Ads 468x60px

.

මාළිගාවත්ත පොලිසියේ වීරෝධාර මෙහෙයුම - තිස්‌ ලක්‍ෂයක කප්පමට පැහැරගත් දරුවා බේරාගත් හැටි

විදිපහන් එළියෙන් මාළිගාවත්ත ජුම්මා මස්‌ජිඩ් පාර ආලෝකවත් වී තිබුණේය. රෑ බෝවෙමින් තිබුණ ද මාර්ගය ජනශූන්‍ය වී තිබුණේ නැත.

විටින් විට නිවසින් පිටතට පැමිණෙන ෂියාම්ගේ බිරිඳ මාර්ගය දෙස බලන්නේ නොඉවසිල්ලෙන්ය. ඇය මහත් කලබලයට පත්වූ බවක්‌ පෙනෙන්නට තිබුණේය. "මේ දරුවා තාමත් නැහැ. වෙනදට මෙච්චර රෑ බෝ වෙන්නේ නැහැනේ. බිරිඳ තනිවම මුමුණන්නට වූවාය. ඒ වනවිට රාත්‍රි 8.30 පසුවී තිබිණි.



ෂියාම්ගේ අට හැවිරිදි පුත්‍රයා මින්රාඡ් ය. මාළිගාවත්ත මුස්‌ලිම් පල්ලියේ පවත්වන ආගම ඉගැන්වීමේ පංතියට යැම ඔහුගේ දින චරියාවේ එක්‌ අංගයක්‌ විය. මින්රාඡ් බොහෝ විට පල්ලියට ගියේ තම සීයා සමඟය. 

පල්ලියේ සිට නිවසට එතරම් දුරක්‌ නැත. ජනාකීර්ණ වීදිය ඔස්‌සේ තනිව ම නිවසට එන්නට ඔහු පුරුදුව සිටියේය. එහෙත් පසුගිය 09 වැනිදා රාත්‍රි
සුපුරුදු ලෙස මින්රාඡ් පල්ලියේ සිට නිවසට ආවේ නැත.

දැඩි ලෙස කලබලයට පත්ව සිටි ෂියාම්ගේ බිරිඳ හතර අතට දුරකථන ඇමතුම් ගන්නට වූවාය. අසල්වාසීන්ට ද තම දුක්‌ගැනවිල්ල කියන්නට වූවාය. "අනේ පුතා ගෙදර ආවේ නැහැ. හැමතැනම හෙව්වා එයා ගිය දිහාවක්‌ හොයාගන්න බැහැ. ඇය තම සැමියාවූ ෂියාම්ටද කීවාය. මින්රාඡ්ගේ හදිසි අතුරුදන්වීමෙන් මුළු මාළිගාවත්තම ඇවිස්‌සී ගියේය.

කොයි කවුරුත් පුංචි දරු පැටියා සොයන්නට වූහ. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට ඉඩ ලැබුණේ නැත.

මේ අතරතුර ෂියාම්ගේ ජංගම දුරකථනයට හදිසියේම ඇමතුමක්‌ ලැබුණේය. "උඹේ දරුවා කිසිම කරදරයක්‌ නැතිව අපි ළඟ ඉන්නවා" දුරකථනයෙන් කථා කළ පුද්ගලයා එසේ කියද්දී ෂියාම්ගේ සිරුර වෙව්ලන්නට පටන් ගත්තේය. දෙපා පණනැති වී යන බවක්‌ දැනුණේය.

"අනේ කොහෙද මගේ දරු පැටියා ඉන්නේ.......... ෂියාම් කෑ ගැසුවේය. ඇමතුම දුන් පුද්ගලයා කිසිදු කලබලයක්‌ නැත.

උඹේ දරුවාව යහතින් දැක ගන්න ඕනෙ නම් අපට රුපියල් ලක්‍ෂ තිහක්‌ දීපං.. සල්ලි දෙන්න බැරි වුණොත් දරුවා ගැන තියෙන බලාපොරොත්තු අතහැර ගන්න වෙයි." ඇමතුම දුන් පුද්ගලයා කීවේය. "අනේ මගේ දරුවට කරදරයක්‌ කරන්න එපා. ලක්‍ෂ තිහට ලක්‍ෂ පනහක්‌ හරි මම දෙන්නම්. මට මගේ දරුවා දීපල්ලා". ෂියාම් කන්නලව් කරන්නට වුණේය.

