Ads 468x60px

.

කොටින් සැමරිය යුතුය (හැබැයි ඒ පා සතරේ කොටින්ය)


මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් ඉතා වැදගත් නියෝගයක්‌ නිකුත් කර තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ නමැති සංවිධානයක්‌ විසින් මියගිය දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් සමරනු ලැබීම සඳහා අද (18 දා) පැවැත් වීමට නියම කරගෙන තිබූ උත්සවයක්‌ එකී උසාවි නියෝගය මගින් තහනම් විය. 

තහනම් සංවිධානයක්‌ වන කොටි සංවිධානයේ මියගිය සාමාජිකයන් සැමරීමෙන් සාමය කඩවිය හැකි බව මුලතිව් පොලිසිය උසාවියට කියා තිබිණ. ලංකාවේ පොලිසි වැඩි හරියක ගොනුන් සිටිය ද මුලතිව් පොලිසියේ බුද්ධිමත් නිලධාරීන් සිටින බව මෙයින් පෙනේ. 

එම ඉල්ලීමට අනුව මුලතිව් මහෙස්‌ත්‍රාත් උසාවියේ උගත් විනිශ්චයකාර තුමා නිකුත් කළ නියෝගය ඉතාම කාලෝචිත වන අතර ජාතිවාදය අප්‍රිය කරන, නීතියේ හා සාමයේ පැවැත්ම අගය කරන සියලු දෙනා එයට
ප්‍රණාම පුද කරනවා ඇත. කොටියා මළාට උගේ හොල්මන හැම තැනකම සිටී. එම හොල්මන පලවා හැරීම ඉතා පරෙස්‌සමින් කළ යුතු කාරියකි. 

හොල්මන අතින් ඇල්ලීමට නොහැක. එහෙත් එහි බලපෑමෙන් දුර්වල හිතක්‌ ඇති මිනිසා තුළ ලොකු පෙරළියක්‌ කළ හැකිය. කොටි හොල්මන මේ වෙලාවේදී ආරූඪ වී ඇත්තේ දෙමළ ජාතික මහජන පෙරමුණ නමැති සංවිධානයටය. 

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ කොටි ත්‍රස්‌තවාදීන් අතර තිබූ වසර 30 ක්‌ පමණ පැරණි යුද්ධය අවසන් වන්නේ 2009 අවුරුද්දේ මැයි 18 වනදා ය. පසු දින පාර්ලිමේන්තුවට ගිය එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් බව ප්‍රකාශයට පත් කළේ ය. 

එයින් ස්‌වල්ප වෙලාවකට පසු එවකට හමුදාපතිව සිටි අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගත් බව නිවේදනය කළේය. යුද්ධය මෙහෙයවූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ද එම නිවේදනය අනුමත කළේය. 

එවිට කොටි සංවිධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම වන දෙමළ ජාතික සන්ධානය සද්ද නොකර, තමන් කොටින්ට කිසිදු සම්බන්ධයක්‌ නැතැයි කියන්නාක්‌ මෙන් සිටියේ ය. 

එයින් දින කිහිපයකට පසු "එන එන හැටියට ගහ උළුවස්‌සා - වැළ යන පැත්තට ගහපිය මැස්‌සා" නමැති කපටි තියරියට අනුව යමින්, මහින්ද රාජපක්‍ෂ යනු සිංහලයන්ගේ පමණක්‌ නොව තමන්ගේ ද ජනාධිපති බව දෙමළ සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් (කන්දයියා) ප්‍රේමචන්ද්‍රන් කීවේය. 

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් මෙසේ කියා පැය 24 ක්‌ ඇතුළත සිය දිවි නසාගන්නට ප්‍රේමචන්ද්‍රන්ට සිදු වේ. කෙසේ වුවද යුද ජයග්‍රහණ යේ තුන්වන අවුරුද්දෙන් පසු තැන තැන සැඟව සිටි කොටි ටික ටික අවදි වන්නට පටන් ගත්හ. 

ඒ කාලයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බල උන්මාදයෙන් පිස්‌සු වැටී සිටි බවත් ඒ නිසාම ආණ්‌ඩුව පරිහානියට පත්වෙමින් තිබූ බව මහත් සංවේගයෙන් මතක්‌ කරමු. 

ආණ්‌ඩුව පිස්‌සු කෙළිය තරමට කොටි සහ ඔවුන්ගේ අනුග්‍රාහක සිංහල කොටි දඟලන්නට වූහ. අද නැවතත් කොටියා ඉවසිල්ලක්‌ නැතිව දොඩවමින් සිටින්නේ ය. දෙමළ ජාතික මහජන පෙරමුණේ කොටි සැමරුම එම දෙඩවිල්ලේ එක්‌ අවස්‌ථාවකි.

කොටියා සැමරිය යුතුද? නැත. කොටියා මළේ රට බේරා ගැනීම සඳහා ඇමරිකාවට හෝ එංගලන්තයට එරෙහිව සටන් වැදීමට යැමෙන් නොව රට කැඩීම සඳහා ඒ රටවල් සමඟ එකතු වී දේශයේ ආරක්‍ෂකයන් වන ත්‍රිවිධ හමුදාවට එරෙහිව යුද කිරීමෙනි. 


යුද හමුදාව, යුද්ධයට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන් අය නොහිටි න්නට යාපනයට යන්නට නම් අද අපට පාස්‌පෝට්‌ පවා අවශ්‍ය ය. මේ නිසා මුලතිව් කොටින් හෝ කිලිනොච්චියේ මළ කොටින් සමරන වාට වඩා විල්පත්තුවේ හෝ යාලදී මියගිය පා සතරේ කොටින් සැමරීම වටනේ ය.
 
Related Posts with Thumbnails