Ads 468x60px

.

දිවයිනේ විනාඩි 90කට වරක් කාන්තාවක හෝ ළමයකු දූෂණයට ලක්වන බව...


දිවයිනේ විනාඩි 90කට වරක් කාන්තාවක හෝ ළමයකු දූෂණයට ලක්වන බව අලුත්ම වාර්තා වල දැක්වේ. මේ තත්ත්වය වර්ධනය වීමට පටන් ගත්තේ මීට දශකයකට පමණ පෙර සිටය. 

ඉකුත් මාසයේ සිදුවූ යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක් කොට මරා දැමීම වසරින් වසර දරුණු වූ ළමා අපයෝජන හා කාන්තා හිංසන රැල්ලේ සන්ධිස්ථානයක් බඳුය.

ඇත්ත වශයෙන් මෙය අතිශය බිහිසුණු ප්‍රවණතාවකි. මේ රැල්ලේ අලුත්ම සිද්ධිය වූයේ පුත්තලමේ පාසල් දැරියක පැහැරගෙන යෑමය. වාසනාවකට

ඇයව නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවිය. එසේ නොවන්නට දැරිය තවත් නරුමයකුගේ රුදුරු ගොදුරක් බවට පත්වනු නොඅනුමානය.

පොලිස් වාර්තාවලට අනුව පුත්තලමේ දැරිය රැගෙන ගිය නරුමයා මීට පෙර ළමා අපයෝජනයකට වැරැදිකරුවකු වී සිරදඬුවම් විඳිනු ලැබූවෙකි.


කෙසේ වුවද අත්අඩංගුවට පත් මේ නරුමයාට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පුත්තලම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 

අත්අඩංගුවට පත් තවත් ළමා අපයෝජකයකුට ඇප ලබා දීමට විරෝධය පළ කරමින් පෙරේදා අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණය නිසා සැකකරු යළි අත්අඩංගුවට ගනු ලැබීණි.

2014 වසරේ වාර්තා වූ ස්ත්‍රී හිංසන, දූෂණ හා ළමා හිංසන, අපයෝජන අතරින් බිහිසුණුම සිදුවීම වූයේ බිරියගෙන් පළිගැනීම සඳහා පියකු සිය දියණිය ගලක ගසා මරා දැමීමය. 


වයස අවුරුදු 103ක කාන්තාවක, 13 හැවිරිදි ළමයකු විසින් පොල්ලකින් ගසා මරා දැමනු ලැබීම තවත් සිදුවීමකි. මේ පහරදීමට හේතුව ඔහු ඉල්ලූ රුපියල් 800ක මුදල ලබා නොදීමය. 

සිය පෙර පාසල් ගුරුවරිය මරා දැමූ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවකු ගැනද පසුගිය වසරේ වාර්තා විය. මේ වසරේ මුල් මාස හය තුළ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බව, වාර්තාවී ඇති සිද්ධීන් වලින් පැහැදිලිය.

රටේ නායකකාරකාදීන් ඇතුළු වගකිව යුතු වැඩිහිටියන් මේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු නොකළහොත් ළමා හා කාන්තා පරපුරේ 'ඉරණම' අතිශය කනගාටුදායක වන බව නොකිවමනාය.

යාපනයේ පාසල් සිසුවියගේ සිද්ධියේදී ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේ විශේෂ අධිකරණයක් පිහිටුවා හෝ අපරාධකරුවන්ට දඬුවම් දෙන බවය. ඒ සිසුවිය වෙනුවෙන් පමණක් නොව හිංසනයට, දූෂණයට හා අපයෝජනයට ලක්වූ සියලු ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට කාලය පැමිණ ඇත.

ළමා හා කාන්තා පරපුර විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටියදී, පොදුවේ රට මෙබඳු ව්‍යසනයකට බඳුන්වී තිබියදී, වගකිවයුතු ලෙස හැසිරිය යුතු ඇතැම් වැඩිහිටි දේශපාලනඥයෝ බොරදියේ මාළු බෑමට උත්සහා දරති.


යාපනයේ පාසල් දැරියගේ මරණයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කළ දේශපාලනඥයන් ප්‍රකාශ කළේ 2009න් පසු යාපනයේ කිසිදු 'දරුවකු' මෙලෙස සමූහ දූෂණයකට ලක් නොවූ බවය. 

2010දී මඩකළපුවේදීද 2014දී යාපනයේදීද දැරියන් සමූහ දූෂණයට ලක්වූ සිද්ධි වාර්තා විය. යුද්ධයෙන් පසු උතුරේ ළමා හා කාන්තා දූෂණ හා අපයෝජන සිද්ධි ඉහළ ගොස් තිබේ. ඒ තත්ත්වය යුද්ධයට පෙර හෝ යුද සමයේ හෝ නොතිබූ තත්ත්වයක් බව පවසති. යුද්ධයෙන් පසු දකුණේ තත්ත්වයද උතුරට වෙනස් නැත.

ප්‍රචණ්ඩත්වය උතුරේ හා දකුණේ ජනමනසට කිදා බැස ඇත. දකුණේ සන්නද්ධ කැරැලි දෙකකට හා උතුරේ දරුණු යුද්ධයකට පසු එවැනි තත්ත්වයක් ඇති නොවුණා නම් පුදුමයකි. 


එහෙත් මේ අවාසනාවන්ත වාතාවරණය වෙනස් කිරීමට කටයුතු කරනවා වෙනුවට එක් එක් 'ආණ්ඩුවලට' වැරැදි පැටවීමට යෑම අපරාධයකි. එකිනෙකාට ඇඟිලි දිගුකර පලක් නැත. වගකිවයුත්තන් කළ යුත්තේ එකතුවී මීට පිළියම් සෙවීමය.

ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුය. පොලිසිය 'අනලස්ව' ක්‍රියාත්මක වීම අවශ්‍යය. වෙනස් විය යුතු අනෙක් ආයතනය අධිකරණයයි. 


ස්ත්‍රී, ළමා දූෂණ හා ළමා අපයෝජනවල වරදකරුවන්ට අත්හිටුවූ සිර දඬුවම් දීමේ ප්‍රවණතාවක් ඉකුත් අවුරුදු හත අට තුළ වර්ධනය වී ඇත. සමූහ දූෂණවලට 'දරුවන්ව' ලක් කළ පුද්ගලයන්ට පවා මෙලෙස අත්හිටවූ සිරදඬුවම් ලබාදී ඇති අවස්ථා තිබේ.

මේ තත්ත්වය වහා වෙනස් කිරීමට නම්, ළමා හා කාන්තා හිංසන අපයෝජන හා දූෂණ නඩු ඇසීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතුය. ඒ සම්බන්ධව පවතින අධිකරණ ක්‍රියාවලිය කිසිසේත් ප්‍රමාණවත් නැත.


එය විධිමත් කරන බවට කලෙක සිට පොරොන්දු වුවද ඒවා ඉටු කිරීමට වගකිවයුත්තන් උනන්දු නොවිණි. යාපනයේ විද්‍යා දැරියගේ ආන්දෝලනාත්මක මරණය මුල්කරගෙන විශේෂ අධිකරණයක් පිහිටුවීමට කාලය එළැඹ ඇත.
 
Related Posts with Thumbnails