"හැබැයි එකක්‌ මතක තියාගනින්. මේ ගැන පොලිසියට කියලා තිබුණොත් උඹලට දකින්න වෙන්නේ දරුවගෙ මළකඳ විතරයි."

කප්පම්කරුවා ෂියාම්ට තර්ජනය කළේය. ෂියාම්ගේ හිස යකාගේ කම්මල මෙන් විය. කළ යුත්තේ කුමක්‌දැයි සිතමින් ඔහු දස අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය. පොලිසියට කිව්වොත් දරුවගෙ ජීවිතේට අනතුරක්‌ කරයිද?. ෂියාම්ට සිතුණු වාර අනන්තය. එහෙත් අවසානයේ ඔහු තීරණයක්‌ ගත්තේය.

ෂියාම් කෙළින්ම මාළිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පෙරේරා මුණගැසුණේය. තමන් පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳ ඔහු ස්‌ථානාධිපතිවරයා දැනුවත් කළේය. "ෂියාම් කිසිම දේකට බයවෙන්න එපා. අපි දරුවව කොහොම හරි බේරගමු. 


ඔයා අපට සහයෝගය දෙන්න අපේ රාජකාරිය කරන්න. "පැහැරගත් දරුවා මුදා ගැනීමේ මහා භාරදූර කාර්යයට අත ගසමින් මාළිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා ෂියාම්ට කීවේය. 

මාළිගාවත්ත පොලිසියේ "අපරාධ අංශයේ ස්‌ථානාධිපති විමල් දේවනාරා යන, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන නාමසිරිරත්න, සනත් මංජුල, චන්දන ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ කැඳවූ රොහාන් පෙරේරා දරුවා මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. "මේක බොහොම භාරදූර කාර්යයක්‌. 

අපේ පොඩි අතපසුවීමක්‌ හරි අත්වැරැද්දක්‌ හරි නිසා දරුවාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩේ හරියටම කරන්න ඕනේ." "පැහැරගෙන ගිය දරුවා සෙවීමේ කාර්යය දැලි පිහියෙන් කිරි පැණි කෑමක්‌ බඳු කාර්යක්‌ විය. මේ කටයුත්ත ඉතාම රහසිගතව කළ යුතු බව රොහාන් පෙරේරා සිය සහෝදර නිලධාරීන් දැනුවත් කරමින් කීවේය.

පොලිස්‌ කණ්‌ඩායම මුලින්ම ක්‍රියාත්මක වුණේ කප්පම් කරුවන්ගෙන් ෂියාම්ගේ ජංගම දුරකථනය වෙත ඇමතුම් ලැබෙන ස්‌ථාන සොයාගැනීමය. එහෙත් ඒ ප්‍රයත්නය සාර්ථක වුණේ නැත.

කප්පම්කරුවන් ෂියාම්ගේ දුරකථනයට ඇමතුම් ගෙන තිබුණේ මාර්ග අසල සවි කර ඇති දුරකථන කුටිවලින්ය. ෂියාම්ගේ නිවස එකම මළගමක්‌ බවට පත්ව තිබුණේය. පුංචි නොදරුවාගේ අතුරුදන්වීම ඔවුන්ට දරා ගත නොහැකි දුකක්‌ ගෙන දුන්නේය. මේ අතර මාළිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා දරුවාගේ පියා වූ ෂියාම් කැඳෙව්වේය.

"ඔයා මේ වෙලාවෙ අපට උදව් කරන්න ඕනෙ. අපි ලක්‍ෂ තිහක සල්ලි බෑග් එකක්‌ ගෙනියන විදියට බෑග් එකක්‌ හදාගමු. කප්පම් ඉල්ලන උන්ගෙන් අහගන්න කොහොමද සල්ලි ගේන්න ඕනෙ කියලා. මොකද මේ වැඩේ ප්‍රමාද කරන්න ගියොත් දරුවාගෙ ජීවිතේට අනතුරක්‌ වෙන්න පුළුවන්. 


ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පෙරේරාගේ උපදෙස්‌ පරිදි ෂියාම් කප්පම්කරුවන්ට ඇමතුමක්‌ ලබා ගත්තේය. ඔහු කප්පම්කරුවන් සමග බොහොම සුහදව කතා කළේය. "හරි මම සල්ලි ටික අරගෙන කොහෙට ද එන්න ඕනේ. මගේ දරුවා බේරාගන්න කියන ඕනෙම තැනකට මම එනවා."

