Ads 468x60px

.

මඩ සෝදා ගත් කල ගොවියාට සිදුවන්නේ වස බොන්නට බව..!


යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් රටපුරා ප්‍රදේශ රැසක වී ගොවියෝ බරපතළ අපහසුතාවන්ට පත්ව සිටිති.

අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ 65 ක්‌ නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ තිහක්‌ සහ මහ කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ තිස්‌ පහක්‌ වශයෙනි. මෙයින් රජය සත්‍ය වශයෙන් මිලදී ගන්නේ සියයට පහක හෝ හයක ප්‍රමාණයකි. 


සෙසු ප්‍රමාණය, එනම් මෙරට වී නිෂ්පාදනයෙන් සියයට අනූපහක්‌ පමණම මිලදී ගන්නේ පෞද්ගලික අංශය විසිනි. රජයේ සියලු වී
ගබඩාවල වී රැස්‌කළ ද රජයට මිලදී ගත හැක්‌කේ මෙරට වී නිෂ්පාදනයෙන් සියයට දහයක ප්‍රමාණයකි. 

එහෙත් මේ වන විට එම ගබඩා බොහොමයක්‌ පෞද්ගලික අංශයට හෝ වෙනත් කාර්යයන් සඳහා වෙනත් කාට හෝ බදු දී ඇති බැවින් මිලදී ගත හැක්‌කේ සියයට පහක්‌ - හයත් අතර ප්‍රමාණයක්‌ පමණකි.

සම්බා වී කිලෝවක්‌ සඳහා රජයේ සහතික මිල රුපියල් පනහකි. නාඩු කිලෝවක්‌ සඳහා සහතික මිල රුපියල් හතලිස්‌ පහකි. එහෙත් එම මිලට වී අලෙවි මණ්‌ඩලය එක ගොවියකුගෙන් මිලදී ගනු ලබන්නේ වී කිලෝ දෙදහසක්‌ පමණි. 


කුඹුරු අක්‌කර පහක්‌ වගාකරන ගොවියකු සාමාන්‍යයෙන් වී කිලෝ දසදහසත් පහළොස්‌දහසත් අතර ප්‍රමාණයක්‌ නිපදවයි. රජය මෙයින් වී කිලෝ දෙදහසක්‌ පමණක්‌ මිලදී ගත්විට ගොවියාට සිදුවන්නේ තමන් සතු සෙසු වී තොග පුද්ගලික අංශයට විකුණන්නටය. පුද්ගලික අංශය වී මිලදී ගන්නේ කුණු කොල්ලයටය. 

එනම් බොහෝවිට වී කිලෝව රුපියල් විස්‌ස, විසිපහ, තිහ හෝ ඒ අතර මිලකටය. සාමාන්‍යයෙන් අස්‌වැන්න නෙළන කාලය වන විට ගොවියා බොහෝදුරට සිටින්නේ දස අතේ ණය වෙලාය. එම නිසා මෝල් හිමියන් ඉල්ලන ගණනට වී විකුණන්නට ගොවියාට සිදු වේ.

යල කන්නයේ වී අස්‌වැන්න මිල දී ගැනීම දිවයින පුරා පිහිටි වී අලෙවි මණ්‌ඩලයට අයත් සියලු ගබඩාවලදී සිදු කරන බව වී අලෙවි මණ්‌ඩලය පවසයි. මෙවර වී අස්‌වැන්න මිල දී ගැනීම පිණිස රජයෙන් රුපියල් මිලියන 6000 ක මුදලක්‌ වෙන්කර තිබේ. එය ප්‍රමාණවත් දැයි රජය සොයා බැලිය යුතුය.

රජයේ සහතික මිලට වී අලෙවි කිරීම සඳහා රට පුරා ප්‍රදේශ රැසක ගොවීන්ට දින ගණනාවක්‌ මහපාරේ පෝළිමේ සිටින්නට සිදුව තිබේ. මේ වන විට ඇතැම් මිලදී ගැනීමේ මධ්‍යස්‌ථාන අසල මාර්ගවල වී පටවාගත් වාහන පෝළිම් කිලෝමීටර් 2 ක පමණ දුරකට දක්‌නට ලැබෙන බව සඳහන්ය.

ගොවීන් පවසන ආකාරයට වී අලෙවි මණ්‌ඩලය විසින් අවශ්‍ය තරම් සේවකයන් වී ගබඩාවලට අනුයුක්‌ත කර නැත. තවත් සේවකයන් කීපදෙනකු ඒ සඳහා යොමු කළේ නම් වී මිලදී ගැනීම කඩිනම් කළ හැකිව තිබිණි.

වී රැගෙන එනු ලබන වාහනයකට දිනකට රු. 3000 ක කුලියක්‌ ගෙවිය යුතු අතර දින ගණන් ගතවෙද්දී සහතික මිලට වී අලෙවි කළ ද ගොවීන්ට පාඩු සිදු වේ. මේවා ගැන නිසි අවධානය බලධාරීන් යොමු කළ යුතුය.

අද ගොවියා මාස ගණනක්‌ වෙහෙස මහන්සි වී ලබන අස්‌වැන්නේ ලාභය උපයන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කීපදෙනෙකි. රුපියල් විස්‌සට, විසිපහට ගොවීන්ගෙන් වී මිල දී ගත්ත ද සහල් කිලෝව අලෙවි වන්නේ රුපියල් අසූ අට, අනූව, සියය, එකසිය දහය ආදී මිල ගණන් වලටය. 


මේ ගැන රජය මැදිහත් වී සාධාරණ මිලකට සහල් මිලදී ගත හැකි ක්‍රමවේදයක්‌ මෙන්ම උපරිම සිල්ලර මිලක්‌ ඇති කළ යුතුය. කවර නම්වලින් විකුණුව ද සියලු සම්බා සහල් වර්ග සඳහා එක මිලකුත් , සියලු කැකුළු හා නාඩු සහල් වර්ග සඳහා මිල පාලනයකුත් ඇති කළ යුතුය. ඒ හරහා පාරිභෝගිකයාට ද සාධාරණයක්‌ ඉටු කළ හැක.

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු බවට අපේ ඉපැරණි කියමනක්‌ තිබේ. එහෙත් අද සිදුවෙමින් පවතින ක්‍රියාවලිය සඳහා රජය වහාම පිළියම් නොයොදන්නේ නම් ගොවියාට සිදුවන්නේ වස බොන්නටය. ඊට පෙර මේ ප්‍රශ්නයට රජය වහාම විසඳුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
 
Related Posts with Thumbnails