්‍රතිචාරයයි. ඔහු එසේ කීවද මහේෂිකා  සමග ගැටුම් ඇති කර නොගෙන සිටි දිනයක් නම්  නැති තරම්ය.


ඒ සෑම ගැටුමකම අවසාන යේ චතුරංග ඇයට තදින්ම කියා සිටින්නට වූයේ විශ්ව විද්‍යාල ගමන නතර කර දමන ලෙසය. ඇය ඊට කිසිසේත් එකඟ වන්නට සූදානම් නොවූවාය. ඒ ගණිත ගුරුවරියක වූ ඇගේ මවගේත්, විශ්‍රාමික තාක්ෂණ නිලධාරියෙකු වූ පියාගේත් බලා‍පොරොත්තු නිකරුණේ පෙම්වතාගේ බසට බොඳකරන්නට බැරි වූ නිසාය.


එය එසේ යැයි කියා ඇගේ සිතේ චතුරංග කෙරෙහි  වූ ආදරයේ අඩුවක්ද නොවීය. චතුරංගද හිතුවක්කාරයෙකු වුවත් ඇයට පණ මෙන්  ආදරය කර තිබුණි.


‍පොලිසිය පවසන්නේ මහේෂිකා නිසි ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියද චතුරංග ඉකුත් වසරේ අප්‍රේල් මාසයෙන් පසු කඩින්කඩ විනා එකදිගට වෛද්‍ය පීඨයේ දේශනවලට ගොස් නැති බවකි. ඒ නිසාම ඔහු දෙවැනි වසරේ විභාගය අසමත්ව ඒ වන විට සිටියේ  ඔහුට වඩා වසරක් පහළ කණ්ඩායම සමගය.


වෛද්‍ය පීඨයේ දේශනවලට නොගියද ඔහු නිවසේ සිට අන්තර්ජාලයට පිවිසෙමින් විවිධාකාර පරීක්ෂණ කර ඇති බව සඳහන්ය. ඒ රසායන විද්‍යාත්මක පරීක්ෂණයන්ය. පුතාට ඔය වැඩ කරන්න ඉඩ දෙන්න එපා. යැයි දිනක් චතුරංගගේ පියා මවට පවසන්නේ චතුරංග රිදී මුදු දෙකක් රසායන විද්‍යා නියමයකට අනුව රන් ආ‍ලේපිත කරනු දැකීමෙනි. 


ඒත් සමගම ඔහු අන්තර්ජාලයෙන් තොරතුරුගෙන රසායනික  සංයෝජනයක් හරහා සයනයිඩ් නමැති උග්‍ර විෂ වර්ගයද නිෂ්පාදනය කර තිබූ බව හෙළිවී ඇත.‍පොලිසිය දැන් සැක කරනුයේ මහේෂිකාව මරා දමන්නටත් සිය දිවි හානිකර ගන්නටත් ඔහු යොදා ගන්නට ඇත්තේ එසේ නිෂ්පාදනය කළ සයනයිඩ් විය හැකි බවය.

ඒ කථාව පටන් ගත්තේ මෙතැන් සිටය.


එදා අප්‍රේල් 21 වෙනිදාය.  මහේෂිකා  සිටියේ පස්ගම පිහිටි නිවසේය. ඒ විශ්ව විද්‍යාලය අවුරුද්දට වසා තිබුණු බැවිණි. මම අම්මත් එක්ක දළදා මාළිගාවට එනවා. ඔයත් එන්න ඕනේ. ඒ දැනුම් දීම  මහේෂිකාට ලැබෙන්නේ චතුරංගගෙනි.


චතුරංග එන්නේ ඔවුන්ට අයත් මෝටර් රථයේය. ඒ මව සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු ද සමගය. දළදා මාළිගාවට ඔවුන් එන විටත් මහේෂිකා සිය මව සමග එහි අවුත් සිටියාය. ඔහු ඇයව දළදා මාලිගාවට කැඳවන්නේ තමාට වෙන සම්බන්ධයක් නැතැයි මාලිගාවේදී ‍පොරොන්දුවක් ඇගෙන් ගන්නටය. 


