Ads 468x60px

.

එදා කළ නොහැකි වූ දේ අද කරන්නට සියයට සියයක්‌ම හැකියාව තිබෙන බව


පසුගිය දිනෙක මල්වතු හා අස්‌ගිරි මහ නාහිමිවරු දෙනම අගනා ප්‍රකාශයක්‌ නිකුත් කළහ. "කුඩුකාරයන්ට, ස්‌ත්‍රී දූෂකයන්ට, වංචනිකයන්ට නාම යෝජනා එපා" යන්න එම ප්‍රකාශයයි. අති ගෞරවනීය අපේ මහනායක හිමි දෙනම මේ බව රටට කියන්නේ තවදුරටත් බලා සිටීම නුවණට හුරු නැති බව වටහාගත් නිසා විය හැකිය.

ඉදිරි මහ මැතිවරණ, පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් මේ වන විටත් වැඩ අල්ලමින් සිටින බොහෝ උදවිය ගැන රටේ ජනතාවට ඉඟි ලැබී තිබේ. පාර්ලිමේන්තුවට හෝ පළාත් පාලන ආයතනවලට රිංගා සියලු

තක්‌කඩිකම් ජාතික ඇඳුමෙන් වසා ගන්නා සමාජ පාදඩයන්ට වැට බැඳිය යුතු බව රටේ ගොඩනැඟෙමින් තිබෙන ජනමතයයි. 

කුඩු, ගංජා, කසිප්පු විකුණමින්, පාතාල නායකයන්ට රැකවරණ දෙමින් කුලියට මිනි මරමින් තමන් ඉපැයූ කළු සල්ලි මිලියන ගණනින් වියදම් කරමින් මනාප පොරයට පිවිසෙන්නේ මේ මැර කණ්‌ඩායම්ය. 

හිතු හිතූ විදියට සල්ලි විසිකරමින් මනාප හිඟාකන මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට ජනතාව ආණ්‌ඩුවට බලකරන්නේ එහෙයිනි. එවිට තැන ලැබෙන්නේ කළු සල්ලි ඇති කුඩු මුදලාලිට හෝ කසිප්පු මුදලාලිට නොව රටේ පිළිගත් මහත්වරුන්ටය.

දැනට වසර කිහිපයකට උඩදී සරත් අමුණුගම අමාත්‍යවරයා පවා මහනුවර ප්‍රදේශයේදී මේ ගැන කතාකර තිබිණි. ඔහු පවසා තිබුණේ පාලම්, බෝක්‌කු උඩ රස්‌තියාදු ගසමින් සිට එක්‌වරම දේශපාලනයට පැමිණෙන හැබිචෝල්කාරයන් නිසා සිදුවන විනාශය ගැනය. 


මහ නාහිමිවරුන්ගේ උත්තම ප්‍රකාශයට වහා ප්‍රතිචාර දැක්‌විය හැක්‌කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටම බව අපි විශ්වාස කරමු. ඊට හේතුව වන්නේ කලකට ඉහතදී ජනාධිපතිවරයා, ඇමැතිවරයකු මෙන්ම ශ්‍රීලනිප මහලේකම්වරයාද වශයෙන් කටයුතු කරද්දී ද මීට සමාන කතාවක්‌ කිවූ බැවිනි. ඒ පළාත් පාලන මැතිවරණයක්‌ ආසන්න සමයකය.

එවකට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කීවේ "අපි මේ පාර හොරුන්ට, වංචාකාරයන්ට, දූෂකයන්ට නාම යෝජනා ලබා දෙන්නේ නැත." යනුවෙනි. එහෙත් අවාසනාවකට මෙන් ඒ පළාත් සභා මැතිවරණයේදී ද රට පුරා විසිරී සිටි අපේක්‍ෂකයන් අතර තක්‌කඩියන් බහුල විය. විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව මේ ක්‍රියාවලිය සිදුවීමය.

මැතිවරණයට ඉදිරිපත් කරන්නට තෝරා ගන්නා අපේක්‍ෂකයා තක්‌කඩියකු, සමාජ විරෝධී හා නීති විරෝධී ක්‍රියාවල නිරත වන්නකු වීම කිසිදු දේශපාලන පක්‍ෂයකට අදාළ නොවේ. අවශ්‍ය වන්නේ මුදල් වියදම් කිරීමේ හැකියාව පමණි. 


තමන් මෙන්ම පක්‍ෂය ද දිනවීමේ හැකියාව යම් අපේක්‍ෂකයකුට ඇත්නම් කවර තක්‌කඩියකු වුවද අවංක, කාර්යශූර, දැහැමි, නීතිගරුක, යුක්‌තිගරුක පුද්ගලයකු ලෙස බෞතිස්‌ම කිරීමට කිසිදු පක්‍ෂ නායකයකු පසුබට වන්නේ නැත. ඒ තමන්ද ගොඩ යා යුතු බැවිනි. දැහැමි සමාජයකත්, ආශ්චර්යවත් රටකත් සිදුවූයේ එයයි. 

පසුගිය කාලයේ රටම අපකීර්තියට පත්වන අන්දමේ සිදුවීම වූයේ තංගල්ල නිවාඩු නිකේතනයකදී කුරාම් ෂෙයික්‌ නම් එංගලන්ත ජාතිකයා ම්ලේච්ඡ සහ කුරිරු ලෙස ඝාතනය වීමය. ඊට සම්බන්ධ වූයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. අකුරැස්‌සේ ප්‍රාදේශීය දේශපාලනඥයකු කුඩා දැරිවියක අපයෝජනය කිරීමේ වරදට හසුවිය. 

එමෙන්ම කාන්තාවන් සියදෙනකු සමග රමණයේ යෙදීමේ ප්‍රීතියට සාඡ්ජ සංවිධානය කළේද ඔහුමය. මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු එල්ලුම්ගසට නියම වූයේ මිනිස්‌ ඝාතනයකටය. 

(විශේෂම සිද්ධිය වන්නේ ඔහු නාම යෝජනා ලැබ වැඩි ඡන්දයෙන් තෝරා පත්වන්නේ මිනීමැරුමට සැකකරුවකුව සිටියදීම වීමය.) පොදුවේ බොහෝ දේශපාලනඥ්යෝ මහ මඟ මහ දවාලේ චණ්‌ඩි පාට්‌ පෙන්වීමේ නිපුණත්වයක්‌ දක්‌වන්නාහ. කුඩු, එතනෝල්, මහ පරිමාණ නීති විරෝධී ජාවාරම්වල කොටස්‌කරුවන් වූයේද දේශපාලනඥයන්ය.

මහ නාහිමිවරු අවධාරණය කරන්නේ මෙවැනි තක්‌කඩින් ගැනය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එදා කළ නොහැකි වූ දේ අද කරන්නට සියයට සියයක්‌ම හැකියාව තිබෙන බව අපි විශ්වාස කරමු. 


රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ද එහි පංගුකාරයෙක්‌ විය හැකිය. මනාප ක්‍රමය වෙනස්‌ කිරීම ඉක්‌මනින් කළ නොහැකි නම්, මේ තක්‌කඩියන් දේශපාලනයට පිවිසීම වැළැක්‌වීමට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්‌ම ගැනීම යහපාලනයේම කොටසක්‌ බවට පත්විය යුතුය.
 
Related Posts with Thumbnails