Ads 468x60px

.

බේරුවල මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතා පුතුගේ තුරුලෙහිම අවසන් හුස්‌ම හෙලූ හැටි

බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතා විසින් තම පුතු වෙත පසුගිය දින තෑගි කළ අලුත්ම යතුරුපැදියේ ඉතිරි ලියකියවිලි භාරදීම සඳහා මොරගල්ල ප්‍රදේශයේ පිහිටි රථවාහන අලෙවිසල වෙත යන අතරතුර එම රථවාහන අලෙවිසල ඉදිරිපිටදීම ඔහු හා මහේල ප්‍රවීන් පුතුද පිටුපසින් පැමිණි බස්‌ රථයේ ගැටී විසිවී ගියේය. 

එහිදී බරපතළ ලෙස තුවාල ලැබූ ගාමිණී අල්විස්‌ මහතාව වහා නාගොඩ රෝහල වෙත රැගෙන යැමට තුවාල ලබා සිටි පුතු මහේල කටයුතු කළද ගාමිණී මහතාට තම වැඩිමහල් පුතුගේ තුරුලෙහිම තම ජීවිත ගමනට තිත තබා අවසන් හුස්‌ම හෙළීමට සිදුවිය. 

ඒ කිසිත් නොදත් මහේල පුතු තම සෙනෙහෙබර පියාගේ නිසල දේහයද රෝහලට රැගෙන විත් තාත්තාගේ පණනල කොහේ හෝ සැඟවී ඇත්දැයි
සොයන ලෙස වෛද්‍යවරුන්ගෙන් අයෑද සිටියේ තාත්තාගේ ආදරය ඇස්‌ ඉදිරිපිටදීම අහිමි වී යන බවට තේරුම් ගිය නිසාවෙනි. 

එහෙත් රෝහලට යන විටත් තම පියා තම පපුවට තුරුළුව අවසන් උණුසුම් හුස්‌මද හෙළා තිබූ බව දැන හඬා වැළපුණේ එහි බලා සිටි දෙනෝ දාහකගේ දැසට කඳුළු නංවමිනි.

 "අනේ මගේ තාත්තාට තාම පණ තියෙනවා. කවුරුහරි මගේ රත්තරන් තාත්තාව බේරගන්න එන්නකෝ. අනේ කවුරුහරි එන්නකෝ" තම හිසෙන් ලේ ගලමින් තිබියදී, හිසෙහි පිටුපස බරපතළ ලෙස තුවාල සිදුවී තිබූ තම පියා බදාගෙන මහමග හඬා වැළපුණු මහේල ප්‍රවීන් අල්විස්‌ (17) පුතුගේ අදෝනාවෙන් මුළු බේරුවල ප්‍රදේශයම ඇළලී ගියේය.

වහා එතැනට පැමිණි ත්‍රිරෝද රථයකට, බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස්‌ (49) මහතා සහ ඔහුගේ පුත් මහේල ද නංවාගෙන නාගොඩ මහ රෝහල වෙත පිටත් වුණා. 

තම පියාගේ ජීවිතය බේරා ගැනීමේ අදෝනාව එපමණින් නිමා කළ මහේල රෝහලට යනතුරුම තාත්තාගේ පණනළ බේරා ගැනීමේ අටියෙන් තාත්තා සිප වැළඳගත්තේ උතුරා පිටාර ගලා යන පීතෘ සෙනෙහසිනි.

"මහත්තයා ඔය ගමන යන්න ඉස්‌සෙල්ලා මම කිව්වා ඔයා පොඩි පුතාගේ ශිෂ්‍ය නායක උත්සවේට යන්න මම ලොකු පුතාත් එක්‌ක යන්නම් කියලා. ඒත් මහත්තයා කිව්වා කමක්‌ නෑ ඔයා පොඩි පුතාත් එක්‌ක යන්න ඒ වැඩේට, මම ලොකු පුතාත් එක්‌කම බයිසිකලෙන් ගිහින් මේ වැඩටික කරගන්නම් කියලා. 


මහත්තයා කිව්වා එයාට තව නගර සභාවේ වැඩ වගේකටත් යන්න තියෙනවා කියලා. ඉතින් මම ඒ දෙන්නට යන්න දීලා මම පොඩි පුතත් එක්‌ක ගියා. අනේ දෙයියනේ අන්තිමට මගේ පොඩි පුතා ශිෂ්‍ය නායකයෙක්‌ වෙන දවසේ එයාලගේ තාත්තා අපි හැමෝවම තනි කරලා දාලා යන්න ගියා...

" තම ආදරණීය සැමියාගේ හදිසි වියෝව පිළිබඳව දැඩිලෙස කම්පා වී සිටින පද්මකාන්ති හෑගොඩආරච්චි මහත්මිය (46) ගාමිණී මහතාගේ නිසල දේහය අසල හඬා වැටෙමින් පැවසුවාය.