ඒ පැමිණ ‍පොරොන්දුව ලබාගෙන පැය කිහිපයක් දළදා මාළිගාවේ ගත කළ ඔවුන් මාළිගාවෙන් පිටතට පැමිණෙන්නේ ඉර අවරට ගියාටත් පසුවය. අනතුරුව ඔවුන් පේරාදෙණිය මල්වත්තටද ගියහ. අනතුරුව චතුරංග සිය මෝටර් රථයට මහේෂිකාවත් ඇගේ මවත් නංවාගන්නේ මාරස්සන පස්ගම නිවසට ඔවුන්ව ඇරලවීමටය.හාරගම ගොවි‍පොළ හමුවන්නේ ඒ යන අතරමගය.

මොනව හරි බිලම යමු චතුරංග ගොවි‍පොළ අසල මෝටර් රථය නතර කරන්නේ  එසේ පවසමිනි. ඒ හාරගම ගොවි‍පොළ ඉදිරිපිට එහි
නිෂ්පාදන අලෙවි කුටියක් ඇති බැවිනි. චතුරංගගේ මවත්, මහේෂිකාගේ මවත්  අලෙවි කුටියේ හිඳිමින්  කිරි පානය කරන්නට වූ අතර චතුරංගගේ ඥාති සහෝදරයා සිටියේ අවට සිරි නරඹමිනි.


නමුත් මහේෂිකා මෝටර් රථයෙන් බිමට බැස්සේ නැත. ඇය පිටුපස අසුනේ රැඳී  සිටියාය. චතුරංග අයිස්ක්‍රීම් අරගෙන ඇය වෙත ගියේ ඇයට එය දෙමින් ලොකු කථාවකට මුල පුරමිනි. ඒ කථාව ටිකෙන් ටික දිග් ගැස්සෙන විට චතුරංග සිය මව සිටි  තැනට ගොස් අම්මේ අපි තව විනාඩි දහයක් විතර ඉඳලම යමු නේද? යැයි කීවේ ඒ කථාවට කාලය ලබා ගනිමිනි.


එකී විනාඩි දහය විනාඩි තිහ හතළිහක් දක්වාම දිග්ගැස්සුණි. එය මහේෂිකාගේ මවට එතරම්  රිස්සුවේ නැත. ඒ නිසාමදෝ ඇය දැන් බලන්න වෙලාව. පහත් පහුවෙලා. රෑ වෙනවා යමු ගෙදර යැයි චතුරංගට පැවැසුවාය. ඒ මෝටර් රථය අසලට එන ගමන්ය.
මේ මොකද මේ?


මහේෂිකාගේ මවගේ දෑස් උඩ ගියාය. ඒ මහේෂිකා මෝටර් රථයේ පිටුපස වැතිර  සිටින අයුරු දැකීමෙනි. මම බොන බෙහෙත් පෙති වගයක් මෙයා කලබල වෙලා කටට දාගත්තා. චතුරංග ඇඟට පතට නොදැනෙන්නට පැවැසුවේය. ටිකක් වෙලා හිටියම හරියයි. ඒත් සමගම ඔහු කීවේය. ඒ ඇය පානය කළේ ඔහු මානසික රෝගයට ලබාගන්නා පෙති වර්ගයක් බව දැනගෙනය.


එහෙම කියල කොහොමද? ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන යමු. මහේෂිකාගේ මව කෑමොර දෙන්නට වූවාය. ඒ නිසාම ඇයට ඇහුම්කන් දෙනවා හැරෙන්නට චතුරංගට වෙන කරන්නට දෙයක් නොවීය. මහේෂිකාව ළඟම තිබුණු මාරස්සන රෝහලට රැගෙන යනු ලැබිණි.


ඇය ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ පසුදින දහවල්ය. මට මොනව වුණාද දන්නේ නැහැ.  මහේෂිකා පෙරදින සවස කුමක් වූයේ දැයි  විමසන විට මවට පවසන්නට වූයේ එවැන්නක් පමණි. ඇයද ඒ ගැන ඇගෙන් හාර අවුස්සන්නට නොගියේ චතුරංගද රෝහල් ඇඳ අසල සිටි නිසාය.


