Ads 468x60px

.

මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන මහලු සෙනසුරුගේ වැඩ නොවැම්බර් 02න් පස්සෙ බලමු


මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වන ග්‍රහයා තමයි සෙනසුරු. ඒ 2014 නොවැම්බර් මස 02 වැනි දින රාත්‍රි 09.05ට මෙතෙක් කන්‍යා රාශිය හරහා මිත්‍ර ලීලාවෙන් ගමන් කරමින් සිටි සෙනසුරු තමන්ට සතුරු රාශියක් වන වෘශ්චික රාශියට පැමිණීම නිසා සෙනසුරුගේ මේ රාශි මාරුව තමන්ට කෙසේ බලපාවිද යන්න දැන ගැනීමට හැමදෙනාම දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. 

ජේ‍යාතිර් විද්‍යාවේදී අපට හමුවන ප්‍රධානතම ග්‍රහයන් නව දෙනා අතරින් සෙනසුරු, නෛසර්ගික පාපියකු ලෙස සලකනු ලබනවා. නෛසර්ගික යන්නෙහි අර්ථය උපතින්ම යන්නයි. එනම් සෙනසුරු උපතින්ම පාපියකු හැටියට තමයි ජේ‍යාතිෂයේදී පිළිගනු ලබන්නේ.

මෙහෙම ඕනෑම ග්‍රහයෙක් උපතින්ම පාපීය, එනිසා එයා කරන්නේ නරක විතරයි. ඒ නිසා එයාට අපි බයයි. එයා රාශියක් මාරු කළාම අපිට හරිම

නරකයි කියලා හිතන එක නම් එතරම් සාධාරණ නැහැ. ග්‍රහයෙක් රාශියක් තුළ සිටින විට පලාපල කීමේදී කරුණු කාරණා කීපයක් ගැනම සලකා බලනවා. එයා එම රාශියේ ඉන්නේ. 

උච්ච, නීච, සතුරු, මිතුරු, ස්වක්‍ෂේත්‍ර ආදී මොන බලයක් ලබා ගෙනද? ග්‍රහයා ඉන්න රාශිය කේන්දර හිමියාට හොඳ තැනක්ද නරක තැනක්ද යන්න ආදිය අද අපි මේ ලිපියෙන් සෙනසුරු ග්‍රහයා අපට ගෙන දෙන වාසි, එහෙමත් නැත්නම් හොඳ පැත්ත ගැන ටිකක් බලමු. වෙනත් විදියකට කියනවානම් සෙනසුරු ගැන සුබවාදීව බලමු.

විවේක තියෙන වෙලාවකදී ගන්න ඔබගේ කේන්දරය අතට. අරගෙන බලන්න සෙනසුරු ඉන්නේ මොන රාශියේද කියලා. ඔබගේ ලග්නයේ නමින් කේන්දරයේ පළමුවැනි කොටුව හැඳින්වෙන බව දැන් ඔබ හොඳින්ම දන්නවා. එතැන් සිට රාශි අනුපිළිවෙළට වම් පැත්තට එක එක කොටුවට එම කොටුවට අයිති රාශිය වෙනම සටහන් කරගන්න. 


රාශි අනුපිළිවෙළ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වශයෙනි.

සෙනසුරු ගැන මෙතරම් උනන්දුවක් දක්වන වකවානුවක අපි එයා ගැන විශේෂයෙන් යමක් ඉගෙන ගත්තොත් හොඳට මතක හිටීවි. සෙනසුරු රාශි 12 හරහා යද්දී එයාට අයිති වන තත්ත්වයත් මෙසේයි. සෙනසුරුට ජේ‍යාතිෂ භාෂාවෙන් කියන්නේ ශනි.

ශනි මේෂයේදී නීච වෙනවා. වෘෂභ, මිථුන රාශිවලදී මිත්‍ර වෙනවා. කටක, සිංහ රාශි දෙක හරහා යන කොට නම් සතුරුයි. කන්‍යාවෙදිත් මිත්‍ර වෙනවා. තුලා රාශිය හරහා ගමන් කරන විට උච්ච බලය ලබා ගන්නවා. වෘශ්චිකයේදී සතුරු වෙනවා. ධනුවේදී ලබා ගන්නේ සම තත්ත්වයක්. මකර සහ කුම්භ රාශි දෙකේදීම ස්වක්‍ෂේත්‍ර වෙනවා. මීන රාශියේදී ලබාගන්නේ සම තත්ත්වයක්.


ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථානවලට කේන්ද්‍රස්ථාන කියලා කියනවා. ඔබගේ ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථානයක සෙනසුරු සිටියදී එයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලය ලබා ගන්නවා නම්, එය සස යෝගය ලෙස හඳුන්වනවා. සස යෝගය කියන්නේ ජේ‍යාතිෂයේදී අපට හමුවන මහා පුරුෂ යෝග පහෙන් එකක්. 


