Ads 468x60px

.

නෙයිනාකාඩු ඇළේ ත්‍රාසජනක අද්දැකීම - නම් හෙළිකරන්න බැරි අක්‌කලා කියති

"අපි ඔක්‌කොම ඇළට බැහැලා නාල ඉවර වෙලා ගොඩ ආවා. ගොඩට ආවායින් පස්‌සේ නංගිගේ පිටේ මඩ ගෑවිලා තිබුණා. නංගි මඩ සේදීම සඳහා යළිත් ඇළට බැස්‌සා. නමුත් ඇළට බැස්‌ස නංගී දිය උඩට ආවේ නෑ.

පසුව අපි නංගිව බලන්න ඇළට බැස්‌සා. එක පාරටම උඩට මතුවූ නංගී අක්‌කාගේ උරහිසෙන් අල්ලා ගත්තා. "දිය යටින් මොකක්‌දො අල්ලාගෙන සිටිනවා මාව බේරාගන්න කියා ඇය කෑ ගැසුවා. 

එවිට මා සහ මා සමඟ සිටි අනෙක්‌ සහෝදරිය දියට බැස නංගීව අල්ලා ඇද්දා. නමුත් ඇය එළියට ආවේ නෑ පසුව අප දෙදෙනා නංගීව
අල්ලාගෙන ගොඩ දෙසට ඇදගෙන ආවා. අපිට හිතුණා කිඹුලෙක්‌ තමයි නංගීව අල්ලාගෙන ඇත්තේ කියා".

පසුගිය අලුත් අවුරුදු දිනට පසු දින එනම් 15 දා සමන්තුරේ නෙයිනාකාඩු ඇළේ දිය නෑමට ගොස්‌ සිටියදී නැඟණිය කිඹුලකු ඩැහැගත් අවස්‌ථාවේදී කිඹුලා සමඟ පොර බැද ඇය බේරාගත් සහෝදරියක්‌ සිය හඬ අවදි කළේ එසේය.

එම සහෝදරියෝ දෙදෙනා තමන්ගේ නම් හෙළිකිරීමටත් ඡායාරූප ගැනීමටත් අවස්‌ථාව දීමට ප්‍රතික්‍ෂේප කළහ. එම තරුණියන් දෙදෙනා අවිවාහක තරුණියන් වන අතර ඉස්‌ලාම් භක්‌තිකයෝය.

අපි පවුලේ 13 දෙනකු සිටිනවා. පිරිමි දරුවන් 06 දෙනකු හා ගැහැනු දරුවන් 07 දෙනකු සිටිනවා. එයින් එක්‌ පිරිමි සහෝදරයකු මීට අවුරුදු කීපයකට පෙර රිය අනතුරකින් මිය ගියා. කිඹුලා අල්ලා ගත් නැඟණිය අපගේ බාලම නංගියි. ඇය සමන්තුරේ අල්-අස්‌රන් විදුහලේ අ.පො.ස. උ/පෙළ හදාරනවා. 


සිද්ධිය වූ දින අප පවුලේ 07 දෙනකු පමණ දිය නෑමට කිලෝ මීටර් 05 ක්‌ පමණ දුරින් පිහිටි නෙයිනාකාඩු කලපුවට ගියා. අපි ජීවත්ව සිටින මලයඩිග්‍රාමම් ප්‍රදේශයේ වතුර හිඟයි. තද ඉඩෝරය හේතුවෙන් ළිං පවා සිඳී ගොස්‌ බීමට පවා වතුර පොදක්‌වත් ගන්න බෑ. 

ඒ නිසා තමයි අපි නෙයිනාකාඩු ඇළට ගියේ. අපි එදින ප.ව. 3.30 ට පමණ කුඩා වෑන් රථයකින් එහි ගියා. එය පදවාගෙන ආවේ අපේ ඥතියෙක්‌. ඔහු මහන්සි වී සිටි නිසා අපිට දිය නාන්න කියා පවසා වාහනය ඈතින් නවතා එහි නිදාගෙන සිටියා.

අපි කාන්තාවන් 07 දෙනා දියට බැස රිසිසේ නාගෙන ප.ව. 4.40 ට පමණ ගොඩට ආවා. එවිට නංගීගේ පිටේ මඩ ගෑවී ඇති නිසා ඇය යළි ඇළට බැස්‌සා. ඇළට බැස්‌ස නංගි ගොඩට ආපු නැති නිසා මායි අක්‌කායි ඇළට බැස නංගීව සොයන විට එක පාරටම නංගී දියෙන් ගොඩට මතුවුණා.


