Ads 468x60px

.

කිරි ඉබ්බෙක්‌ අහසින් යයි


දඩස්‌ ගාල හයියෙන් 
ශබ්දයක්‌ ඇසුණා.

අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර පුබුදුපුර ප්‍රදේශයේ ගෙවත්තක මිදුලකට අහසින් කිරි ඉබ්බකු වැටී තිබෙනවා.

පෙරේදා (22 දා) රාත්‍රී 10.30 ට පමණ එම ඉබ්බා මෙලෙස බිමට වැටී ඇති බවත්, බිම ඇද වැටීමෙන් ඉබ්බාගේ කටුව පිපිරීමකට ලක්‌ව ඇති බවත් ගෙහිමි කාන්තාව පනස්‌ හතර හැවිරිදි සිවුදරු මවක වන පී. ජී. කුසුමාවතී මහත්මිය අප වෙත පැවසුවා.

තරමක්‌ පැහැපත් බවින් යුත් එම ඉබ්බාගේ කටුව පිපිරීමකට ලක්‌ව ඇතත් ඌ සාමාන්‍ය ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අයුරු ඊයේ (23 දා) පෙරවරුවේ එහි ගිය අපට දැක ගත හැකි වුනා.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ගෙහිමි කාන්තාව වන අනුරාධපුර තුන්වැනි පියවර පුබුදුපුර අංක 2347 දරණ නිවසේ පදිංචි පී. ජී. කුසුමාවතී මහත්මිය මෙසේ
පැවසුවා.

පෙරේදා (22 දා) රාත්‍රී 10.30 ට පමණ මමත් සැමියාත් දරුවනුත් රූපවාහිනිය නරඹමින් සිටින විට නිවසේ මිදුල දෙසින් දඩස්‌ ගාල මහ

හයියෙන් ශබ්දයක්‌ ඇසුණා. මම එවිට එම ශබ්දය මොකක්‌ද කියා විපරම් කර බැලීමට නිවසේ එළියෙ විදුලි පහන දල්වා ගේට්‌ටුව දෙසට ගියා.

ඒ අවට මොකුත්ම හෝඩුවාවක්‌ දක්‌නට නොලැබීම නිසා මා ආපසු නිවස තුළට ගොඩවැදීමට සූදානම් වන විට මිදුලේ ගුලියක්‌ වැනි දෙයක්‌ දුටුවා. මා අනතුරුව කිට්‌ටු කර බලන විට එය ඉබ්බකු බව හඳුනා ගත්තා.

මා අනතුරුව සැමියාට සහ දරුවන් හට කතා කර ඉබ්බා හොඳට පරීක්‍ෂා කිරීමේදී උගේ කටුව පිපිරීමකට ලක්‌ව තිබෙනු දුටුවා. එම ඉබ්බා රාජාලියකු හෝ උකුස්‌සකු විසින් ඩැහැගෙන යන විට උන්ගේ ග්‍රහණයෙන් මිදී බිමට වැටුණා ද යන්න හෝ ටොනාඩෝ තත්ත්වයේ සුළි කුණාටුවකට හසුවී අහසේ පාවෙමින් තිබියදී බිම ඇද වැටුණාද යන්න දන්නේ නැහැ.

මෙම ඉබ්බා පිළිබඳව අපි වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමක්‌ කළා. එහි නිලධාරීන් පැමිණි පසු ඉබ්බා භාරදීමට කටයුතු කරනවා.
 
Related Posts with Thumbnails