Ads 468x60px

.

විදුහල්පතිගේ මරණින් පසු ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ තවත් හොරකම් හෙළිවේ...

විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දීමේ වැඩපිළිවෙල යටතේ රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේදී පුහුණුව ලබමින් සිටියදි නිසි ශාරීරික සුවතාවය ඇගයීමකට ලක් නොකිරීම නිසා මිය ගිය රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති යු.එච්.එස් වික්‍රමසිංහ මහතාගේ අවාසනාවන්ත මරණින් පසුව  ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ තවත් අක්‍රමිකතා පිළිබඳව රන්ටැඹේ හමුදා පුහුණු කඳවුරේ නිලධාරීහු හෙළි කරති. 

ඔවුන් හෙළි කරන අන්දමට ගත වූ පස් වසර තුළදී රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවට ගිය සිසු සිසුවියන් මෙන්ම විදුහල්පතිවරු රැසකගේ ජිවිත අවදානම් වන මට්ටමට රෝගාතුර වී තිබේ. මේ කාලය තුල මින් තිදෙනෙකු මිය ගොස් ඇත.   

2008 වසරේ රත්නපුර අට වැනි බලඇණියට බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහලේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු වසන්ති නයනී ජයසේකර (15) නම් සිසුවියක මෙසේ පුහුණුව ලබද්දී මිය ගිය අතර ඇගේ මරණය ඇසූ ඇගේ පියා ද එදිනම මිය ගියේය. 


අනතුරුව 2011 ඔක්තෝබර 04 වැනිදා කුරුණෑගල හතරවැනි බලඇණියට අයත් පොල්ගහලෙන රත්මල්ගොඩ මහා විද්‍යාලයේ ඉෂාරා සඳමාලි බස්නායක (15) සිසුවිය ද පුහුණුව ලබද්දී මිය ගොස් ඇත. 

විදුහල්පති නායකත්ව පුහුණුව අතරතුර පසුගිය ජුනි 30දා මිය ගිය රත්දොළුගම පඤ්ඤානන්ද විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ මහතා රන්ටැඹේදී මිය ගිය තුන්වැන්නායි. 

රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ කාලයක සිට කිසිදු වෛද්‍යවරයෙකුගේ සේවය ලබා නොගන්නා නමුදු ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක  ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ නිර්දේශය යටතේ ආරක්ෂක  අමාත්‍යංශය වෙතින් මගින් වෛද්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබේ. මෙම මුදල් ගොස් තිබෙන්නේ ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ සාක්කුවටය. 


එසේම මිලෙන් අධික බෙහෙත් වර්ග කාර්තුවෙන් කාර්තුවට රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයට ගෙන්වා ගන්නා නමුත් ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ විශ්වාසවන්ත ගෝලයෙකු විසින් එම වටිනා බෙහෙත් වර්ග මහියංගනයේ ෆාමසි වලට විකුණා මුදල් කරනු ලැබේ. මහියංගනයේ ෆාමසි වල විකිනීමට තිබෙන්නේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ බෙහෙත් බව ප්‍රකට රහසකි. 

මේ හොරකම් ගැන ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දීමට ක්‍රියා කල කර්නල්වරයෙකු ජෙනරාල් ගාමිණී ජයසුන්දර විසින් යලිත් ඔහු සේවය කල මහනුවර ප්‍රදේශයේ විදුහලකට අනියුක්ත කොට තිබේ. එහෙත් ගාමිණී ජයසුන්දරගේ වංචාවන් ගැන කිසිදු පරික්ෂයක් ආරක්ෂක අමාත්‍යංශය පවත්වා නොමැත. 

රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය සතු වාහන ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් කොලඹට ගෙනවිත් පාවිච්චි කරන නිසා අසාධ්‍ය වූ රෝගීන්  කිලෝමීටර් 25 දුරින් පිහිටි  මහියංගනය මූලික රෝහලට ගෙන යෑමට බොහෝ විට වාහන නොමැති බව කඳවුරේ නිල
ධාරීහු පෙන්වා දෙති. 

රද්දොළුගම ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ මහතාට අසාධ්‍ය වූ අවස්ථාවාදී වාහනයක් නොමැතිකමින් ඔහුව බොහෝ වෙලාවක් පැනඩෝල් පෙති දෙකක් පමණක් දී රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ  ප්‍රථමාධාර ඒකකයේ පුටුවක වාඩි කොට වාහනයක් එන තෙක් තබාගත් බවට නම හෙළි කිරීමට අකමැති ජාතික ශිෂ්‍ය භට බලකායේ කපිතාන්වරයෙකු පැවසිය. 

යම් ලෙසකින් නිසි වෙලාවට විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ මහතා මහියංගනය මූලික රෝහලට ගෙන ගියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණු බව මෙම කපිතාන්වරයා පෙන්වා දෙයි.  

ශරීරික යෝග්‍යතාව පිළිබඳව නොසැලකීමෙන් විදුහල්පතිවරයා මරුට.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails