Ads 468x60px

.

සිර දඬුවමක්‌ අහෝසි කර මරණ දඬුවම නියම කළ පළමු වතාව...

අභියාචනාධිකරණයේ තීන්දුව දැඩි වේ...
රෝයල් පාක්‌ නඩුවේ චූදිතට මරණ දඬුවම...

රෝයල් පාක්‌ මිනීමැරුම් නඩුවේ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවමක්‌ සහ රුපියල් 50,000 ක දඩයක්‌ නියම කරමින් කොළඹ මහාධිකරණය 2006 ජුලි 20 දා දුන් නඩු තීන්දුව ඊයේ ඉවත් කළ අභියාචනාධිකරණය චූදිතයා සාවද්‍ය මිනිස්‌ ඝාතන චෝදනාවට වරදකරු වන බවට තීරණය කරමින් ඔහු එල්ලා මරා දැමීමට නියෝග කළේය.


මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව උසාවියේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කීප දෙනකුම පැවසුවේ තමන්ට මතක ඇති ලෙස මෙවැනි නඩු තීන්දුවක්‌ මීට පෙර අභියාචනාධිකරණය ප්‍රකාශයට පත්කර නැති බවයි.


මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුට මහාධිකරණය නියම කළ සිර දඬුවමක්‌ අහෝසි කර ඒ වෙනුවට මරණ දඬුවමක්‌ නියම කළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වතාව මෙය විය හැකි බවද නීතිඥවරු කීහ.

විත්තිකරු අනියම් මිනී මැරීමේ චෝදනාවට වැරදිකරු කොට එකී සිර දඬුවම හා දඩය නියම කරමින් දී තිබූ නඩු තීන්දුවට එරෙහිව නීතිපති වෙනම අභියාචනා පෙත්සමක්‌ ගොනුකර තිබිණි. අභියාචනාධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කළේ එම ඇපැල් පෙත්සමෙන් කර තිබූ ඉල්ලීමකට අනුවයි.


මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව විත්තිකරුද වෙනම ඇපෑලක්‌ ගොනු කරමින් තමා නඩුවෙන් මුළුමනින්ම නිදහස්‌ කරන්නැයි කර තිබූ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‌ෂේප කරන ලදී.

විත්තිකරු හා නීතිපති වෙන වෙනම ගොනු කර තිබූ ඇපැල් පෙත්සම් දෙකම ඩබ්ලිව්. රංජිත් සිල්වා හා නලින් පෙරේරා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එකවිට විභාගයට ගන්නා ලදි.විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව විනිසුරු නලින් පෙරේරා මහතාගේ එකඟත්වය ඇතිව රංජිත් සිල්වා විනිසුරුවරයා විසින් ලියා තිබිණි.


මෙහි විත්තිකරු සමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නමැති තරුණයෙකි. ඉවොන් ජොන්සන් මියගිය තැනැත්තියයි.





2005 ජුලි 01 දා රාජගිරිය රෝයල් පාක්‌ නිවාස සංකීර්ණයේදී මේ මිනීමැරුම සිදුවී ඇත.අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙය ඉතාමත් සාහසික ලෙස සිදුකළ මිනීමැරුමක්‌ බවයි. මිනී මැරීමේ ෙච්තනාවකින් යුතුව එම තරුණියගේ මරණය සිදුකර ඇති බව සනාථ කරන සාක්‍ෂි මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී ඉදිරිපත් වී ඇත. එම නිසා විත්තිකරු අනියම් මිනීමැරුමකට නොව සාවද්‍ය මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කොට මරණ දඬුවම නියම කළ යුතුව තිබුණ බවද තීන්දුවේ සඳහන් කර ඇත.





ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක විත්තිකරු ගෙල වැල දමා මරා දමන තුරු සිර භාරයේ රඳවා තබා ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය.මරණ දඬුවම නියම කිරීමට පෙර කිසිවක්‌ කීමට තිබේදැයි විනිසුරු මඬුල්ල විත්තිකරුගෙන් විමසූ නමුත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොදක්‌වා නිහඬව සිටියේය.

 
Related Posts with Thumbnails