Ads 468x60px

.

ඉන්දියාවේ ‘සිහින කම්හල්’ පුරයේදී යොවුන් මාධ්‍ය වේදිනිය සමූහ දූෂණයට ලක්වුණේ මෙහෙමයි...

මතකය මාස කිහිපයක් 
ආපස්සට...

සමස්ත ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයේම අවධානය නතු කරගත් සිදු වීමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) ඉන්දියාවේ මුම්බායි වෙතින් වාර්තා වුණා. 

ඒ විසි දෙහැවිරිදි මාධ්‍යවේදී ඡායාරූප ශිල්පිනියක පස් දෙනකුගේ කල්ලියක විසින් අමානුෂික ලෙස දූෂණයට ලක්වීමයි. මේ සිදුවීමත් සමග සමස්ත ලෝකයාගේම මතකය මාස කිහිපයක් ආපස්සට ගෙන ගියා. 

ඒ පසුගිය වසරේ දෙසැම්බරයේ සිය පෙම්වතා සමග බසයක ගමන් කරමින් සිටි භෞතචිකිත්සක සිසුවියක දූෂණය කොට ඝාතනය කිරීමේ සිදුවීමයි. එයද කල්ලියක් විසින් සිදුකරනු ලැබූවකි.

මුම්බායි යනු ඉන්දියාවේ ප්‍රධානතම නගරයකි. සිනමා කර්මාන්තය කේන්ද්‍ර වී ඇති බැවින් එය ලෝකය පුරාම ‘සිහින කර්මාන්ත ශාලා’ ඇති නගරයක් ලෙස අතිශය ප්‍රසිද්ධත්වයක් උසුලයි. 


අනෙක එය ඉන්දියාවේ කාන්තාවන් සඳහා වූ ආරක්ෂිතම නගරය වශයෙනුත් ප්‍රකටය. කලක් මහා පරිමාණයෙන්  රෙදිපිළි නිෂ්පාදනය කළ මෙම ප්‍රදේශය මුඩුක්කු බහුල ප්‍රදේශයක් ලෙස ද නම් දරා ඇත. 

නමුත් පසුගිය දශකයක පමණ කාලයක් තිස්සේ සිදු වූ සංවර්ධන කටයුතු හේතුවෙන් එහි පෙනුම දැන් බොහෝ සෙයින් වෙනස් වී තිබේ. දැන් එහි බහුලව දක්නට ඇත්තේ මහා පරිමාණ සාප්පු සංකීර්ණ, සුඛෝපභෝගී අවන්හල්, සුවපහසු මහල් නිවාස ආදියයි. 

කෙටියෙන් පවසතොත් මෙය අතිශය ජනාකීර්ණ ප්‍රදේශයකි. නමුත් මෙතරම් ජනාකීර්ණ වූ, කාන්තාවන්ගේ සුරක්ෂිතම ස්ථානයක් යැයි පැවසුණු මුම්බායිහිදී තිරිසන් කල්ලියක් අතින් තරුණ මාධ්‍ය වේදිනයක සමූහ දූෂණයට ලක්වීම සුළු කොට තැකිය හැක්කක් නොවේ යැයි සමාජ ක්‍රියාකාරීකයෝ පවසති.

මේ සිද්ධියට ලක් වූ මාධ්‍යවේදී  ඡායාරූප ශිල්පිනියට ඇගේ සේවා ස්ථානය මගින් මෙම පළාතේ පහළ පාරෙල් නම් ප්‍රදේශයේ අතහැර දැමූ ගොඩනැගිලි පිළිබඳව ඡායාරූප වාර්තාවක් ඉදිරිපත් කරන්නට පැවරී තිබිණි. මෙය අද වන විට විවිධ නීති විරෝධී ක්‍රියා සිදුවන ප්‍රදේශයකි. මේ සඳහා ඇයට තවත් පිරිමි සගයකුගේ ද සහාය ලැබිණි. 


