Ads 468x60px

.

පච්චය නිසා පිටුවහල් කිරීම නීති විරෝධීයි - පිටුවහල් කළ කාන්තාවගෙන් චෝදනාවක්


නිලධාරීන් සල්ලි 
ඉල්ලා සිටියා

බුදු දහම අදහන කෙනෙකු වන තමන්ට, බුදු දහමට නිගා කිරීමේ කිසිදු චේතනා වක් නොතිබුණු බව, බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාව කියා සිටියි.

නයෝමි කොලමන් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරිණි. තමන් ලංකාවේදී මුහුණ පෑ අත්දැකීම පිළිබදව බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවා.

‘ගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක්

ඇවිත් කිව්වා මේක නීති විරෝධී බව. මාව පොලිසියට අරන් ගියා. උසාවියේදී මට කතා කරන්න දුන්නේ නැහැ.’ නයෝමි කොලමන් කියා සිටියාය.

‘නිලධාරීන් සල්ලි ඉල්ලා සිටියා’

පිටුවහල් කිරීමට පෙර සඳුදා රාත්‍රිය රැඳවුම් භාරයේ තබා ගත් බවද නයෝමි කොලමන් කියා සිටියාය. ‘මම රැඳවුම් මැදිරියේ ඉන්න කොට පොලිස් සහ රැඳවුම් නිලධාරීන් ඇවිත් කිහිප වතාවක්ම මගේ බෑග් මලු ඇදල පරීක්ෂා කර මගෙන් සල්ලි ඉල්ලා සිටියා’ ඇය බීබීසීයට පැවසුවාය.

37 හැවිරිදි එම කාන්තාව ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට නිවාඩුවකට පැමිණ ඇත. මීට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි බවත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය වැනි රටවල භාවනා වැඩසටහන්වලට සහභාගී වූ බවත් නයෝමි කොලමන් තවදුරටත් කියා සිටියාය.

බුදු දහමට නිගා වන අන්දමින් බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම ඇය පිටුවහල් කිරීමට හේතු වූ බවයි පොලිසිය පවසන්නේ.

‘මහජන කැළඹීමක්‌’

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිත පච්චය කොටා ගෙන ඇත්තේ අන් අයට දර්ශනය වන ස්ථානයක නිසා ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වීමෙන් විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව ඇය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පිටුවහල් කරන ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණ.

මාර්තු මාසයේ ද මෙලෙස බුද්ධ රූපයක් සහිතව පච්චයක් සමග ශ්‍රී ලංකාව ඇතුල්වීමට උත්සාහ කළ විදේශිකයෙක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර පසුගිය වර්ෂයේ දී ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසකට බුද්ධ රූපයක් සිප ගැනීම හේතුවෙන් අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබුණා.

2010 වසරේදී ලෝක ප්‍රකට ගායක එකොන්ට ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් අවලංගු කිරීමට සිදු වූයේ ද බුදු රුවක් ඉදිරිපිට ඊට අවමානයක් වන ආකාරයේ නර්තනයක් ඔහුගේ ගීතයක අඩංගු වීම පිළිබදව එල්ල වූ චෝදනා හේතුවෙනි.


 
Related Posts with Thumbnails