ෂියාම් කප්පම්කරුවන්ට කීවේය. ඒ වනවිට පසුදා පහන් වී තිබිණි. කප්පම්කරුවන්ට ලබාදීමට ව්‍යාජ මුදල් බෑගයක්‌ ද ෂියාම් සකස්‌ කර ගත්තේ මාළිගාවත්ත පොලිසියේ නිලධාරීන්ගේ උපදෙස්‌ මතය. මුදල් නෝට්‌ටුමෙන් සකස්‌ කළ කඩදාසි කැබැළි තොගයක්‌ එහි විය.

"උඹ සල්ලි ටික අරගෙන කොටුවට වරෙන් සල්ලි දෙන්න ඕනේ කාටද කියලා අපි අතරමගදී කියන්නම් හැබැයි තනියම එන්න ඕනේ. කිසිම කෙනෙක්‌ මේක දැනගන්න බැහැ. එහෙම උනොත් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ දරුවට........ කප්පම්කරු දුරකථනය ඔස්‌සේ ෂියාම්ට තර්ජනය කළේය.

සියල්ල ඉතාම නිවැරැදි ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පෙරේරාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දරුවා බේරාගැනීමේ මෙහෙයුමට අවශ්‍ය සියලු කටයුතු සකස්‌ කර තිබිණි. 


සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙහෙයුම සඳහා එක්‌ව සිටියහ. මේ නිලධාරීන් අතුරින් පිරිසක්‌ ෂියාම් සමග කොටුව ප්‍රදේශයට ගියේ කිසිවකුත් සැක නොසිතෙන ආකාරයටය.

එහෙත් කොටුව ප්‍රදේශයේදී ෂියාම්ගේ ජංගම දුරකථනයට කප්පම් කරුවන්ගෙන් ඇමතුමක්‌ ලැබුණේය. "උඹ වත්තලට වරෙන් සල්ලිත් අරගෙන එහෙදි අපි කියන්නම් කරන්න ඕනෙ දේ....." 


කප්පම්කරු කීවේය. ෂියාම් වහාම වත්තලට ගියේය. එතැනින් හුණුපිටියට පසුව රාගමටත් යන ලෙස කප්පම්කරු ෂියාම්ට නියෝග කළේය. ඒ සියලු තර්ජන ගර්ජන උහුලා ගනිමින් ෂියාම් කප්පම්කරුවන්ට අවනත වුණේ තම දරුවා බේරාගැනීමේ පරම ෙච්තනාවෙන්ය.

ෂියාම් ගමන් කරන සෑම ස්‌ථානයකටම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක්‌ හොර රහසේම යෙදවීමට රොහාන් පෙරේරා වග බලා ගත්තේය. "කොළඹට එන කෝච්චිය තියෙනවා 11.30 ට උඹ ඒ කෝච්චියේ නැඟලා වරෙන්. සල්ලි දෙන්න ඕනෙ තැන අපි කියන්නම්. සල්ලි ටික දුන්නම උඹට උඹේ ළමයව ලැබෙයි.

කප්පම්කරු ෂියාම්ට කීවේය. ඒ අනුව ෂියාම් කොළඹ බලා යන දුම්රියට ගොඩවුණේ රාගම දුම්රිය ස්‌ථානයෙන්ය. වෙස්‌ වලාගත් පොලිස්‌ නිලධාරීන් තිදෙනකු ද ඒ දුම්රියට ගොඩවූහ. තමන් ක්‍රියාත්මක කිරීමට යන්නේ මහා බරපතළ අනතුරුදායක ක්‍රියාවක්‌ බව පොලිස්‌ නිලධාරීන් ද දැන සිටියෝය. 


පුංචි අතපසුවීමකින් හය හතර නොතේරෙන දරුවාගේ ජීවිතය අහිමිවීමට ඉඩ තිබෙන බව කවුරුත් දැන සිටියහ. දුම්රිය කොළඹ කොටුව බලා වේගයෙන් ධාවනය වන්නට වූයේය. ඒ අතරතුර නැවතත් කප්පම්කරුගෙන් ෂියාම්ට ඇමතුමක්‌ ලැබුණේය.