ඔවුන් දෙදෙනා සිය කාර්යයේ නිරතවෙමින් සිටි අතර ඒ වන විට වේලාව ප.ව. 7.00ට පමණ වන්නට ඇත. අතහැර දැමූ, අබලන් වී ගිය ගොඩනැගිල්ලක ඡායාරූප ගන්නට ඇය සැරසුණු අවස්ථාවේ මෙම කල්ලිය එතැනට කඩා වැදී තිබේ.
ඔවුන් මුලින්ම අඟවා ඇත්තේ ඇගේ වැඩකටයුතු සඳහා උදව් කරන්නට සූදානම් බවකි. ඇය සිය සගයා සමග අතහැර දැමූ ගොඩනැගිල්‍ලේ යම් ලිංගික ක්‍රියාවක් සිදුකරන්නට සැරසෙන්නේ දැයි මෙම කල්ලියේ අයෙක් අසා ඇත. 

ඇගේ සගයා එයට එරෙහිව කතා කරද්දී, ඔවුන් ඔහුගේ බඳ පටියෙන් අත් දෙක ගැට ගසා ඇය එම ගොඩනැගිල්ලෙන් ඔබ්බෙහි වූ වන ලැහැබක් වැනි ස්ථානයකට රැගෙන ගොස් තිබේ. ඉන්පසුව ඔවුන් ඇයව දූෂණය කළ බැව් මුම්බායි ‍පොලිස් ප්‍රධානී සත්‍යපාල් සිංග් පවසයි.

මෙම සිදුවීම සැලවීමත් සමග මාධ්‍යවේදීන් ද, සමස්ත ඉන්දීය ජනතාවම වීදි බැස උද්ඝෝෂණය කරන්නට වූයේ ස්ත්‍රී දූෂණය කරන්නට එරෙහිව අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නැවත වරක් අදාළ ආයතන වෙත බලකරමිනි. 


පසුගිය දෙසැම්බරයේ දී ද ජනතාව වීදි බැස ඉල්ලා සිටියේ ද මෙයම වුව ද දැන් නැවත වරක් එවැන්නක්ම සිදුවී තිබේ. දෙසැම්බරයේ සිදුවීමෙන් සති කිහිපයකට පසු දූෂණයට ලක් වූ භෞත චිකිත්සක සිසුවිය මරණයට පත් වුවද, මාධ්‍යවේදී ඡායාරූප ශිල්පිනිය ඇයට වඩා වාසනාවන්ත වී ඇත. 

ඇය මේ වන විටත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතට ඇගේ තත්ත්වය යහපත් අතර හැරෙමින් පවතී. ඇය පවසන්නේ දූෂණයට ලක්වීම යනු ජීවිතයේ අවසානය නොවන බවත්, තමාගේ බලා‍පොරොත්තුව හැකි මෙවන් ම්‍ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව සටන් වැදීමට ඉක්මනින් නැවත සේවයට වාර්තා කිරීමත් බවය.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තක් ද තිබේ. පසුගිය දෙසැම්බරයේ සිදුවීමේදී සේම මේ සිදුවීමේදී ද ඉන්දීය ‍පොලීසිය මෙන්ම මාධ්‍යද කාන්තාවන්ගේ ගෞරවය ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කර ඇති බවය. 


මෙම කාරණයේදී සාමාන්‍යයෙන් අප රටේ ‍පොලීසියටත් වඩා දූෂිත යැයි සැලකෙන ඉන්දීය ‍පොලීසියේ මෙම හැසිරීම ප්‍රශංසා කටයුතු යැයි බොහෝ දෙනෙක් පවසති. මෙසේ පවසන්නේ අන් කිසිවක් නිසා නොව මෙම සිදුවීම් දෙකේදීම ‍පොලීසිය හෝ මාධ්‍ය අදාළ තරුණියන්ගේ අනන්‍යතාවය රටට හෙළි නොකිරීමය.

පසුගිය දෙසැම්බරයේ සිදුවීමෙන් පසුව අන්තර්ජාලය හරහා අදාළ තරුණියගේ යැයි පවසමින් විවිධ ඡායාරූප දක්නට ලැබුණ ද ඒ එකකුදු හෝ සැබෑ ඒවා නොවන බැව් හෙළි වී තිබේ. කිසිදු මාධ්‍යයක් ඇගේ අනන්‍යතාව හෙළි කළේ නැත. පසුගිය බ්‍රහස්පතින්දා සිදුවීමේදීද මාධ්‍ය හා ‍පොලීසිය ක්‍රියාත්මක වූයේ ඒ ආකාරයටමය. 


