Ads 468x60px

.

හමුදාවේ මාමලා නැත්නම් අපි ඉවරයි - නිල්වලා ගඟට වීසි කල දූවරුන් දෙදෙනා කියයි.


පවුල් ආරවුලක්‌ දුර දිග යැම නිසා කෝපයට පත්වූ පියකු තම සිඟිති දියණියන් දෙදෙනා මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට විසිකර ඇති අතර දියේ ගිලෙමින් සිටි දියණියන් දෙදෙනා යුද හමුදා නිලධාරීන් සිව්දෙනකු විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ (24 වැනිදා) උදේ 11.30 ට පමණ මෙම සිද්ධිය වී ඇති අතර දරුවන් දෙදෙනා ගඟට විසිකළ පියා අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

සිඟිති දියණියන් දෙදෙනා නිල්වලා ගඟේ ගසාගෙන යද්දී දිවි නොතකා ගඟට පැන පිහිනා ගිය හමුදා නිලධාරීන් සිව්දෙනා ඔවුන්ගේ ජීවිත බේරාගෙන ඇති බව නගරවාසීහු පවසනවා.

හමුදා නිලධාරීන් කළ වීර ක්‍රියාවෙන් දිවි ගලවාගෙන ඇත්තේ සිව් හැවිරිදි චතුමිකා දිනේෂි සහ දෙහැවිරිදි ගිහින්දිකා කාවින්දි නමැති දැරියන් දෙදෙනාය.

මෙම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගනු ලැබුවේ මාතර ගැමුණු හේවා කඳවුරේ රාජකාරි කරමින් සිටි ලාන්ස්‌ කෝප්‍රල් මානගේ, සාමාන්‍ය සෙබළ කේ. පුෂ්පකුමාර, ඒ. ද සිල්වා සහ කේ. එල්. සී. මධුසංක යන අය බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ දුන් සිඟිති දැරියන් දෙදෙනා තම මව සහ පියා සමග මාතර රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.



සැකකරුගේ බිරිඳගේ නැගනිය අනියම් සම්බන්ධතාවක්‌ පවත්වන බව කියමින් මෙම පවුලේ නිතර ආරවුල් ඇති වී තිබිණි. පෙරේදා රාත්‍රියේ ද
මෙම නිවසේ ගැටුමක්‌ හටගත් අතර සැකකරු තම බිරිඳට අමානුෂික ලෙස පහර දී තිබූ බව පරීක්‍ෂණ වලදී හෙළිවී තිබේ.

මෙම ගැටුම් සම්බන්ධයෙන් දික්‌වැල්ල පොලිසියේ පැමිණිල්ලක්‌ කර තිබූ අතර එය ඊයේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

සැකකාර පියා තම දියණියන් දෙදෙනාවද රැගෙන නිවසින් පිටවී ඇත්තේ දික්‌වැල්ල පොලිසියේ විභාග කෙරෙන පැමිණිල්ලට ඉදිරිපත් වීම සඳහා යන බව කියාය. සැමියාගේ පහර කෑම්වලින් ලත් තුවාලවලට ප්‍රතිකාර ගැනීමට බිරිඳ වෛද්‍යවරයකු වෙත ගොස්‌ සිට ඇත. 


පසුව ඇය ද දික්‌වැල්ල පොලිසිය වෙත ගොස්‌ තිබේ. සැකකරු පොලිසිය වෙත නොගොස්‌ තම දියණියන් දෙදෙනා කැටිව මාතර මහානාම පාලමට පැමිණ එක්‌වරම ඔවුන් දෙදෙනා ඔසවා ගඟට දමා ඇත.

පසුව සැකකාර පියා පලාගොස්‌ තිබේ. සිඟිති දැරියන් දෙදෙනා ගඟට වැටී ගහගෙන යද්දී දුටු හමුදා නිලධාරීන් ගඟට පැන දැඩි වෙහෙසක්‌ දරා දරු දෙදෙනා බේරාගෙන තිබේ. පසුව ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර ඇත.

තම සිඟිති දියණියන් දෙදෙනා සැමියා විසින් ගඟට දැමූ බව බිරිඳ දැනගෙන ඇත්තේ මාතර පොලිසියේ නිලධාරීන් ඇගේ නිවසට ගිය අවස්‌ථාවේදීය.

කරණවෑමියකු වන සැකකරු මාතර රත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳගේ නැගනිය එම නිවසේ නතර වීමට පටන්ගෙන ඇත්තේ මීට ටික කලකට උඩදීය.

නැගනිය විවිධ පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන බව කියමින් සැකකරු බිරිඳ සමග ආරවුල් ඇතිකරගෙන තිබිණි. බිරිඳගේ නැගනියගේ අනියම් සම්බන්ධතා පිළිබඳව සෙවීමට සැකකරු සාස්‌තර පවා අසා ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

දරුවන් දෙදෙනා නිල්වලා ගඟට දැමූ සැකකාර පියා සොයා පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
Related Posts with Thumbnails