Ads 468x60px

.

'ෆේස්‌ බුක්‌' නිවැරැදිව භාවිත කිරීම හා මුහුණු පොතෙන් වැඩ ගැනීම..!

කලින් කල විවිධ නව තාක්‍ෂණික භාවිතයන් ලෝකයට පැමිණෙයි. ලෝකය එම නව තාක්‍ෂණයත් සමග ඉදිරියට ගමන් කරයි. මෙම නව තාක්‍ෂණික සොයා ගැනීම්වල හොඳ සහ නරක දෙකම තිබෙනවා විය හැකිය.

ඒ නිසා අප කළ යුතු වන්නේ එම හොඳ පැත්තෙන් අපටත්, සමාජයටත් ප්‍රයෝජන ගත හැකි ආකාරයට එම නව තාක්‍ෂණික භාවිතයන් යොදා ගැනීමයි. අන්තර්ජාලය හරහා ගොඩනැගෙ න සම්බන්ධතා හේතුවෙන් අද ලෝකය එක්‌ යායක්‌ බවට පත් වෙමින් තිබේ.

අන්තර්ජාලය භාවිතා කිරීමේ අහිතකර බලපෑම් තිබෙනවාය කියා එය භාවිත නොකොට, අපට ජන සමාජයක්‌ ලෙස ලෝකයෙන් හුදකලා වීමට පුළුවන්කමක්‌ නැත. මේ කරුණු කාරණා අප සඳහන් කළේ 'ෆේස්‌ බුක්‌' සම්බන්ධයෙන් මේ දිනවල විශාල සමාජ කතිකාවක්‌ නිර්මාණය වී ඇති නිසාය. 

මේ කතිකාව තුළ ෆේස්‌ බුක්‌ ප්‍රශ්නය දෙස සරල මතුපිටින් බලා කරන කතාබහ මෙන්ම වඩාත් ගැඹුරින් සිදුවන කතාබහද අපට දක්‌නට ලැබේ. මේ පසුබිම තුළ අපගේ අවධානය යොමු වන්නේ 'ෆේස්‌ බුක්‌' භාවිතයේ හොඳ නරක සහ එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කර ගැනීමෙන් අපට ලබා ගත හැකිව තිබෙන ප්‍රතිලාභ පිළිබඳවයි.

'ෆේස්‌ බුක්‌' හෙවත් මුහුණු පොත සම්බන්ධයෙන් විශාල සමාජ කතිකා වක්‌ ඇති වූයේ පසුගියදා ෆේස්‌ බුක්‌ හා සම්බන්ධ සිද්ධියක්‌ නිසා කුරුණෑ ගල සර් ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා නම් පාසල් දැරිය සිය දිවි නසා ගැනීමත් සමඟය. පසුව ෆේස්‌ බුක්‌ සම්බන්ධ පෙම් පළහිලව්වක්‌

හේතුවෙන් තවත් 19 හැවිරිදි තරුණියක්‌ ද නිවසේදී ගෙල වැලලාගෙන මිය ගියේය. 

බොහෝ මාධ්‍ය ද මේවා වාර්තා කර තිබුණේ 'ෆේස්‌ බුක්‌ මරණ' වශයෙනි. 'ෆේස්‌ බුක්‌ තුන්වැනි බිල්ලත් ගනී' යනුවෙන් සටහන් කළ මාධ්‍ය වාර්තා ද විය. මේ වාර්තාවල එම මරණ 'ෆේස්‌ බුක්‌' නිසා සිදුවූ මරණ ලෙස සඳහන් වුවද ඇත්ත වශයෙන්ම ඒ කිසිදු මරණයකට සෘජුවම හේතුව 'ෆේස්‌ බුක්‌' නොවේ. 

මුලින්ම සිදුවූ පාසල් දැරියගේ මරණය සිදුවූයේ, එම පාසලේ විදුහල්පති වරයාගේ ක්‍රියා කලාපයක්‌ හේතුවෙනි. සියදිවි නසා ගැනීම කිසිවකට පිළිතුරක්‌ නොවුණත්, අදාළ විදුහල්පතිවරයා වගකීමෙන් ක්‍රියා කළා නම් එම දියණිය තවමත් ජීවතුන් අතර බව අපගේ හැඟීමයි. 