නමුත් අප රටේ මෙවැන්නක් සිදුවූයේ නම් ‍පොලීසිය කෙසේ වෙතත් මාධ්‍ය ආයතන අරගල කරන්නේ අදාළ පුද්ගලයා වෙනුවෙන් හඬක් නගනවා වෙනුවට තොරතුරු හෙළිකිරීම සඳහා මාධ්‍ය අතර පවත්නා තරගයෙන් ජයගැනීමටය. 

මෙය අප රටේ සිදුවීමක් නම් මේ වන විට දූෂණයට ලක් වූ තරුණිය රටම හඳුනන තැනැත්තියක බවට පත්ව හමාරය. එසේ නම් ඇගේ පින්තූර යොදා ප්‍රදර්ශනය වනු ඇත. මාධ්‍යවේදීන් අදාළ තරුණිය පිළිබඳ, ඇගේ පවු‍ලේ තොරතුරු ආදිය තරගයට මෙන් සිය මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ඇත. 

රූපවාහිනී මාධ්‍යවලින් නම් මෙම දූෂණ සිදුවීම පරිගණක සජීවීකරණ ශිල්පීන් ලබා ප්‍රතිනිර්මාණය කොට ඉදිරිපත් කරනු ඇත. තව බොහෝ දේවල් සිදුකරමින් දූෂණයට ලක් වූ තරුණිය සමස්ත ජනතාව අතින් යළිත් වරක් දූෂණයට ලක්කරනු නොඅනුමානය. 

නමුත් ඒ අතින් ඉන්දියාවේ මාධ්‍ය හා ‍පොලීසිය වඩාත් වගකීමෙන් කටයුතු කරන බැව් පෙනෙන්නට තිබේ. මෙම සිදුවීමෙන් පසුව ජනතාවගෙන් එල්ල වූ පීඩනය හමුවේ ‍පොලීසියට සිය කටයුතු අතිශය වේගවත් කරන්නට සිදු විය. ‍

පොලිස් හා හමුදා බලඇණියක් යොදා අදාළ උද්ඝෝෂකයන්ට වෙඩි තබනු වෙනුවට අදාළ  දූෂකයන් පසුපස හඹායන්නට කටයුතු කළ අතර සිකුරාදා වන විට එක් දූෂකයකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඔහුගෙන් ලැබුණු තොරතුරු මත ඉතිරි සිවුදෙනා කවුරුන්දැයි ‍පොලීසිය සොයාගත් අතර ඔවුන්ගේ මුහුණුවල පෙනුම ඇතුළත් සිතුවම් ප්‍රසිද්ධ කෙරුණි. 

කෙසේ මුත් ඔවුන් පිළිබඳ නම් ගම් ආදිය ද ‍පොලීසිය ප්‍රසිද්ධියට පත් කළේ නැත. ‍පොලීසිය පවසන්නේ ඔවුන් මුම්බායි හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විය හැකි බවය. ඉන්දියාවේ සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණ සිදුවීම් ‍පොලීසියට වාර්තාවන්නේ ඉතා සීමාසහිත සංඛ්‍යාවකි. 

එහි සංස්කෘතිය මගින් මෙවැනි සිදුවීම් ‍පොලීසියට වාර්තාකිරීම වළක්වා තිබේ. මේවා ‍පොලීසියට වාර්තා කිරීමෙන් සිය අනන්‍යතාවයන් හෙළි වී සමාජයට මුහුණ දෙන්නට නොහැකි වේය යන හැඟීමෙන් මෙවැනි සිදුවීමකින් පසුව ‍පොලීසියට වාර්තා කරන්නට බොහෝ දෙනෙක් නොපෙළඹෙති. 

කෙසේ නමුත් මෙම සිදුවීමත් සමග උද්ඝෝෂකයන් යළිත් වරක් ඉල්ලා සිටියේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරනා ලෙසය. මෙයට ප්‍රතිචාර  වශයෙන් ස්ත්‍රී දූෂකයනට ලබාදෙන දඬුවම් දෙගුණ කිරීමට රජය ක්‍රියාත්මක වී තිබේ. 

මෙය ඉන්දියාවේ පාර්ලිමේන්තුව කැළඹූ සිදුවීමක් බවට පත් වූ අතර මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන්නැයි එහි දේශීය කටයුතු පිළිබඳ කනිෂ්ඨ අමාත්‍ය ආර්.පී.එන්. සිංග් පවසා තිබේ. ඔහු යළි යළිත් තහවුරු කොට ඇත්තේ මෙම ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි.
 
Related Posts with Thumbnails