හුණුපිටිය වෙඩිකන්ද හරියේදී උඹ සල්ලි බෑග් එක කෝච්චියෙන් එළියට විසිකරපං. අපේ කට්‌ටිය ඉන්නවා ඒක ගන්න ඊට පස්‌සෙ අපි දරුවා ගැන බලාගමු. මුදල් බෑගය දුම්රියෙන් පිටතට විසි කිරීමට නිශ්චිත ස්‌ථානයක්‌ කප්පම්කරු ලබා දුන්නේය. ෂියාම් මේ සියලු තොරතුරු වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් වෙත ද ලබා දීමට වග බලා ගත්තේය. ත්‍රාසජනක ජවනිකා පෙළ ආරම්භ වන්නේ එතැන් සිටය.

දුම්රිය සාමාන්‍ය වේගයකින් ධාවනය වෙයි. කප්පම්කරු දැනුම් දුන් ස්‌ථානයට ඇත්තේ තවත් පුංචි දුර ප්‍රමාණයකි. අදාළ ස්‌ථානයේදී ෂියාම් මුදල් බෑගය විසි කළේය. මේ අතරතුර කාටත් නොදැනෙන ආකාරයට වෙස්‌වලාන පොලිස්‌ නිලධාරින් තිදෙනා ද ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන්නෝය.

පොලිස්‌ කොස්‌තාපල් (84275), ශ්‍රීලාල් (8483), අබේසිංහ (76965), මෙන්ඩිස්‌ යන නිලධාරීන් තිදෙනා මෙසේ ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන්නේ තම ජීවිත ගැන පවා තිබූ සියලු ආශාවන් අතහැර දමමින්ය.

දුම්රියෙන් පිටතට වැටුණු මුදල් බෑගය ලබා ගැනීමට තරුණයන් දෙදෙනෙක්‌ සූදානමින් සිටියහ. ඔවුන් මුදල් බෑගය රැගෙන යැමට සූදානම් වෙද්දී දුම්රියෙන් පැනගත් පොලිස්‌ නිලධාරීන් ඒ බව දුටුවෝය. ඔවුන් මුදල් බෑගය ලබාගත් තරුණයන් දෙදෙනා ලුහුබඳින්නට වූහ.

තම ජීවිතය පරදුවට තබමින් මහා වික්‍රමයක්‌ කළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා මහත් වෙහෙසක්‌ දරා කප්පම්කරුවන් දෙදෙනා අල්ලා ගත්හ. කෝ පුංචි දරුවා, උඹලා කොහේද ඒ දරුවා හංගාගෙන ඉන්නෙ. වැඩ වරද්ද ගන්නෙ නැතිව ඇත්ත කියපල්ලා...

පොලිස්‌ නිලධාරීන් දෙදෙනා තමන් ග්‍රහණයට ගත් කප්පම්කරුවන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ඉහමොළ රත්වන්නට දෙක වදිද්දී ඔවුන් සියලු තොරතුරු වමාරන්නට පටන් ගත්තේය. අනේ සර් ගහන්න එපා. මේ හැම දෙයක්‌ම කළේ අබ්දුල්ලා. 


එයා තමයි අපිවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තෙ, දරුවා ඉන්න තැන අපි පෙන්වන්නම්. කප්පම් කල්ලියේ සාමාජිකයන් දෙදෙනා දරුවා සිරකර ගෙන සිටින ස්‌ථානය පෙන්වීමට පොරොන්දු වූහ. තමන් විශාල ජයග්‍රහණයක්‌ අත්පත් කරගත් බව පොලිස්‌ නිලධාරීන්ට තේරුම් ගොස්‌ තිබිණි.

කෙසේ හෝ පුංචි දරුවාගේ ජීවිතය බේරා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා ඊළඟ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළේය. කප්පම් කරුවන් දෙදෙනා ලබාදුන් තොරතුරු මත හුණුපිටිය දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ වැටලූ පොලිස්‌ නිලධාරීන් එක්‌වරම ඊට කඩා වැදුණහ.

කප්පම් කල්ලියේ තවත් සාමාජිකයෙක්‌ රූපවාහිනිය නරඹමින් බොහොම සැහැල්ලුවෙන් සිටියේය. ඔවුන් සියලු දෙනා සිතා සිටියේ තවත් සුළු මොහොතකින් තමන් ලක්‍ෂපතියන් බවට පත්වනු ඇතැයි කියාය. 


එහෙත් ඒ සියලු බලාපොරොත්තු සිහිනයක්‌ පමණක්‌ බවට පත් කිරීමට දක්‍ෂ පොලිස්‌ නිලධාරීන්ට හැකිව තිබුණේය. නිවසේ වසාදමා තිබූ කාමරයක්‌ විවෘත කළ පොලිස්‌ නිලධාරීන් එහි සිරකරගෙන සිටි පුංචි මින්රාඡ් බේරා ගත්තේය.

