Ads 468x60px

.

හරුන් ලන්ත්‍රා අවසන් ගමනට එකතු කරපු රු.70,000ත් කොල්ලකාලා


ප්‍රවීණ ගුවන් විදුලි ගායන හා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රා මහතාගේ කැලණියේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණි පිරිසක් එම යුවළ සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ලකා පලාගොස් තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ලන්ත්‍රා මහත්මිය විසින් තමන්ට හදිසි අවස්ථාවකදී වියපැහැදම් කිරීමට ඉතා අමාරුවෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂයක මුදලින් 70,000ක් මෙලෙස කොල්ල කා ඇති බවයි.

මේ වන විට ජීවිතයේ සැදෑ සමයට පැමිණ සිටින එම යුවළ ජීවත්වන නිවෙස පිරිසුදු කර දෙන බව පවසමින් කාන්තාවක හා තවත් පිරිමි

පුද්ගලයන් දෙදෙනකු නිවෙසට පැමිණ ඉතාමත් අරපිරිමැස්මෙන් හා සුරක්ෂිතව තබා ගන්නා ලද රුපියල් ලක්ෂයක මුදලකින් රුපියල් 30,000ක් තබා රුපියල් 70,000ක මුදලක් මෙසේ කොල්ලකා තිබෙනවා.

නිවෙසේ සියල්ල අස්පස් කර පිරිසුදු කර දෙන ලෙසට පවසා මේ නාඳුනන කාන්තාව හා අනෙක් පුද්ගලයන් දෙදෙනා එම යුවළගේ කාමරයට පවා ඇතුළු වී අල්මාරියේ තිබූ ලිපි ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම්ද එළියට ඇද දමා ඒවා ඉවතට ගෙනවිත් ගොඩ ගසා ගිනි තබා පුච්චා දමා ඇති බවද ලන්ත්‍රා මහත්මිය අප කළ විමසීමකදී පැවැසුවා.

තමන් මුහුණදුන් සිද්ධිය පිළිබඳ ලන්ත්‍රා මහත්මිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.


මගේ මහත්තයාට දැන් කතා කරගන්නවත් බැහැ. මමත් බොහෝම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් අපේ නැති බැරි කමට අපි දෙන්නාට උදවු උපකාර කරගෙන බොහෝ දෙනෙක් මේ ගෙදරට එනවා. ඇවිල්ලා ගේ අස් පස් කර දීලා, කන්න බොන්න අඳින්න පලඳින්න පවා දීලා යනවා.

ඉතින් අපි දෙන්නා එහෙම හම්බවෙන දෙයක් භුක්ති විඳගෙන පාඩුවේ ජීවත් වෙනවා. එදා ගෑනු කෙනකුයි, තවත් පිරිමි දෙන්නකුයි එක පාරට ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා අපි ගේ අස් කරලා පිරිසුදු කරලා දෙන්නම් කියලා. මම ඒත් කිව්වා ඕන නැහැ කියලා. ඔවුන් බලෙන්ම ගේ පිරිසුදු කරන්න පටන්ගත්තා.


ඔවුන් තුන්දෙනා කාමරවලට යන්න හදද්දි මම කිව්වා කාමරවලට ගිහින් පිරිසුදු කරන්න ඕන නැහැ සාලේ විතරක් පිරිසුදු කරන්න කියලා. ඒ පාර කිව්වා ඔබතුමී පැත්තකට වෙලා ඉන්න කාමර ඇතුළට එන්න එපා අපි මේ ටික කරලා දීලා යන්නම් කියලා.

පස්සේ කාමරවල තිබෙන ලට්ට පට්ට ඔක්කොම ගෙනැල්ලා මිදුලේ ගොඩ ගැහුවා. පරණ ඇඳුම් කියලා අපි දෙන්නා ඇඳ ඇඳ හිටපු ඇඳුම් පවා එළියේ ගොඩ ගහලා, පෙට්ටිවල තිබුණු ලිපි ගොනු පවා ගොඩ ගහලා ගිනි තිබ්බා.


ගේ අල්මාරියේ රුපියල් ලක්ෂයක් තියලා තිබුණා බොහෝම පරිස්සමට. ඒ සල්ලි මම දුක් මහන්සියෙන් හම්බ කරපුවා. මම ඒ සල්ලි එකතු කෙළේ අපි දෙන්නාගෙන් කාට හරි හදිස්සියේ කරදරයක් වුණොත් ඒවාට ගන්න කියලා. දැන් අපි ගැන කියන්න බැහැනේ. අපි වයසයි. මරණයකදී ගන්න කියලා ඒ සල්ලි හරි පරිස්සමට තියලා තිබුණා.

මේ කට්ටිය ඒ සල්ලිවලින් රුපියල් 70,000ක් අරගෙන රුපියල් 30,000ක් ඉතුරු කරලා තියලා ගිහිල්ලා තිබුණා. මේ තුන්දෙනා එහෙම දෙයක් කරලා යාවි කියලා මම හිතුවේ නැහැ. මොකද වෙනදාටත් එක එක කට්ටිය ඇවිල්ලා ගේ අස්පස් කරලා දීලා යනවානේ. මම මේවා කියන්න පොලිසියට ගියේ නැහැ. මම ඒ කට්ටියට කියන්නේ ගත්තු සල්ලි ටික පුළුවන් නම් ආපහු ගෙනල්ලා දෙන්න කියලා.

මේ තුන්දෙනා වාහනයකින් තමයි ආවේ. එහෙත් ආපු වාහනේ මොකක්ද කියලා මම දැක්කේ නැහැ. මේ ගොල්ලෝ අපේ ගෙදර ඔප්පුවත් හොයලා තිබුණා. මට ඒක ආරංචි වුණේ අහල පහළ ගෙවල්වලින්. අපේ ගෙදරට ඔප්පුවක් තියෙනවාද කියලා ඔවුන් අහල පහළ ගෙවල්වලින් අහලා තියෙනවා.

ප්‍රවීණ ගායක හරුන් ලන්ත්‍රා මහතා අඩසියවසක කාලයක්පුරා රසික ජනහද දිනාගත් ගායන ශිල්පියෙකි. ඔහුගේ ගීත අතරින් අදටත් ඔහු මතකයට නැඟෙන්නේ "සුළං කුරුල්ලෝ" ගීතයෙනි. 'මගේ නාමලී', 'හදමල් පැදුරේ', 'නිවුණා හද සන්තානේ' ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කර තිබේ.
 
Related Posts with Thumbnails