තම පින්තූරය වෙනුවට වෙනත් පින්තූරයක්‌ තම 'ෆේස්‌ බුක්‌' ගිණුමේ පළ කිරීමෙන් පසු එය පෙම්වතාට හෙළි වීම නිසා සිත් තැවුලට පත්ව පිටිගල පාසල් සිසුවිය සිය දිවිනසා ගත්තාය. 'ෆේස්‌ බුක්‌' කියා දෙයක්‌ නොතිබුණා නම් එම සිසුවිය එම පින්තූරය පෙම්වතාට යෑව්වේ තැපෑලෙන් හෝ ඊමේල් මගින් යෑයි සිතන්න. 

එසේ වූයේ නම් එම මරණය අප හඳුන්වන්නේ "තැපැල් මරණයක්‌" හෝ "ඊමේල් මරණයක්‌" වශයෙන්ද? ඒ නිසා මේ මරණ 'ෆේස්‌ බුක්‌' නිසා සිදුවූයේ යෑයි ප්‍රචලිත වුවද, එම සිය දිවිනසා ගැනීම්වලට සෘජුවම හේතුව 'ෆේස්‌ බුක්‌' නොවන බව පැහැදිලිය. 

අනාගතයේදී ද 'ෆේස්‌ බුක්‌' හා සම්බන්ධ සිද්ධියක්‌ නිසා යම් අයකු සිය දිවිනසා ගතහොත් 'තවත් ෆේස්‌ බුක්‌ මරණයක්‌' යෑයි එයද හඳුන්වා දෙන්නට පුළුවන. එහෙත් ඇත්ත එය නොවන බව අපට දැන් වැටහේ. එසේ වුවත් 'ෆේස්‌ බුක්‌' නිවැරැදිව භාවිත කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම අත්‍යාවශ්‍ය දෙයකි.

'ෆේස්‌ බුක්‌' නිවැරැදිව භාවිත කළත් එහි අහිතකර බලපෑම් නැතුවාම නොවේ. පිහියකින් කෙනකුට ඇන මරා දැමීමට මෙන්ම ඉන් වෙනත් ප්‍රයෝජනයක්‌ද ගත හැකිය. පිහියක්‌ වෙනත් ප්‍රයෝජනයක්‌ සඳහා නිවැරැදිව පරිස්‌සමින් භාවිත කළත් ඇතැම් විට අත කැපී තුවාල සිදු වන අවස්‌ථාද නැතුවා නොවේ. 


එහෙත් ඒ නිසා පිහි භාවිතය තහනම් කළ යුතු යෑයි අපි නොකියමු. 'ෆේස්‌ බුක්‌' භාවිතය ගැන හොඳ හැටි දැනුම්වත් වීම තුළින් එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කර ගැනීමට මෙන්ම ඒ නිසා සිදු විය හැකිව තිබෙන අහිතකර බලපෑම් අවම කර ගැනීමටද හැකියාව ලැබේ. 

එහෙත් 'ෆේස්‌ බුක්‌' භාවිතය කිසියම් ඇබ්බැහියක්‌ බවට පත් වීමට ඉඩ ඇති දෙයක්‌ නිසා ඉගෙන ගන්නා කාලයේදී පාසල් සිසු දරුවන් ඕනෑවට වඩා 'ෆේස්‌ බුක්‌' ගිණුමේ ඇලී ගැලී සිටීම අහිතකරය. 

තම අධ්‍යයන කටයුතු ඒ නිසා අතපසු විය හැකිය. 'ෆේස්‌ බුක්‌' පමණක්‌ නොව ඕනෑම දෙයකට ඕනවට වඩා ඇබ්බැහි වීම අහිතකරය. ඉගෙන ගන්නා කාලයේදී ඕනවට වඩා රූපවාහිනිය බලන්නට ඇබ්බැහි වීමද අහිතකරය.