පුංචි දරුපැටියා ඒ වන විට දැඩිලෙස කම්පනයට පත්ව සිටියේය. ඔහුට හරිහැටි කතාකර ගැනීමට පවා හැකියාවක්‌ තිබුණේ නැත. පුතා බයවෙන්න එපා අපි ඔයාව බේර ගත්තා. ඔයාව අපි අම්මටයි තාත්තටයි භාර දෙනවා. කවුද ඔයාව මෙතනට එක්‌කරගෙන ආවෙ. 


පොලිස්‌ නිලධාරීන් ඉතාම සුහදව ආදරයෙන් කතා කළේය. පුංචි දරුවාගේ සිතට කිසියම් බලාපොරොත්තු සහගත හැඟීමක්‌ ඇතුළු වූ බවක්‌ පෙනෙන්නට තිබුණේය.

අබ්දුල්ලා මාමා තමයි මාව එක්‌කගෙන ආවෙ" පුංචි දරුවා කීවේය. කවුද මේ අබ්දුල්ලා. මිනිහ කොහේද ඉන්නෙ.. පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවේ සිටි කප්පම් කල්ලියේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තේය. සර් අබ්දුල්ලා කියන්නේ මේ දරුවගේ තාත්තගෙ හොඳම යාළුවෙක්‌. එයා දුරින් නෑදැයොත් වෙනවා. එයා තමයි මේ දරුවා පැහැර ගැනීම සැලසුම් කළේ.

පුංචි මින්රාඡ් පැහැරගෙන යැමේ සිදුවීම පිටුපස සැඟවී තිබූ සියලු තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය. අබ්දුල්ලා මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකාරයකු වූවේය. ඔහු ෂියාම් දැන හඳුනන්නේ පුංචි කාලයේ සිටය. දුක්‌ මහන්සියෙන් ජීවිතය ගොඩනගා ගත් ෂියාම් පොහොසතකු බවට පත් වුණේය.

පිටකොටුව ප්‍රදේශයේ ෂියාම්ට අයත් ජංගම දුරකථන අලෙවි සලකි. මාලිගාවත්තේ අළුතින් නිවසක්‌ද ඉදිකළ ෂියාම් වාහනයක්‌ද මිලදී ගත්තේය. අබ්දුල්ලා මේ සියල්ල දෙස කාලයක්‌ තිස්‌සේ බලා සිටියේය.


හරිහමන් රැකියාවක්‌ නොකළ ඔහු නිතරම ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටියේය. අබ්දුල්ලාගේ මංගල උත්සවය තිබුණේ මීට ටික කලකට උඩදීය. මංගල උත්සවයේ බොහෝ කටයුතු කෙරුණේ ෂියාම්ගේ මැදිහත්වීම මතය. 

අබ්දුල්ලාට මධුසමය ගත කිරීමට යැමට පවා මෝටර් රථය ලබාදුන්නේ ෂියාම්ය. එහෙත් මේ සියලු හිතවත්කම් සම්බන්ධකම් පරයමින් අබ්දුල්ලාගේ ආර්ථික ප්‍රශ්න ඉදිරියට පැමිණ තිබුණේය.

ෂියාම්ගේ පොඩි දරුවා අරගෙන ගියොත් ලොකු මුදලක්‌ ගන්න පුළුවන්. මිනිහා දරුවට හරිම ආදරෙයි. අබ්දුල්ලා මේ ගැන නිතර නිතරම කල්පනා කළේය. දරුවා පැහැරගෙන ගොස්‌ කප්පම් ගැනීමේ සැලසුම සඳහා තම සගයන් තිදෙනකුද සම්බන්ධ කර ගැනීමට අබ්දුල්ලා ක්‍රියා කළේය.


මාලිගාවත්තේම නන්නත්තාර ජීවිත ගත කළ අවුරුදු 16, 20, 24 වයස්‌ සීමාවල පසුවන තරුණයන් තිදෙනකු මේ සැලසුම සඳහා සම්බන්ධ වන්නේ ඒ ආකාරයටය. හුණුපිටිය ප්‍රදේශයේ අබ්දුල්ලාට අයත් කුලී නිවසක්‌ විය. දරුවා පැහැරගෙන ගොස්‌ කුලී නිවසේ සිරකර තබාගෙන මුදල් ලබාගැනීම ඔවුන්ගේ සැලසුම විය. 

