Ads 468x60px

.

ජීවිතය යදිද්දී ගඩාෆි මරා දමති - නගරය පුරා මළ සිරුරත් ඇදගෙන යති

"මාව මරන්න එපා.... මා නුඹලාට කළ වැරැද්ද කුමක්‌දැයි ලිබියානු හිටපු නායක කර්නල් ගඩාෆි කියද්දී ලිබියානු කැරලිකරුවන් විසින් ගඩාෆිගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇත. පෙරේදා (20 දා) සවස සර්ට්‌ නගරයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ගඩාෆිට අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා තිබේ.

පුරා වසර 42 ක්‌ තිස්‌සේ ලිබියාව පාලනය කළ ගඩාෆි ඝාතනය වීමට පෙර කැරලිකරුවන් වෙතින් ඉල්ලීමක්‌ කරමින් තමාට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වන්නැයි ඉල්ලා ඇත. එහෙත් ඔහුගේ හිසට වෙඩි තැබූ කැරලිකරුවෝ සිරුර ගිලන් රියකට දමා ඒ මත වාඩිවී තිබේ. මෙය කෲර ඝාතනයක්‌ යෑයි ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු සර්ට්‌ නගරය පුරා ඔහුගේ සිරුර ඇදගෙන ගොස්‌ තිබේ. මෙය ලිබියානු කැරලිකරුවන් විසින් පැමිණිලිකරු, සාක්‌කිකරු, විනිසුරු, ජූරිය සහ අළුගෝසුවා ලෙස ක්‍රියා කළ අවස්‌ථාවක්‌ යෑයි රුසියානු මාධ්‍ය විසින් ප්‍රකාශ කර ඇත.

1969 දී ඉද්රිස්‌ රජු ලේ හැලීමකින් තොරව බලයෙන් පහ කළ කර්නල් ගඩාෆි ඝාතනය වූයේ ද ඔහු උපන් සර්ට්‌ නගරයේය. ගඩාෆිගේ ඝාතනය ගැන ප්‍රකාශයක්‌ කළ වැඩබලන ලිබියානු නායක ජිබ්රාල්, මේ අවස්‌ථාව පැමිණෙනතුරු අපි බලා සිටියෙමු යෑයි සඳහන් කර ඇත. ඇෆ්ගනිස්‌ථානයේ කාබුල් නුවර සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියගේ බ්ලැක්‌වෙරි ජංගම දුරකථනය වෙත ගඩාෆි අසුවීමේ පුවත වාර්තා වූ විගස "නියම" යෑයි ප්‍රකාශ කර තිබේ.

පෙරේදා (20 දා) උදේ සන්නද්ධ වාහන 100 කින් පමණ ගඩාෆි සහ ඔහුගේ රැකවළුන් පැනයන බව නේටෝ බළකායේ ට්‍රොන් යානාවක්‌ විසින් නිරීක්‍ෂණය කර ඇත. ඒ සමඟම නේටෝ බළකායට අයත් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රහාරක යානා විසින් එම සන්නද්ධ වාහන රැසකට ප්‍රහාර එල්ල කර විනාශ කර දමා තිබේ. මෙහිදී සුළු තුවාල ලත් ගඩාෆි සහ රැකවළුන් පස්‌ දෙනෙක්‌ අසල පිහිටි උමගකට පැනගොස්‌ ඇත. ලිබියානු කැරලිකාරයන් විසින් උමගට ප්‍රහාර එල්ල කර රැකවළුන් ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

හමුදා නිල ඇඳුමින් ගඩාෆි තමා සතු රන් පිස්‌තෝලය කැරලිකරුවන්ට දී යටත් වී ඇත. මෙහිදී කැරලිකරුවන් ඇමතූ ලිබියානු හිටපු නායකයා තමා වැරැද්දක්‌ කර නැතැයි ද නඩු විභාගයකට මුහුණදීමට සූදානම් යෑයි ද ප්‍රකාශ කර තිබේ. එහෙත් මහා මාර්ගය දිගේ ගඩාෆිව ඇදගෙන ගිය කැරලිකරුවෝ ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇත. දඩාවතේ යන සුනඛයකුට මෙන් ගඩාෆිට වෙඩි තැබීමට කැරලිකරුවන් ක්‍රියා කළා යෑයි රුසියානු මාධ්‍ය කියා සිටියේය. මේ අතර ලිබියානු නව රජය මෙම ඝාතන සිද්ධිය වසන් කරමින් ගඩාෆිගේ කණ්‌ඩායම සහ ලිබියානු කැරලිකරුවන් අතර වූ සටනින් ගඩාෆි මියගිය බව පවසා තිබේ.

මේ අතර ගඩාෆිගේ පුත්‍රයකු වන මුට්‌සාට්‌ගේ සිරුර ද සර්ට්‌ නගරයේ තිබී හමුවී ඇත. ගඩාෆිගේ තවත් පුත්‍රයකු වූ සයිප්ව ද මරා දමා ඇතැයි වාර්තා වී තිබේ. හිටපු ලිබියානු නායකයාගේ මරණය ගැන ඇසූ ඇමරිකානු ජනාධිපති ඔබාමා මෙය ලිබියාවේ ඉතිහාසගත දිනයක්‌ බවත් අනිකුත් පාලකයන්ට ද මෙය පාඩමක්‌ බව පවසා ඇත. මේ අතර බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේ ගඩාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසු කැරලිකරුවන් ඔහුව වීදියකට ගෙනවිත් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමූ බවයි.
 
Related Posts with Thumbnails