Ads 468x60px

.

පළාත් පාලන ආයතන යහපත් නිල ධාරීන් අතට යා යුතු බව


ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අවසන් වී ඒවා නිලධාරි පාලනයට යටත් වී ඇති බව මේ වන විට මුළු රටම දනී. ග්‍රාම සේවකගෙන් පසු රටේ ජනතාවට වඩාත්ම ආසන්න වන්නේ පළාත් පාලන ආයතනයන් ය. 

අද වන විට ගෙදර උළුවස්‌ස වෙනස්‌ කිරීමේ සිට අලුතින් ජනෙල් කවුළු වක්‌ සෑදීම දක්‌වා සුළු සිද්ධීන්ට පවා පළාත් පාලන ආයතනවල අවසර ලබා ගත යුතුය. රස්‌සාවකට යනු පිණිස ලබා ගන්නා ග්‍රාම සේවක සහතික ය, එම අදාළ පළාත් පාලන ආයතනයකින් අනුමත කර ගත යුතුය. 

මෙහිදී පළාත් පාලන ආයතන යනු ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභා බව සඳහන් කිරීම වැදගත් ය. ඒවා පක්‍ෂ දේශපාලන පදනම මත මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන් විසින් පාලනය වන
රජයේ ආයතන බව තවදුරටත් සඳහන් කරමු. 

කිසියම් නගරයක හෝ ගමක පොදු පහසුකම් නඩත්තු කරන්නේ පළාත් පාලන ආයතනයයි. වහින විට පාරේ කාණුවල වතුර බහින්නේ නැත්නම්, පාරවල් කැඩී ඇත්නම්, ව්‍යායාම මංතීරුවල වල් වැවී ඇත්නම්, උද්‍යාන වල ලයිට්‌ සොරකම් කර ඇත්නම්, කුණු කසළ එකතු වී ඇත්නම් මිනිසුන් හෙණ ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවට ය මහ නගර සභාවට ය නගර සභාවට ය. 

මේ අනුව මේ ආයතන ජනතාවට කොතරම් සමීප ද යන්න තේරුම් ගත හැකි ය. මිනිසාගේ එදිනෙදා ජීවිතයට වඩාත් ම සමීප රජයේ ආයතන දෙකක්‌ තිබේ. එයින් පළමුවැන්න විදුලිබල මණ්‌ඩලය ය. දෙවැන්න ජලාපවහන මණ්‌ඩලය ය. පළාත් පාලන ආයතන ද මේ තරමටම ජන ජීවිතය සමඟ බද්ධ ය.

ජනතා ඡන්දයෙන් පත්වන පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ පාලනය යටතට පත් කර ඇත්තේ ඒවායේ නිල කාලය අවසන් වූ නමුත් ඡන්ද පැවැත්වෙන හැඩක්‌ නැති බැවිනි. 


පළාත් පාලන ඡන්ද තබා මහ ඡන්දයවත් එන දිනයක්‌ ගැන තවමත් හරි හැටි කතාවක්‌ නැත. අපට තිබෙන ලොකුම අර්බුදය, පළාත් පාලන ආයතන නිලධාරීන් යටතට පත් කළ විට ඇති විය හැකි තත්ත්වය ය.

ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියා යනු ඒ තරම් හොඳ ප්‍රතිරූපයක්‌ ඇත්තකු නොවේ. යහපත් කාර්යක්‍ෂම නිලධාරීන් රජයේ සේවයේ බහුලව සිටිය ද අපට මුණගැහෙන්නේම මුහුණ එල්ලාගත්, නිතර තරහ ගන්නා, මහ ජනයා දකින විට අහක බලා ගෙන සිටින, කතා කළ විට ඇඟට කඩා පනින, අන් අයගෙන් වෙන්ව හුදෙකලාව පැත්තක්‌ ගසා ගෙන සිටීම ප්‍රිය කරන බිං ඌරන් වැනි නිලධාරීන් ය. 


මේ අතළොස්‌ස වැඩට එන්නේ පත්තර බැලීම, උදේ - දවල් ආහාර ගැනීම සහ සවස තේ බීම යනාදිය සඳහා ය. මහජනතාවට ඉතාම ආසන්න පළාත් පාලන ආයතනවල බලය මෙවැනි නිලධාරීන් අතට ගියොත්,එම ආයතන වල උදවු පතාගෙන එන ජනයාට සිදු වන්නේ විශාල ඇබැද්දියකි. 

දේශපාලනඥයන්ගේ පාලන බලය යටතේ මේ ආයතන තිබුණේ නම් යහපති යන හැඟීම ජනයා තුළ හටගන්නේ එවිට ය.

ඒ අනුව අපගේ ප්‍රාර්ථනය වන්නේ පළාත් පාලන ආයතන යහපත් නිල ධාරීන් අතට යා යුතු බව ය. එසේම හැකි ඉක්‌මනින් ඡන්ද පවත්වා එම ආයතන මහජන නියෝජිතයන් අතට පත්වන්නේනම් එය ද වැදගත් ය.
 
Related Posts with Thumbnails