Ads 468x60px

.

හිතුමතේට වාර විභාග නවත්වා දේශපාලනඥයන් පිනවා ලකුණු දමා ගන්නා අධ්‍යක්‍ෂවරිය

අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යහපැවැත්ම සඳහා නිලධාරීන් දහස්‌ ගණනකට අමතරව ඇමැතිවරුද දුසිම් භාගයකට නොඅඩු ප්‍රමාණයක්‌ සිටිති. 

ඒත් අධ්‍යාපනයේ කුමක්‌ හෝ ජංජාලයක්‌ සිදුනොවන දවසක්‌ නැති තරම්ය. විශ්වවිද්‍යාල මෙන්ම පාසල් ක්‍ෂේත්‍රයද වහා ගිනි ඇවිලෙනසුලුය.

එක්‌කෝ පළාතේ දේශපාලන විකටයෙක්‌ පාසලකට කඩාපැන කුමක්‌ හෝ ජෝගියක්‌ නටයි. එක්‌කෝ විදුහල්පතිවරයෙක්‌ කුමක්‌ හෝ ගොන්පාට්‌ එකක්‌ දමයි. මේ කිසිම දෙයක්‌ නැත්නම් පාසලේ දෙමව්පියෝවත් දෙපිලකට බෙදී හර්තාල් කරති.

අද අප කතා කරන්නේ උතුරුමැද පළාතේ අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවකගේ වික්‍රමයකි. දැනට වාර්තා වී තිබෙන අන්දමට මෙතුමිය සිය නිල බලය යොදා අනුරාධපුරයේ පාසල් 25 ක වාර විභාගයද නවත්වා එක්‌තරා

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ තෑගි ප්‍රදාන උත්සවයකට සහයෝගය දක්‌වා ඇත. 

මේ පිළිබඳව විමසූ විට එතුමිය කියා ඇත්තේ එය එච්චර බරපතළ සිද්ධියක්‌ නොවන බවත් මීට පෙරත් ඒ වගේ දේවල් සිදුවී තිබෙන බවත්ය. අපට හැඟෙන පරිදි නම් පාසලක වාර විභාග නැවැත්වීම යනු සුළු දෙයක්‌ නොවේ. 

එබඳු දෙයක්‌ කිරීමට ඇයට තිබෙන අයිතිය කුමක්‌ද යන්නත් අපි නොදනිමු. එහෙත් පාසල්වල වාර විභාග පවත්වන්නේත් ඒවාට ගුරුවරුන් යොදවන්නේත් මොළයේ අමාරුවක්‌ නිසා නොවන බව අපගේ අදහසය. එතුමිය වාර විභාගයට වඩා තම දේශපාලන බලවතාට ගරු කිරීමද අපට තේරුම් ගත හැකිය. 

එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රටේ අනෙකුත් අධ්‍යාපන කලාපවල අධ්‍යක්‍ෂකවරුන් හෝ අධ්‍යක්‍ෂවරියන් ඒ විදිහට හිතුමතේට වාර විභාග නවත්වා දේශපාලනඥයන් පිනවා ලකුණු දමා ගැනීමට ගියහොත් කුමක්‌ වේද යන්නය.

අධ්‍යාපන කලාපවල සමහර මුල් පුටුවල දේශපාලන ගැතිකම් කරන අයද සිටිති. ඔවුන්ට මේ රටේ දරුවන්ට වඩා අර දේශපාලනඥයන් වටින බවද අපි දනිමු. එහෙත් අධ්‍යාපන කලාපයක්‌ දේශපාලන ක්‍රියාකාරකම්වලට මැදිහත් කර ගැනීම බලවත් අපරාධයක්‌ බව අපි පැහැදිලිවම කියන්නෙමු.

කලාප අධ්‍යක්‍ෂක තරහ කර ගැනීමට පාසල්වල විදුහල්පතිවරු මෙන්ම විදුහල්පතිනියෝද අකමැති වෙති. සිසුන්ට තබා තමන්ට පාඩුවක්‌ සිදුවුණත් එතනින් එන නියෝගයට කීකරු වීම ගුරුවරුන්ගේ ස්‌වභාවයයි. 


ඇතැම් කලාප ලොක්‌කෝ තමන්ගේ සුබ සාධනය සඳහා සංවිධානය කරන පැදුරු පාටිවලට ටිකට්‌ විකුණන්නේද පාසල්වල ගුරුවරුන්ටය. පාසල්වල අහිංසක විදුහල්පතිවරු කලාපයෙන් එන ඕනෑම වාතයක්‌ භාරගෙන දුක්‌ විඳින්නෝ බවට පත්ව සිටිති.

අප ඒ කතාව කීවේත් අද මේ අධ්‍යාපන කලාපවල සිදුවන විකාර, ව්‍යාජ වැඩවලට නිදසුනක්‌ ලෙසය. එබඳු කතා සිය ගණනක්‌ අප ළඟ තිබේ. කෙසේ හෝ අප පෙන්වා දෙන්නේ අධ්‍යාපන කලාප බලධාරීන් පිස්‌සු කෙළීම අධ්‍යාපනය වළපල්ලට යන ගමනට හොඳ තල්ලුවක්‌ වී තිබෙන බවය.

මොනවා වුණත් උතුරුමැද කලාපෙන් දුන් මේ නරක ආදර්ශයත්, එයට ඒ කලාපීය අධ්‍යක්‍ෂතුමිය විසින් දෙන ලද කිතුල්ගහට නැගපු මිනිහා දුන් වර්ගයේ උත්තරයත් පිළිබඳව සොයා බැලීම කලාපයට උඩින් සිටින බලධාරීන්ගේ වගකීමකි. විදුහල්පතිවරුන්ට බ්‍රිගේඩියර් පට්‌ටම් දුන්නත් මෙබඳු තැන්වලදී ඔවුන් ක්‍රියා කරන්නේ ගැලවීමේ හමුදාවේ අය ලෙසින්ය.!
 
Related Posts with Thumbnails