'ෆේස්‌ බුක්‌' සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතිකාවේදී එය තහනම් කළ යුතු බවට වූ අදහස්‌ ද අතරින් පතර ඉදිරිපත්ව තිබිණි. එහෙත් රජය එවැනි තීරණයක්‌ ගෙන නැත. චීනය වැනි රටවල 'ෆේස්‌ බුක්‌' තහනම්කොට තිබුණත් තම රටේ ක්‍රියාත්මක එවැනිම වෙනත් සමාජ ජාල වෙබ් අඩවි, එහි නිර්මාණය කරගෙන තිබේ. 


එහෙත් චීන තරුණ තරුණියන් අතරද 'ෆේස්‌ බුක්‌' ජනප්‍රියය. ඔවුන් බොහෝ දෙනකුට 'ෆේස්‌ බුක්‌' ගිණුම් තිබේ. චීනයේ නිල වශයෙන් 'ෆේස්‌ බුක්‌' තහනම් වුවත් ඔවුන් හොරෙන් 'ෆේස්‌ බුක්‌' ගිණුම් භාවිතා කරමින් තම රටේ මිතුරු මිතුරියන් සමග මෙන්ම වෙනත් රටවල අය සමගද සම්බන්ධතා පවත්වති. 

ගිය වසරේ (2013) සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලාංකීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීමට චිනයේ බීජිං නගරයට ගිය අවස්‌ථාවේ එරට බීජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවක්‌ම අපට හඳුනා ගන්නට ඉඩ ලැබිණි. 

අපත් සමඟ මිත්‍ර වූ මේ චීන සිසුන් බොහෝදෙනකුට ද 'ෆේස්‌ බුක්‌' ගිණුම් තිබෙන අතරම ඔවුන් බොහෝ විට අප සමග තොරතුරු හුවමාරු කර ගන්නේද 'ෆේස්‌ බුක්‌' ගිණුම හරහාය. 'ෆේස්‌ බුක්‌' තහනම් කර ඇති චීනය සම්බන්ධයෙන් ඇත්ත කතාව එයයි. 

ඒ නිසා 'ෆේස්‌ බුක්‌' තහනම් කිරීමට පක්‍ෂව සහ විපක්‍ෂව කතා කරමින් විනෝදයක්‌ ලැබිය හැකි වුවත් එය තහනම් කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්‌කකි. පාරේ වාහන අනතුරුවලින් මරණ සිදු වෙයි. 

එහෙත් ඒ නිසා පාරේ වාහන ගමනාගමනය නතර කිරීමට අප තීරණය කරන්නේ නැත. එසේම දුම්රිය අනතුරු මෙන්ම ගුවන් අනතුරුවලින්ද ජීවිත හානි සිදු වෙයි. එහෙත් ඒ නිසා දුම්රිය හෝ ගුවන් යානා ධාවනය තහනම් කිරීමට ගියහොත් සිදුවන්නේ කුමක්‌ද?

තත්ත්වය මෙසේ වුවත් අන්තර්ජාලය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි භාවිතය පිළිබඳව පාසල් සිසු සිසුවියන්, ගුරුවරුන් මෙන්ම ජන සමාජයද පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්ය. 


අධ්‍යාපන අමාත්‍යාංශය, තොරතුරු තාක්‍ෂණ හා විදුලි සංදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැනි රජයේ ආයතනවලට මෙන්ම රටේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විද්වතුන්ට ද මේ සම්බන්ධයෙන් වගකීමක්‌ තිබේ.

එය යම් තාක්‌ දුරකට දැනටත් අප්‍රකටව සිදු වෙමින් තිබුණත් එය ප්‍රමාණවත් නොවන බව අපගේ හැඟීමයි. අන්තර්ජාලය, ඊමේල් සහ 'ෆේස්‌ බුක්‌' වැනි තාක්‍ෂණ මෙවලම් නිවැරැදිව භාවිත කරන හැටි මෙන්ම ඒවායින් වැඩ ගනිමින් ඒවා ප්‍රයෝජනවත් මෙවලම් බවට පත් කර ගැනීමටද මේ දැනුම අත්‍යවශ්‍යය.