එවිටම අක්‌කාගේ බෙල්ලෙන් අල්ලාගෙන ඇය මර හඬ දුන්නා. මගේ කකුලෙන් මොකක්‌දො අදිනවා මාව බේරාගන්න කියා ඇය කෑ ගැසුවා. අපි එතන සිටි සියලු දෙනාම කාන්තාවෝ. උදව් ඉල්ලන්ඩ අහල පහල කවුරුවත් සිටියේ නෑ. අපි දෙන්නා එක පාරටම නංගීව හයියෙන් අල්ලා ඇද්දා. ඒත් කිඹුලා නංගීව අත් හැරියේ නෑ. 

අපි දෙදෙනා බය නොවී නංගීවත් ඇදගෙන ඉවුර දක්‌වා පැමිණියා. ඒ සමඟ කිඹුලාද නංගීගේ කකුල සපාගෙන සිටියා. කිඹුලා කට හැර නංගීව මුදා හැරියේ නෑ. අපි ගොඩටම ආවත් කිඹුලා නංගීව අල්ලාගත් ලෙසම විනාඩි විස්‌සක්‌ පමණ සිටියා. අනෙක්‌ අය බය වෙලා කෑ ගැසුවා. අපට කරන්න දෙයක්‌ තිබුණේ නෑ.

අපි හයියෙන් නංගීව අල්ලාගෙන හිටියා. නංගී මර බියේ සිටියේ. ඇයව අතහැරලා අපි යයිද කියන එක තමයි නංගීගේ මුහුණේ සැඟවිලා තිබුණේ. අපේ හිත තුළ ධෛර්ය තිබුණා. අපි පසුබට වුණේ නෑ. වැරෙන් ඇද්දා.

ඒත් කිඹුලා අත් හැරියේ නෑ. අපගේ කෑ ගැසීම අසා එතනට පැමිණි පුද්ගලයකු මහා කලුගලක්‌ ගෙන කිඹුලගේ පිටට දැම්මා. එවිටම කිඹුලා නංගීව අත හැරියා (කට ඇරියා) අපි වහාම වාහනයෙන් නංගීව සමන්තුරේ රෝහලට රැගෙන ආවා. නංගීගේ තත්ත්වය අසාධ්‍ය නිසා වහාම පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට මාරු කර එව්වා.

අපිට එදා මෙවැනි ධෛර්යක්‌ ඇති නොවුනි නම් නංගීගේ ජීවිතය බේරාගන්න බැරිවෙනවා. ඇත්තටම අපි බය වුණේ නෑ. දෙවියන් තමයි අපිට මේ වෙලාවේ ශක්‌තිය දුන්නේ, යෑයි පැවැසූහ.

මෙසේ කිඹුලා සපා කෑමෙන් තුවාල ලබා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ අවුරුදු 17 ක්‌ වයසැති අ.පො.ස. උ/පෙළ හදාරන මොහමඩ් අලියාර් සහානා යන අයයි.

ඔවුන් දිය නෑමට ගිය නෙයිනාකාඩු "සාවාරු" නම් ඇළේ මෙම සිද්ධියට දින කීපයකට පෙරද අවුරුදු 10 ක දැරියක්‌ කිඹුලකු ඩැහැගෙන ගොස්‌ තිබිණි. මේ දක්‌වා එම දැරියගේ සිරුර සොයාගෙන නැත. මෙම ප්‍රදේශයේ කලපුවල කලක්‌ තිස්‌සේ කිඹුලන් ගැවසීම වැඩිවී ඇති බවත් මේ පිළිබඳව අදාළ නිලධාරීන් සොයා බලා පිළියම් යෙදිය යුතු බවත් ගම්මු පවසති.

සිද්ධිය සිදුවූ ස්‌ථානය ඡායාරූපගත කිරීම සඳහා මම හා මා මිත්‍ර මාධ්‍යවේදියකු වන හිල්ටන් රියාස්‌ මහතාද එම ස්‌ථානයට ගියෙමු. ඉතා පාළු ස්‌ථානයක්‌ වන එම ප්‍රදේශයේ අවට දුරින් ගඩොල් කර්මාන්ත දකින්නට ලැබුණු අතර දැනට එම ප්‍රදේශයේ අත් අකුරින් ලියන ලද "මෙම ස්‌ථානයේ කිඹුලන් ගැවසෙන බැවින් ප්‍රවේශමෙන් දිය නාන්න" යනුවෙන් කුඩා බෝඩ් එකක්‌ දෙමළෙන් ලියා එල්ලා තිබිණි.
 
Related Posts with Thumbnails