වෙනත් විදියකට කියනවානම් ඕනෑම ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථානවලින් එකක් තුලාව හරි මකරය හරි කුම්භය හරි වෙලා ශනි එහි තැන්පත් නම් ඒ තමයි සස යෝගය.

මේ සස යෝගය කෙනකුට පිහිටන්නේ එයා ඉහත ආත්ම භවයන්හිදී කර ගන්නා ලද මහත් පින්කම් හේතුවෙන්. එයා සමහර විට තමන් සතු ඉඩකඩම් පවා පිරිසුදු සිතින් අනුන්ට දන් දීලා ඇති.

සස යෝග හිමියන් සතු ප්‍රධානතම ගති ගුණය වන්නේ කිසියම් කටයුත්තක් නිම කිරීම සඳහා ඔවුන් තුළ තිබෙන දැඩි උනන්දුවයි. බාධක මැඬගෙන අවසන් අරමුණට ළඟාවන තෙක්ම වෙහෙසවී වැඩ කිරීමට ඇති හැකියාවයි. 


මේ යෝගය ඇති අය වැඩකටයුතු කළමනාකරණය පරිපාලනය කිරීමට ඉතා දක්‍ෂ වෙනවා. ඔවුන්ගේ ඇස් දිහා බලන්න අනික් අයට බයයි. 

බැල්මෙන්ම විශාල පිරිසක් පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. දුක් විඳින ජනයා අතරට ගොස් ඔවුන්ගේ හිත දිනා ගනිමින් ඔවුන් අතරම නායකත්වය දරමින් ගම් නගර තනමින් රාජ්‍ය බලය ලබා ගැනීමට පවා හැකි වෙනවා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම පත්‍රයේ මෙම සස යෝගය පිහිටා තිබුණා. මේෂ ලග්න හිමි එතුමාගේ ජන්ම පත්‍රයේ හත්වැන්නේ (තුලාවේ) ශනි උච්ච බලයෙන් පිහිටා තිබුණා. නවාංශක කේන්දර සටහනේද ශනි උච්ච බලයෙන් යුතුව හිටියා. සස යෝගය ඉතා ප්‍රබලව යෙදුණු අවස්ථාවක් තමයි මේ.


සස යෝග හිමියන් බොහෝ විට කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාවල යෙදෙන බවක්ද දක්නට ලැබෙනවා. වෙනත් රැකියාවක් කරන කෙනකුට සස යෝගය තිබුණොත් එයාට අමතර ආදායමක් හැටියට වැවිලි කටයුතුවල යෙදෙන්නට පුළුවන්.

ජන්ම පත්‍රයේ 6, 8, 12 යස ස්ථාන දුෂ්ට ස්ථාන කියලා හඳුන්වනවා. ඔබගේ ජන්ම පත්‍රයේ ඉහත ස්ථානවලින් එකක අධිපතිකම ශනිට හිමිවී, ශනි එම ස්ථාන තුනෙන් එකකම තැන්පත් වී හිටියොත් විපරිත රාජ යෝගයක් ඇති වෙනවා. මෙම රාජ යෝගයද ඉතා බලවත්.


ශනිගේ විශේෂ ලක්‍ෂණයක් තමයි, යාබද රාශි දෙකක් තුළදී ස්වක්‍ෂේත්‍ර වීම. ඒ මකර හා කුම්භ රාශිවලදී.


ඉතින් 2014 නොවැම්බර් 02 වැනිදා සිදුවන මේ ශනිගෙ මාරුවෙන් සමහරුන්ට හොඳයි තවත් සමහරුන්ට ඒරාෂ්ටක ආදී අපල තත්ත්ව ඇති වෙනවා. ශනිගේ රාශි මාරුවෙන් අයහපතක් සිදු වෙනවා කියලා හිතෙනවා නම් පහත පිළිවෙත් ඉටුකිරීමෙන් අයහපත අඩුකර ගන්න පුළුවන්.

1. විෂ්ණු දෙවියන්ගෙන් පිහිට පතන්න.


2. කාක නිල් මැණික් ගලක් යෙදූ යකඩ මිශ්‍ර ලෝහයෙන් තැනූ මුදුවක් පලඳින්න.


3. නිල් රෙදි නැති බැරි අයට දෙන්න.


4. කළු තල, අංජන කැට, ලොත්සුඹුළු, බැබිල, වී පොරි, සතකුප්ප, තැම්බූ වතුර ස්නානය කරන්න.


5. නුග ගසට සාත්තු කරන්න, ගස ස්පර්ශ කරන්න.


6. සෙනසුරාදා උදේට ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න.


ශනි මාරුවෙන් තමන්ට අයහපත් නම් පිළිවෙත් කරලා යහපත උදාකර ගැනීමත්, යහපත් නම් අදාළ කටයුතුවල යෙදිලා ජීවිතය සාර්ථක කර ගැනීමත් තමයි හොඳ,


- ජේ‍යාතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි
 
Related Posts with Thumbnails