මෙසේ අන්තර්ජාලය, විද්Hqත් තැපෑල සහ "ෆේස්‌ බුක්‌" වැනි තාක්‍ෂණික භාවිතයන් ගැන පාසල් සිසුන්, ගුරුවරුන් මෙන්ම ජනසමාජය දැනුම්වත් කිරීමට තිබෙන වැඩ පිළිවෙළ කුමක්‌ද? 


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩ පිළිවෙළක්‌ දියත් කිරීමට තීරණය කර තිබේ. 

මේ අනුව අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි තමන්ට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ගුරු දෙගුරුන් හා පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක්‌ ආරම්භ කිරීමට එම සංසදය අපේක්‍ෂා කරයි.

දැනටමත් විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් අනුව එවැනි දැනුවත් කිරීම් කෙරෙන නමුත් විශේෂයෙන් මේ දිනවල "ෆේස්‌ බුක්‌" සමාජ ජාල වෙබ් අඩවිය පිළිබඳව සමාජයේ වැඩි අවදානයක්‌ යොමුව ඇති නිසා මෙම පියවර ගෙන තිබේ. 


මුලින්ම සිදු වූ වෙනුෂා සිසුවියගේ සිය දිවි නසා ගැනීමේ සිද්ධිය ගැන බලන විට නම් අපට හැඟෙන්නේ, මේ දැනුවත් කිරීම මුලින්ම ආරම්භ කළ යුතු වන්නේ පාසල්වල විදුහල්පතිවරුන් ගෙන් බවයි. 

ඉන් පසු ආචාර්ය මණ්‌ඩල හා පාසල් සිසුන් දැනුවත් කළ යුතුව තිබේ. මේ කාරණයේදී හැකි පරිදි දෙමවුපියන් මෙන්ම ජනසමාජයද දැනුවත් කළ යුතුව තිබේ. "ෆේස්‌ බුක්‌" භාවිතය ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මෙසේද පවසයි.

නීති සහ තහංචි පැනවීමකට වඩා ස්‌වයං හික්‌මීමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ නම් ඒ ආශ්‍රිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වළක්‌වා ගන්න පුළුවන්.


මෙවැනි වෙබ් අඩවියකට තම තොරතුරු හා ඡායාරූප එක්‌ කිරීමේදී තමන් කැමති අයට පමණක්‌ ඒ වෙත ප්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බොහෝ විට අනවශ්‍ය ගැටලු ඇතිවීම වළක්‌වා ගත හැකිය.

තම " ෆේස්‌ බුක්‌" ගිණුම සඳහා සරල මුර පදයක්‌ වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක්‌ යොදා ගැනීමත් වඩාත් යෝග්‍ය වෙනවා.


කිසියම් කෙනෙකු වංචනිකව තම ෆේස්‌ බුක්‌ ගිණුම සඳහා පිවිසීම වැළැක්‌වීමට තම ජංගම දුරකථන අංකය පවා යොදා ගත හැකියි. එසේ යම් අයෙකු වංචනික උත්සාහයක්‌ දරන්නේ නම් ඒ බව තම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්‌ මගින් දැනුම් දීම කෙරෙනවා."

ෆේස්‌ බුක්‌ සමාජ ජාල වෙබ් අඩවිය අලෙවි කරණ මෙවලමක්‌ වශයෙන්ද අපට යොදා ගත හැකිය. තමා සතුව දැනටමත් තිබෙන ෆේස්‌ බුක්‌" ගිණුම හරහා මෙන්ම අලුත් ෆේස්‌ බුක්‌ පිටුවක්‌ නිර්මාණය කර ගැනීම මගින්ද කිසිදු වියදමකින් තොරව මේ අලෙවිකරණ කටයුත්ත සිදු කළ හැකිය.


