Ads 468x60px

.

"කොහොමත් දහදාහක්‌ ලැබෙනව නේ" යන කතාව


අයවැය ගැන ජනතාව එතරම් බලාපොරොත්තු ඇති කර නොගන්නා යුගයක්‌ තිබිණි. ඒ, කිසි විටෙකත් අයවැය මගින් ඉදිරිපත් කළ "සහන" ජනතාව බලාපොරොත්තු වන මට්‌ටමේ ඒවා නොවූ බැවිනි. 

එයින් කියෑවෙන්නේ අයවැය සහන යනු ජනතා බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම යන්න නොවේ. ඒ කෙසේ වෙතත් නව රජය ඉදිරිපත් කළ සහන අයවැය ගැන ජනතාව තුළ එවැනි අපේක්‍ෂාවක්‌ තිබිණි. එය "අපේ අයවැයක්‌" මට්‌ටමට ජනතාව තුළ විශ්වාසය ඇති වී තිබිණි. 

අයවැයට පසු දිනම මෙය "අපේ අයවැයක්‌ නොවේ" යෑයි මුලින්ම කීවේ වාහන ආනයනය කරන්නන්ය. පැනවූ බදුවලින් වඩාත්ම කතාබහට
ලක්‌වූයේ හයිබ්‍රිඩ් වාහන සඳහා පැනවූ බද්දය. ඒ අනුව කලින් ආනයන කර තිබූ අයට සහනයක්‌ දෙමින් නැවත සංශෝධනයක්‌ කෙරිණි. 

එහෙත් ප්‍රශ්නය ඉවර නැත. "පුංචි කාර්" සම්බන්ධයෙන් "පුංචි අයට" (පොඩි මිනිහාට) ප්‍රශ්න තිබෙන බව කියවිණි. ඊට මුදල් ඇමැතිවරයා මැදිහත් වී ලක්‍ෂයක මුදලක්‌ අඩුකර දීමට පියවර ගත්තේය.

ඊළඟට ප්‍රශ්නය වී තිබුණේ බඩු මිල අඩු කෙරුවත් හාල්, පරිප්පු මිල අඩු කිරීමට ඇති නොහැකියාව ගැනයි. ඒ ගැන විසඳුම් කෙසේ වෙතත් කතාබහ කිරීම ද සිදුවූයේ නැත. 


රූපවාහිනී සංවාදයකදී පසුගිය රජයේ ඇමැතිවරයෙක්‌ වත්මන් රජයේ ඇමැතිවරයෙක්‌ගෙන් ඇසුවේ "තමුන්නාන්සේලාට මේ පොඩි මිනිහා නිතර කන පරිප්පු, මුංඇට මිල අඩු කරන්නට හැකියාවක්‌ තිබුණේ නැද්ද?" යනුවෙනි. 

වත්මන් රජයේ ඇමැතිවරයා ගත් කටටම ඇසුවේ "ඇයි තමුන්නාන්සේලාට ඒවා කරන්න බැරි වුණේ?" යනුවෙනි. දැන් තත්ත්වය පැහැදිලිය. ඒ කොයි කවුරු ආවත් කොරන්නට හැක්‌කේ එපමණක්‌ බවය.

කෙසේ හෝ ඊයේ වන විට ස.තො.ස. තවත් භාණ්‌ඩ දහයක මිල අඩු කළ බව වාර්තා වී තිබිණි. සුදු සීනි, හාල්මැස්‌සන්, උම්බලකඩ, තිරිඟු පිටි, මුංඇට, සැමන්, සහල් ආදී භාණ්‌ඩ දහයක්‌ ඒ අතර විය.

තෙල් මිල පහළ ගිය ද පාසල් වෑන් රථ ගාස්‌තුව තවමත් පවතින්නේ ඉහළ මට්‌ටමකය. පාරිභෝගික සේවා අධිකාරියේ මහත්වරුන්ට වෙළෙඳ සල්වලට කඩා පනිමින් ගරිල්ලා සටන් මෙහෙයවන්නට සිදුව ඇත්තේ තවමත් පරණ මිලටම භාණ්‌ඩ විකුණන ත්‍රස්‌තවාදීන් සොයා ගන්නටය. 


ඒ සියල්ලටම හේතු වී ඇත්තේ සමහර භාණ්‌ඩවල මිල එහා මෙහා කළ ද සම්බන්ධිත සේවාවන් හි මිල ගණන් එහා මෙහා කිරීමට නොහැකි වීමය. පේස්‌ටි්‍ර, මාළු පාන් වැනි ආහාරවල මිල අඩු කළ නොහැක්‌කේ, ඒ සඳහා යොදාගන්නා මාළු, එළවළු, ලූනු, අල ආදියේ මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ නොගිය නිසා බව කියෑවේ. 

ඊට විසඳුම බත්වලට හුරුවීම යන අතාර්කික ප්‍රකාශයන් වලංගු නැත. "තුන්වේලටම බත් කනවා" යෑයි කියන රටේ අඩියෙන් අඩියට ඇති පේස්‌ටි්‍ර කඩවල රැස්‌කකා සිටින මිනිස්‌ ශරීර කූඩු දකින්නෙකුට එම ප්‍රකාශය පුස්‌සක්‌ බව වැටහේ.

කෙසේ හෝ කතාව සහන ගැනම නොවේ. ලැබෙනවා යෑයි කී බොහෝ දේ නොලැබෙනවා යෑයි කීමය. ඒ කතාවලිනුත් ප්‍රධානම කතාව වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමය. 


ආණ්‌ඩුව පත්වන්නට පෙර සිටම තිබූ ප්‍රධානතම පොරොන්දුවක්‌ වූයේද රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමය. එය කොතරම් ආකර්ෂණීයදැයි කිවහොත් හිතුවටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ චන්ද වත්මන් ආණ්‌ඩුවට ලැබුණේ රජයේ සේවකයන්ගෙනි. 

මේ රජයේ සේවකයන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ මූලික වැටුපට මේ වැඩිවීම එකතු වනු ඇති බවය. එයින් වැටුප් විෂමතාවක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි වුවද ආණ්‌ඩුව ඊට ද විසඳුමක්‌ යොදනු ඇතැයි ලක්‍ෂ 14 ක්‌ වූ රජයේ සේවකයන්ගේ බලාපොරොත්තු විය. 

එහෙත් මේ වැටුප් වැඩිවීම පෙබරවාරියේ සිට රජයේ සේවකයන්ට හිමිවන්නේ "දීමනාවක්‌" ලෙසිනි. මූලිකව පෙබරවාරියේදී රුපියල් පන්දහසක්‌ හා ජුනි මාසයේදී පන්දහසක්‌ ලෙස එම දීමනාව වැටුපට එල්ලා ලබාදීමට කටයුතු කෙරේ.

"කොහොමත් දහදාහක්‌ ලැබෙනව නේ" යන කතාව වලංගු නැත. ඡන්දයට පෙර ඇහුණේ කියන දේ කරන, කරන දේ කියන ආණ්‌ඩුවක හඬය. එවැන්නක්‌ සිදු නොවන තැන බොහෝ ආණ්‌ඩු ගෙදර ගිය ආකාරය සිහිපත් කරගැනීම වටනේය.
 
Related Posts with Thumbnails