එදින සවස වනවිට මහේෂිකා සිටියේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකිනි. එබැවින් රෝහලින් පිටවන්නට ඇයට අවකාශ තිබුණි. නමුත් සවස්වරුවේ ප්‍රධාන  වෛද්‍යවරයා පරීක්ෂා කර ඒ සඳහා අනුමැතිය ලැබෙනතුරු ඇයට එදින රැයක් රෝහ‍ලේ ගත කරන්නට සිදු විය.
අම්මා දැන් යන්න. හෙට උදේම මෙයාව මම ගෙදර එක්කරගෙන එන්නම් මහේෂිකාගේ මවව එදින සවස චතුරංග  රෝහලින් පිටකර නිවසට යවන්නේ එසේ පවසමිනි.


අම්මෙ පුළුවන් නම් මට කිරි පැකට් දෙකක්  ගෙනත් දෙන්න මහේෂිකා සිය මවට එසේ පවසන්නට වූයේ රෝගීන්  බැලීමේ කාලය හමාර වී මව ඇගේ ඇඳ අසලින් යන්නට සූදානම් වනවාත් සමගිනි.


අම්මා යන්න. මම කිරි පැකට් දෙක ගෙනත් දෙන්නම් චතුරංග එසේ පවසමින්  මහේෂිකාගේ මව පිටත් කර යවා, කිරි පැකට් දෙකක්ද  ගෙන අවේලාවේ ඇය සිටි වාට්ටුවට රිංගන්නට වූයේ වෛද්‍ය ශිෂ්‍ය කබාය ද ඇඟලා ගෙනය.


ඒ කබාය නිසාම ඔහුට කාන්තා වාට්ටුවක රැදමින් මහේෂිකා සමග කාලය ගත කරන්නටද බාධාවක් නොවීය.  ඇය සමග ඔහු බොහෝ වේලාවක් රැඳී සිටියේය. ඒ අතරතුර ඇය කිරි පැකට් එක හිස් කර තිබුණාය.ඊට මද වේලාවකට පසුව ඇය ඇඳත් සමගම ගැහෙන්නට ගත්තේ වේදනාවෙන් කෑගසමිනි.  


ඒ හඬට ඇය අසලට දිව ආ හෙදියෝ ඇගේ ඇඳ වටකර ගත්හ. ඔවුන් වහාම  වෛද්‍යවරුන් කැඳවන විට  චතුරංග හිමින්සීරුවේ  එතැනින් මාරු වන්නේ  පැදුරටත් නොකියාය. මහේෂිකාට ඉන් එහාට පැයක් හමාරක් වත් ජීවත් වන්නට ඉඩක් නොවීය. ඇයට ඔහු බොන්නට දී තිබුණේ වස මිශ්‍ර කළ කිරි පැකට් දෙකක් බවට දැන් සැක මතු වී තිබේ.

චතුරංග කෙලින්ම යන්නේ කෑගල්‍ලේ  පිහිටි නිවසටය. පසුදා උදෑසනම අවදි වී ඔහු සිය ඥාති පුත්‍රයා සමග කුරුණෑගල  බලා පිටත්ව යන්නේ  දළදා වඳින්නට ගිය අවස්ථාවේ ගත්තේ යැයි කියනු ලබන මහේෂිකාගේ ඡායාරූප කිහිපයක් මුද්‍රණය කර ගන්නට යැයි කියාය.


ඥාති සහෝදරයාවද කැටුව ඔහු මුලින්ම ගමන් ගත්තේ කුරුණෑගල ෆාමසියක් වෙතය. ෆාමසිය තුළට යන්නේ  චතුරංගය. ඒ කුමක් සඳහා දැයි  දැන සිටියේද ඔහු පමණකි.