යතුරුපැදිය පැදවූ මහේල ප්‍රවීන් පුතු තුවාල ලබා සිටි හෙයින් ඔහුවද වහා ප්‍රතිකාරවලට භාජනය කර ඇති අතර ඔහු තම පියාගේ නිසල දේහය අසල හඬා වැළපෙන්නේ තම යොවුන් සිතට කිසිදු සැනසීමක්‌ නොමැති නිසාවෙනි. 


තමා පිටුපස පැමිණි මරුවා තමා අතහැර සෙනෙහෙබර පියා බිලිගත්තේ මන්ද, තාත්තා තමා සමග නොපැමිණියේ නම් ඔහුගේ උණුසුම මා අදටත් ලබන්නේ නොවේද? යන තම සිතෙහි උපදින සෙනෙහෙ සිතුවිලි මැද ඔහු අසරණය. 

එයට මුහුණදීමට නොහැකි තැන මහේල පුතු තාත්තාගේ නිසල දේහය අසලට පැමිණ දැත එකතු කර වැඳ හඬා වැටෙන්නේ ගාමිණී මහතාගේ නිවසට රැස්‌ව සිටින සියලු දෙනාගේ සිත දුකට පත් කරවමිනි.



එදා උදේ මොරගල්ල ප්‍රදේශයේදී අනතුරක්‌ වුණා කියලා දැනගන්න ලැබුණා. ඒත් මම දැනගෙන සිටියේ නෑ ඒ මල්ලියි, පුතයි කියලා. මහේල පුතා දුරකථනයෙන් කතා කරලා කිව්වා අපිව බස්‌ එකක හැප්පුනා කියලා. තාත්තාට හොඳටම අමාරුයි කියලත් කිව්වා. 

මම ඒක අහපු ගමන්ම නාගොඩ රෝහලට ගියා. එතකොටත් මල්ලී සදහටම අපිව දාලා ගිහිල්ලා තිබුණා. මුළු ප්‍රදේශයටම මන්ත්‍රී කෙනෙක්‌ විදිහට ලොකු සේවයක්‌ කරපු මගේ මල්ලී රෝහලේ කොනේ ඇඳක කිසිම හැල හොල්මනක්‌ නැතිව නිදාගෙන සිටිය.

මගේ ඇස්‌ අදහාගන්න බැරිව ගියා. මහේල පුතාත් එතකොට තුවාල වෙලා හිටියේ. මගේ මල්ලී ගොඩක්‌ හොඳ කෙනෙක්‌. එයා සමෘද්ධි නිලධාරියෙ ක්‌ විදිහටත් නාගරික මන්ත්‍රී කෙනෙක්‌ විදිහටත් විශාල සේවයක්‌ කළා. එයාට කිසිම ජාති ආගම් භේදයක්‌ තිබුණේ නෑ. 


අදත් මේ ගෙදර මුස්‌ලිම් ජාතික අය ගොඩාක්‌ හඬා වැළපෙනවා. ජාති ආගම් භේද නොසලකා සැමට එක ලෙස සේවය කළ බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතාගේ වියෝව පිළිබඳව ඔහුගේ වැඩිමහල් සොයුරු චන්ද්‍රදාස අල්විස්‌ මහතා එසේ පැවසීය.

දරුවන් දෙදෙනකුගේ සෙනෙහස හා බිරිඳකගේ ආදරය එක ලෙස විඳිමින් ප්‍රදේශයට ඉමහත් සේවාවක්‌ කළ ගාමිණී අල්විස්‌ මහතා මහමඟ රැක සිටි මරුවා බිලිගෙන අවසානය. 


අද ඉතිරිව ඇත්තේ ඔහු කළ සමාජ මෙහෙවරෙහි වටිනාකම පමණි. දරුවන් දෙදෙනකුට පියෙකු සේම බිරිඳකට සෙනෙහෙබර සැමියකු ද අහිමි කළ මරුවා ගාමිණී අල්විස්‌ මහතාගේ දෛවයට සරදම් කර ඔහු දිවි මගින් පැහැරගත්තේ එලෙසිනි.

තම පුතුන් දෙදෙනාගෙන් හා බිරිඳගෙන්ද, තම හිතවත් සියලු දෙනාගෙන්ද සදහටම සමුගත් බේරුවල නාගරික මන්ත්‍රී ගාමිණී අල්විස්‌ මහතා ඊයේ (03 දා) බේරුවල පිටවෙල පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ දෙනෝදාහක්‌ සොවින් කම්පා කරවමිනි.
 
Related Posts with Thumbnails