Ads 468x60px

.

රට ගිය අම්මාට මදන විසේ ගසුවාට ජීවිත වලින් වන්දි ගෙවූ පුංචි පැටවු දෙන්නා

තාත්තෙක්‌ දරුවන් දෙදෙනා මරයි. ඉන්පසු තෙමේද සිය දිවි නසා ගන්නට උත්සාහ කර වැඩේ අත්හැර දමයි. ඔහු සිය දිවි නසා ගන්නට හදන්නේ තියුණු ආයුධයකින් කපා ගෙනය. එහෙත් රිදීම වැඩි නිසාදො ඔහු වැඩේ අත්හැර දමයි.

මේ තාත්තා දරුවන් මරන්නේ (ඔහු කියන විදියට) පහත සඳහන් කාරණා නිසා ය. එනම්,

* ඔහුගේ බිරිය වන දරුවන්ගේ අම්මා රට රැකියාවකට ගොස්‌ තිබීම.

* ඇය පිටරටදී වෙනත් පුද්ගලයකු සමඟ ප්‍රේමයෙන් වේලීම.

* එම තැනැත්තා සමඟ අලුත් ජීවිතයක්‌ පටන් ගන්නා බව දරුවන්ගේ පියාට කීම.

මේ කාරණය පදනම් කරගෙන තම දරුවන්ගෙන් පළි ගනු පිණිස ඔවුන් ගේ ගෙල බඳ පටියකින් හිරකර මරණ පියා අන්ත බූරුවෙකි. ගොනෙකි. නීචයෙකි. අම්මා රට ගියේ මඟුල් නැටීමට නොව රස්‌සාවකට ය. 


හේතුව, පවුලේ පැවැත්මට ප්‍රමාණවත් වන තරම් ආදායමක්‌ පියා විසින් නො උපදවනු ලැබීම ය. මිනිසා නමැති සතාට අතට මුදල් ලැබෙන විට
වෙනත් දේවල් ද මතක්‌ වෙයි. සමහර විට ඒ අම්මා මුදල් උපයන විට, තරුණ ගැහැනියක ලෙස, දුර රටකට පැමිණ ගත කරන නිස්‌සාර, කාන්තාරගත වියළි ජීවිතය ගැන කල්පනා වෙන්නට ඇත. 

ඒ අතර ඇයට යහපත් පෙනුමක්‌ ඇති, යහපත් ගතිගුණ තිබෙන බව පෙන්වන 'හොඳ බ්‍රෑන්ඩ් එකක' 6x4 ප්‍රමාණයේ, කමිස කර 17 ප්‍රමාණයේ XL (එක්‌ස්‌ට්‍රා ලාර්ඡ්) ඇඳුම් ඇඳීමට හැකි තරුණ පොරක්‌ හෝ මැදිවියේ පොරක්‌ මාට්‌ටු වන්නට ඇත. 

වයස මොක වුණාම මොකද ආදරය ලස්‌සනට කළ හැකි නම්. ලංකාවේ සිටින මිනිහාගේ වැරදි අම්මාට මතක්‌ වන්නේ මෙන්න මේ වගේ වෙලාවටය. සමහර විට ඔහු අරක්‌කු බොනවත් ඇති. කුණුහරුප කියන වත් ඇති. බිරියට තඩි බානවත් ඇති. මේවා පෙර වැරදි ලෙස හඳුන්වනු ලැබේ.

පියා පෙර වැරදිකාරයෙක්‌ නම්, මෙන්න මේ වගේ වෙලාවට අම්මාට සිහිපත් විය යුතු කාරණයක්‌ තිබේ. එනම්, තමන්ගේ ඇස්‌ දෙක වැනි දරුවන් දෙදෙනා ලංකාවේ සිටින ඔහු භාරයේ ඇති බව ය. 


ඔහු සමඟ එක ගෙයි අවුරුදු අටක්‌ - දහයක්‌ ජීවත් වී නම් (මරණ ලද ලොකු ළමයාගේ වයස අවුරුදු 7 කි) ඔහු කවරාකාර මැටි ගොනකු දැයි අම්මා දනී. 

ඔහු දරුවන්ගෙන් පළිගන්නා නීචයකු බවට තක්‌සේරුවක්‌ අම්මා තුළ තිබිය යුතුය. එහෙත් ඇය ඒ බව අමතක කර ඇත. නො එසේ නම් ආදරය වෙසින් එන රාගය ඉදිරිපිටදී ඇයට ඒ බව අමතක වන්නට ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි විටෙක සිදුවෙන පොදු කාරණය වන්නේ රට ගිය අම්මාට මදන විසේ හෝ මෝල් කලන්තය ඇති බව කියමින් ගමේ සිටින කුහකයන් හෝ රට පුරා සිටින සුචරිතවාදීන් පිස්‌සු කෙළීම ය. 


මේ එකෙක්‌වත් අර දරුවන් තාත්තා සමඟ තනිව සිටියදී උන් ගැන සොයා බැලුවෝද?. කෑම කටක්‌ දුන්නෝ ද? අම්මා රට ගියේ 'මෙහෙදී කර ගැනීමට බැරි වූ දේ එහෙදී කර ගැනීමට' නොව කීයක්‌ හෝ උපයා ගෙන තම පවුල ගොඩ නැගීමේ මූලික අරමුණ ඇතුවය.

මේ කතාවට සම්බන්ධ තාත්තා සහ අම්මා කැඳවා ප්‍රශ්න කළොත් ඒ දෙදෙනාම තම තමන්ට සාපේක්‍ෂව සාධාරණ යයි හිතෙන කතන්දර දෙකක්‌ කීමට ඉඩ තිබේ. 


තමන් වැරදි බව පිළිගැනීමට අම්මා හෝ තාත්තා කිසිම විදියකට සූදානම් නොවනු ඇති. එහෙත් ඒ දෙදෙනාගේ සාක්‍ෂි විභාගය අසා සිටින දෙදෙනෙ ක්‌ මහත් සෝකයෙන් හඬාවැලපෙන බව සියලු දෙනා දත යුතුය.

ඒ දෙදෙනා වූ කලී තවමත් ගන්ධබ්බ කාලය ගත කරන අර පුංචි පැටවු දෙදෙනා ය.
 
Related Posts with Thumbnails