Ads 468x60px

.

ලැගුම්හලකට ගොස්‌ කළ හැකි බොහෝ දේ තිබියදී ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාපතිවරයා බූරු ගහලා.


ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලැගුම්හලක බූරුවා ගසද්දී අත්අඩංගුවට ගත් බව ඊයේ (18) පුවත් වෙබ් අඩවි ගණනාවක පළවී තිබිණි. රැය පහන්වනතුරු බූරුවා ගසමින් සිටින විට පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව එම වැටලීම සිදුකර තිබිණි. 

මේ බූරුවා ගැසූ ජනතා නියෝජිතයන් ගැන අපට කේන්තියටත් වඩා ඇතිවන්නේ දුකකි. ලැගුම්හලකට ගොස්‌ කළ හැකි බොහෝ දේ තිබියදී මේ මෝඩ මනුස්‌සයා කර තිබෙන්නේ බූරුවා ගැසීමය. 

අඩුම වශයෙන් බූරුවා ගැසීමේ "ක්‍රීඩාව" අතිශය ජනප්‍රිය මළ ගෙදරක්‌ හෝ ඒ ප්‍රදේශයේ මේ හාදයාට හොයාගන්නට තිබුණේ නැද්ද? එක්‌කෝ මේ ප්‍රාදේශීය සභාවේ මහත්මයා දේශපාලනයට ආධුනිකය. එසේත්
නැත්නම් උන්නත් දාහයි මළත් දාහයි කියා වැඩ කරන පුද්ගලයෙකි. 

ඒ දෙකම නොවේනම්, බයගුල්ලෙකි. ලැගුම් හල්වල, සංචාරක හෝටල් වල ජෝගි නැටූ, චණ්‌ඩිකම් පෙන්නූ ප්‍රාදේශීය සභාපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඕනෑතරම් සිටියදී ඔවුනගෙන් උපදෙස්‌ ගැනීමට මේ සභාපතිවරයාට අමතක වූයේ ඇයි?

අකුරැස්‌ස, තංගල්ල වැනි ප්‍රදේශ තිස්‌සමහාරාමයට එතරම්ම දුර ප්‍රදේශද නොවේ. ලැගුම්හල්වල කළ යුතු දේත්, කළ හැකි දේත් ඊට පසු වෙන දේත් පිළිබඳව නියම උපදෙස්‌ ඔහුට ටක්‌කෙටම ලබාගත හැකිව තිබියදී දෙකයි පනහේ වැඩ කරන්නට යැම ගැන ප්‍රාදේශීය සභාපතිතුමා ඒ පුටුවට පත්කර යෑවූ ජනතාව දොස්‌ කියන බව ඉර හඳ මෙන් විශ්වාසය.

ජනතාවගේ ඒ කේන්තිය සාධාරණය. පොලිසිය කුදලාගෙන යනතුරුත් මේ හාදයා මොන කෙංගෙඩියක්‌ කළාද? සහෝදර ජනතා නියෝජිතවරු මෙවැනි අවස්‌ථාවක හැසිරෙන ආකාරය ගැන අබමල් රේණුවක හෝ දැනුමක්‌ද එතුමාට තිබී නැත. 


අඩුම වශයෙන් පත්තර බලන්නේද නැත. සහෝදර දේශපාලනඥයන්ගේ පුවත්පත් වාර්තා කියෙව්වත් ඔහුට හැදෙන්නට තිබිණි. පොලිසිය ඉදිරියේ "සිංහයින්" සේ හැසිරෙන ඒ කුක්‌කන්ගෙන් හෝ හරි පාඩමක්‌ ඉගෙන නොගැනීමම අඩුවකි.

බූරුවා ගැසීම "සුළු" කාරණයක්‌ හැටියට එතුමා සිතන බවක්‌ පෙනේ. එය එතරම් සුළුවෙන් ගැනීම යුතු නොවේ. එතුමාගේ සීනියර් කට්‌ටිය පටන් ගත්තේද බූරුවා ගසනවාටත් වඩා සුළුවෙනි. දැන් ඒ අය පොලිසිය සමග මිත්‍ර සමාගම් පවත්වන්නේ නයිට්‌ ක්‌ලබ් වල සිට බවද ඇත්තය. 


එහෙත් බූරුවා ගැසීම ප්‍රාදේශීය මට්‌ටමෙන් සුළුකොට නොතැකිය යුතු බව අපි එතුමාට මතක්‌ කරදෙමු. තමන් පත් කළ ජනතාවගේ බලාපොරොත්තු අපේක්‍ෂා ඉටුකරන්නට යන ජනතා නියෝජිතයෝ "ආධාරකරුවන්" සමඟ බූරුවා ගැසීම සුළු පටු කාරණයක්‌ද?

එක්‌ අතකින් එතුමා කල්පනා කරන්නට ඇත්තේ සහෝදර දේශපාලනඥයන් කරන "ලොකු වැඩ" කරන්න යනවාට වඩා සුළු දෙයක්‌ කර පාඩුවේ සිටීම සුදුසු බවය.

කොමිස්‌ කුට්‌ටියක්‌ ගත හැකි මට්‌ටමේ ව්‍යාපෘති, කීයක්‌ හෝ සොයාගත හැකි රැකියා ව්‍යාපෘති, ලයිසමක්‌ සොයාගෙන බාර් එකක්‌ දැමීම, වැනි කාරණාවලට වඩා බූරුවා පාරක්‌ ගසා කීයක්‌ හරි හොයාගැනීම "නම්බුයි" යනුවෙන් එතුමා සිතනවා විය හැකිය. එසේ සිතීමේද වරදක්‌ නැත.

යහපාලනය යටතේ මහජන නියෝජිතයන්ට මෙවැනි "සුළු සුළු" කාරණා සම්බන්ධයෙන් ගැටලුවක්‌ ඇති නොවේ යෑයි ද එතුමා කල්පනා කරනවා විය යුතුය. එතුමා එසේ සිතීමේ සාධාරණ හේතුවක්‌ තිබේ. 


එනම් දින සියයේ වැඩ සටහන යටතේ, මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම සංග්‍රහයක්‌ හඳුන්වා දෙන බවට පොරොන්දුවක්‌ද ඇතුළත්ව තිබිණි. ජනතා නියෝජිතයන් පත් කරන ජනතාවම ඒ වැඩපිළිවෙළටද අනුමැතිය දුන්හ.

(ආචාරධර්ම සංග්‍රහය නොව ආචාරධර්ම යන වචනය පවා නොදන්නා දේශපාලනඥයන් සිටීම වෙනමම කාරණයකි) එහෙත් මෙවැනි සුළු සුළු කාරණාවලට මොන ආචාරධර්මද යනුවෙන් එතුමන්ලා සිතනවා විය යුතුය.

තවදුරටත් ජනතා නියෝජිතයින් අපහසුතාවට පත්කිරීමේ මේ නින්දනීය වැඩපිළිවෙළ නවතා දැමිය යුතුය. ආචාරධර්ම පද්ධතිය සැකසිය යුත්තේ "සුළු" කාරණා වලටත් වැටලීම් කරන පොලිසියටත්, ජනතා නියෝජිතයන් පත්කරන ජනතාවටත්ය.
 
Related Posts with Thumbnails