තමා පිළිබඳව, තමාගේ නිර්මාණ පිළිබඳව මෙන්ම යම්කිසි භාණ්‌ඩයක්‌ හෝ සේවාවක්‌ පිළිබඳවද ෆේස්‌ බුක්‌ ගිණුමක්‌ හරහා මෙන්ම ඒ වෙනුවෙන් ම නිර්මාණය කළ ෆේස්‌ බුක්‌ පිටුවක්‌ හරහා ද මේ අලෙවිකරණ කාර්යය කළ හැකි වේ. මේ දිනවල පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් දේශපාලනඥයන්ද තම ප්‍රතිරූපය "ෆේස්‌ බුක්‌" හරහා ප්‍රචලිත කර ගනිමින් සිටී. 

ඇතැම් ව්‍යාපාරික ආයතනවලට මෙන්ම භාණ්‌ඩ හා සේවා සම්බන්ධ යෙන් ද ෆේස්‌ බුක්‌ ගිණුම් හා පිටු නිර්මාණය කර ගෙන තිබේ. මෙසේ හුදෙක්‌ මිතුරු සම්බන්ධතාවලට අමතරව ව්‍යාපාරික හා ආර්ථික ප්‍රතිලාභ අරමුණු කර ගනිමින්ද ෆේස්‌ බුක්‌ සමාජ ජාලය භාවිතා කරන අය සිටිති. එය වරදක්‌ නොවේ. 

ඉතා පහසුවෙන් හා වියදමකින් තොරව තම භාණ්‌ඩ හා සේවාවලට ප්‍රචාරයක්‌ ලබා ගනිමින් සහ ඒ පිළිබඳව සෙසු අයට දැනුම සහ තොරතුරු ලබා දෙමින් ව්‍යාපාරිකයන්ට තම භාණ්‌ඩ හා සේවාවලට යම් ඉල්ලුමක්‌ නිර්මාණය කරගත හැකිය. ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ එම භාණ්‌ඩ හා සේවා ප්‍රචලිත කළ පමණින්ම අලෙවි වන බවට සහතිකයක්‌ නැත. 

එහෙත් ඒ හරහා ලැබෙන ප්‍රචාරය හා ඉල්ලුම හරහා එම නිෂ්පාදනවලට අලෙවියක්‌ නිර්මාණය කර ගැනීමට අවකාශ සැලසේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නලින් අබේසේකර මහතා මෙසේ පවසයි.

"මුදල් ගෙවීමකින් තොරව මෙන්ම මුදල් ගෙවා ෆේස්‌ බුක්‌ සමාජ ජාල අඩවියේ අලෙවිකරණය කරන්න පුළුවන්. පුද්ගලයන්, නිර්මාණ මෙන්ම භාණ්‌ඩ හා සේවා ඒ අතර වෙනවා. 


බොහෝ අය ඊට කැමැත්ත පළ කිරීම හරහා මේ ගැන අන්අයට ප්‍රචාරය වීමක්‌ සිදු වෙනවා. එසේම එම අලෙවිකරණයට භාජනය වන භාණ්‌ඩ හා සේවා පිළිබඳව අන් අය දැනුවත් වීම ද සිදු වෙනවා. 

ඒ තුළින් එම භාණ්‌ඩ හා සේවා අලෙවිකර ගැනීමට පහසු වාතාවරණයක්‌ උදාකර ගන්න පුළුවන්. මේ ආකාරයට ෆේස්‌ බුක්‌ සමාජජාල වෙබ් අඩවිය කෙනෙකුට අවශ්‍ය නම් හොඳ අලෙවිකරණ මෙවලමක්‌ ලෙස යොදා ගන්න පුළුවන්."

මීට අමතරව ෆේස්‌ බුක්‌ සමාජ ජාලය නිවැරදිව භාවිතා කිරීමෙන් උදා කරගත හැකි තවත් වාසි හා ප්‍රතිලාභ බොහෝමයක්‌ ද සඳහන් කළ හැකිය.