අප්‍රේල් 09 වැනිදා රාත්‍රි 8.10 පසුවී තිබිණි. මාලිගාවත්ත ජුම්මා මස්‌ජිඩ් පාර ඔස්‌සේ පාපැදියකින් ආ අබ්දුල්ලා නිවස බලායන මින්රාඡ් අසල නතර වුණේය. පුතා අම්මයි තාත්තයි මළ ගෙදරක ගියා. මට කිව්වා ඔයාව එක්‌කරගෙන එන්න කියලා. අපි දැන්ම යමුද? හුණුපිටියට යන්නත් ඕනෙ..

අබ්දුල්ලා පුංචි මින්රාඡ්ට කීවේය. තම පියාගේ සමීපතම මිතුරා වූ අබ්දුල්ලා කෙරෙහි පුංචි මින්රාඡ්ට කිසිදු සැකයක්‌ තිබුණේ නැත. මිතුරු වෙසින් පැමිණ සිටින රාක්‍ෂයා කරන්නට යන්නේ මහා බිහිසුණු අපරාධයක්‌ බව පුංචි දරුපැටියා දැන සිටියේ නැත.

කිසිදු සැකයකින් තොරව පුංචි දරුවා අබ්දුල්ලාගේ පාපැදියට ගොඩ වුණේය. ඔවුන් කෙලින්ම ගියේ හුණුපිටියේ කුලී නිවසටය.

කෝ අම්මා කෝ මගේ තාත්තා මට ඒ දෙන්නව පෙන්වන්න.... පුංචි මින්රාඡ් මවුපියන් සොයන්නට වූවේය. උඹ කලබල කරන්නෙ නැතිව අපි කියන විදිහට හිටපන්. දැඟලුවොත් මරල දානවා. අබ්දුල්ලා පිහියක්‌ පෙන්වමින් පුංචි දරුවාට තර්ජනය කළේය. 


හය හතර නොතේරෙන දරුවා විලාප නඟා හඬන්නට වූවේය. එහෙත් ඔහු බේරා ගැනීමට කිසිවකුත් ඒ මොහොතේ සිටියේ නැත. අබ්දුල්ලා ඇතුළු සගයන් ෂියාම්ගෙන් රුපියල් තිස්‌ ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබා ගන්නට උත්සාහ ගත්තේය.

එහෙත් මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොෂාන් පෙරේරා ඇතුළු දක්‍ෂ පොලිස්‌ නිලධාරීන්ගේ උනන්දුව කාර්යක්‍ෂම බව නිසා පුංචි දරු පැටියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය. එය මහා විශ්ව කර්මයකි. කප්පම් මුදල ලබා ගත්තද නොගත්තද පුංචි දරුවාගේ ජීවිතය අනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබුණේය.

මෙම කප්පම සැලසුම් කළේ අබ්දුල්ලා බව පුංචි මින්රාඡ් දැන සිටියේය. කප්පම් මුදල ලබා ගත්තද නොගත්තද දරුවා නිරුපද්‍රිතව මවුපියන් වෙත ගියහොත් අබ්දුල්ලාගේ සැලසුම හෙළිවනු නියතය. ඒ නිසා ඔවුන් දරු පැටියාගේ ජීවිතය විනාශ කිරීමට ඉඩ තිබුණේය. 


හුණුපිටියේදී අල්ලාගත් කප්පම් කල්ලි සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ප්‍රධාන සැකකරු වූ අබ්දුල්ලා අල්ලා ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක විය. මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන්ගෙන් බේරී අබ්දුල්ලාට පලා යැමට ඉඩ ලැබුණේ නැත. 

ඔහු මරදානේදී පොලිස්‌ නිලධාරීන්ට කොටුවුණේය. සිය රාජකාරිය දේවකාරියක්‌ කරගෙන මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් කල වික්‍රමය නිසා ඉතිහාසයේ ලියවීමට තිබූ තවත් එක්‌ ඛේදවාචකයක්‌ වැලකී ගියේ ඒ ආකාරයටය.

(කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී එම්. කේ. දයානන්ද, සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන නුවන් වෙදිසිංහ, සංජය ඉරසිංහ මහත්වරුන්ද මෙම මෙහෙයුම සඳහා පූර්ණ සහාය ලබා දුන්හ.)
 
Related Posts with Thumbnails