අනතුරුව චතුරංග සිය ඥාති සහෝදරයා ද සමගින් යන්නේ කුරුණෑගල වැව රවුමටය. මෝටර් රථය එහි නතර කරනු  ලබන්නේ මද වේලාවක් එහි ගතකිරීමේ  අපේක්ෂාවෙනි.


චතුරංගගේ ඥාති සහෝදරයා චතුරංගගේ ලැප්ටොප් පරිගණකය ගෙන මෝටර් රථය පිටුපස අසුනේ හිඳගත්තේය. ඒ අන්තර්ජාලයේ සැරිසරන්නටය. ටික වේලාවකින් ඔහුට කෙඳිරිලි හඬක් ඇසෙන්නට වූ අතර ඒ හඬ ඇසෙන්නේ මෝටර් රථයේ ඉදිරිපසින් බව ඔහුට වැටහිණි.


චතුරංග නහයෙන් කටින් සෙම පෙරාගෙන මෝටර් රථයේ උඩුබැලි අතට වැටී සිටින ආකාරයත් එක් අතක කැනියුලාවක් ගසා තිබෙන අයුරුත් බිම එන්නත් කටුවක් ඇති අයුරුත් ඔහු දකින්නේ එහිදීය.


සිදුවී ඇත්තේ කුමක්දැයි ඔහුට ඒත් සමගම වැටහිණි. ඒ එදා මෝටර් රථයට ගොඩ වූ මොහොතේ සිටම චතුරංග ඔහු සමග කතා කරන්නට වූයේ මහේෂිකා ගැන කලකිරීමකින් වූ නිසාය. ඇයට තමා අවංකව ආදරය කළද ඇගේ ආදරය තමාට නොලැබෙන බවද කලකිරීමකින් චතුරංග ඔහුට පවසා තිබුණේය.


වහාම ක්‍රියාත්මක වූ ඥාති සහෝදරයා චතුරංගව කුරුණෑගල රෝහලට එම මෝටර් රථයේම දමාගෙන  රැගෙන ගියද සදහටම ඔහු දෑස් පියාගෙන තිබුණේ මහේෂිකාගේත් ඔහුගේත් මරණවලට මුල් වූ සැබෑ වූ හේතු අබිරහසක් බවට පත් කරවමිනි.


අදටත් ඒ අබිරහස එසේමය. ‍පොලිසිය විශ්වාස කරනුයේ මානසික  ව්‍යාකූලත්වයකින් පෙළුණු චතුරංග මහේෂිකා කෙරෙහි  නිතරම සැකයෙන් සිටි බැවින් එම සැකය  මුල්කරගෙන ඇයව ඝාතනය කර සිය දිවි හානිකරගෙන ඇති බවය. 


චතුරංග සිය සිරුරට එන්නත් කටුවකින් විද ගන්නේද මහේෂිකාට බොන්නට දුන් විෂ වර්ගයම විය හැකි බවද ‍පොලිසියේ විශ්වාසයයි. එම විෂ ඔහු විසින් රසායනික සංයෝජනයකින් නිෂ්පාදනය කළ සයනයිඩ් විය හැකි බවත්  කුරුණෑගල ෆාමසියෙන් ඔහු මිලදී ගත්තේ එම විෂ එන්නත් කර ගන්නට එන්නත් කටු විය හැකි බවත් ‍පොලිසියේ  විශ්වාසයයි.

මේ අබිරහස විසඳා ගන්නට පේරාදෙණිය ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ජාලිය හීන්කෙන්ද, අපරාධ අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එම්.ඒ. බන්දුල සේන මෙන්ම කුරුණෑගල මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත්
වංශනාථ තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටිති. 


මේ දෙදෙනාගේම සිරුරු කොටස් අධිකරණ නියෝග ලබා ගනිමින් රජයේ රසපරීක්ෂකවරයා වෙතද යවා ඇත්තේ එබැවිනි. ඒ ඔවුන් මරණයට පත් කළ විෂ වර්ගය පවා තවමත් නිශ්චිතව අනාවරණය වී නැති නිසාය.
 
Related Posts with Thumbnails