මීට අමතරව තනිකම, පාළුව මකා ගැනීමට සහ මිතුරු සම්බන්ධතා ගොඩනඟා ගනිමින් කිසියම් මානසික සුවයක්‌ ලබා ගැනීමටද "ෆේස්‌ බුක්‌" ඉවහල් වේ. එය මානසික ආතතිය අඩු කිරීමට ඉවහල් වන්නක්‌ බවද මනෝ වෛද්‍යවරු පවසති. 

එහෙත් එය භාවිතයේදී ස්‌වයං හික්‌මීමක්‌ සහ විනයක්‌ ද තමන් සතුව තිබිය යුතුමය. මිතුරු සබඳතා (දේශීය හා විදේශීය) ඇති කර ගැනීමට මෙන්ම පවතින මිතුරු සබඳතා රැක ගනිමින් ඒවා දිගටම පවත්වා ගැනීමටද ෆේස්‌ බුක්‌ ගිණුම ඉවහල් වෙයි. 

මේ නිසා අප දන්නා අයගේ "උපන් දිනය" පවා දැන් මතක තබා ගත යුතු නොවේ. එසේම මුදල් ගෙවා සුබපැතුම්පත් මිලදීගෙන තැපැල් කරනවා වෙනුවට ඉතා පහසුවෙන් හා වියදමකින් තොරව ෆේස්‌ බුක්‌ ගිණුම හරහාම උපන් දිනය වෙනුවෙන් තම මිතුරන්ට සුබ පැතීමටද අපට පුළුවන.

ෆේස්‌ බුක්‌ භාවිතය ප්‍රචලිත වීමත් සමග එවැනි සමාජ ජාල සඳහා විශාල පිරිසක්‌ එක්‌වීම හරහා ජනතාවට වාරණයකින් තොරව නිදහසේ පණිවුඩ ලබාදිය හැකි මාධ්‍යයක්‌ ලෙසද ෆේස්‌ බුක්‌ යොදාගත හැකිය. 


මෙලෙස ෆේස්‌ බුක්‌ භාවිතයේ වාසි හා ප්‍රතිලාභ රැසක්‌ සඳහන් කළ හැකි අතරම, එය නිසි දැනුමකින් තොරව සහ වැරදි අතට භාවිතා කිරීමෙන් තමාට මෙන්ම සමාජයටද හානි සිදු විය හැකිය. ඒ නිසා අනෙකුත් දේවල් මෙන්ම "ෆේස්‌ බුක්‌" ද හොඳට මෙන්ම නරකටද භාවිතා කළ හැකිය.

මුහුණු පොතෙන් වැඩ ගැනීම හොඳ දෙයක්‌ වුවත් මෙය කිසියම් ඇබ්බැහියක්‌ බවට පත්වීමට ඉඩ ඇති දෙයකි. ඒ නිසා පාසල් දරුවන් මේවායේ ඇලී ගැලී සිටීමෙන් විශාල වශයෙන් කාලය නිකරුනේ නාස්‌ති විය හැකිය. ඒ නිසා පාසල් දරුවන් මේ සඳහා අනවශ්‍ය ලෙස යොමුවීමෙන් වැළකීම වඩාත් හොඳය. 


කවරක්‌ නමුත් එමගින් අහිතකර බලපෑමක්‌ සිදු වනවාද යන්න තීරණය වන්නේ "ෆේස්‌ බුක්‌" භාවිතා කරන්නේ කවරාකාරයෙන්ද යන්න මතය. ඒ නිසා මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය මෙන්ම එහි හොඳ නරක ගැන විශේෂයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය.

මේ දැනුම ලබාදීම හරහා මුහුණු පොතින් වැඩ ගනිමින් එය ප්‍රයෝජනවත් මෙවලමක්‌ බවට පත් කරගත හැකි අතරම පසුගිය කාලයේ සිදු වූ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් සිදුවීම ද වළකා ගත හැකිය.

- ශ්‍යාම් නුවන්
 
Related Posts with Thumbnails