Ads 468x60px

.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ෆලීල් මහතා මියගියේ ඇයි...

මෙහෙ ඇති කුණු මඟුලක් නැහැ යකෝ...

මෝල්ගස එක්වරක් නොව කීපවරක් ෆලීල් මහතාගේ හිස මතට...

ඉකුත් 9 වනදා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ෆලීල් මහතා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, මැලේරියා මර්දන ව්‍යාපෘතියේ පිරිසක් ද රාජකාරියට සාලියපුර ගම් පෙදෙසට යමින් සිටියහ. 

දුම් ගහන කටයුත්තේ යෙදෙන කුලී කරුවන් කිහිප දෙනකු ද සිටි අතර මෙම පිරිසේ ප්‍රධානියා වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ෆලීල් මහතා ය. ඔහු යටතේ පසු වූ මෙම පිරිස උදෑසනින් කුකුළා ද අතේ ඇතිව එක්වූයේ සාලියපුර ප්‍රදේශයේ ප්‍රජා ශාලාවට ය. 


එහි සර්වෝදය මගින් ගම්වාසීනට මදුරු දැල් දෙසීයක් ප්‍රදානය කරනු ලැබීම ඒ අවස්ථාවේ තිබිණි. එහි දී ෆලීල් මහතා ද මදුරු දැල් ප්‍රදානය කළේ ය. එය අවසන් වී 95 ප්‍රදේශය දෙසට ගිය නිලධාරි පිරිසට පැරකුම්පුර, සාලියපුර බටහිර සාලියපුර ප්‍රදේශවල වෙසෙන ජනතාව දැනුම්වත් කරවීමට උපදෙස් ලැබී තිබිණි. 

ඊට සමගාමීව එහි ජීවත් වන්නවුන්ගේ පරිසරය පිළිබඳ නිරීක්ෂණය ද සිදු කැරිණි. ඉහින් කනින් දහදිය වැගිරේ. තිබහට වතුර වීදුරුවක් ඉල්ලා පානය කරයි. තව තවත් ගෙවතු සෝදිසියෙන් ඉදිරියට ම යයි. සෙසු නිලධාරීන් ගේ කතා බහට නිහඬ බව පුරුදු ෆලීල් මහතා ඉඳහිට යමක් කියා බිම බලා ගෙනම පියවර නඟයි. මේ වනවිට නිවාස හතරක පිහිටි පරිසරය පරීක්ෂාවට ලක් කොට නිවැසියනට උපදෙස් ද දී තිබිණි.


ඇතැම් නිවැසියන් ‘මහන්සිත් ඇතිනේ... තේ ඩිංගක් බීලා යන්නැයි ළෙන්ගතුව කී විටදී ‘තව යන්ඩ තියෙනවා. ස්තුතියි’ කියූ ෆලීල් මහතා එය කාරුණිකව ඉවතලයි.


මෙහි හතරවන නිවෙස සුදු මාමාගේ නිවෙසය. එතැන ද පිරික්සූ නිලධාරීහු ‘රවුමක් යන්ඩ ඕන නැහැ - මේ වැටෙන් පැනල එහා වත්තෙ ගෙදරට යමු’ යි ඔහුට යෝජනා කළහ. මේ පිරිස වැටෙන් පැන ගොස් නතර වූයේ ඇසෝන් ආච්චිගේ මිනිපිරිය ගේ ගෙමිදුලේ ය. 

එහි වෙසෙන්නවුනට පමණක් නොව ගමටම වින කැරෙන කැළ කසළ ය. ටයර් කීපයකි. පරිසරයම අපවිත්‍ර ය. තම ගෙවත්ත ගැන ඇස කොණින්වත් බලා නැතැයි බැලූ බැල්මට ම හැඟේ. එහෙත් අපේ ෆලීල් මහත්මයා ඒ දෙස බලා සිටිනු මිස කිසිවක් නොකියයි.


“ඇයි මේ විදිහට මෙව්වා දමා තියෙන්නෙ? මීට කලිනුත් ඇවිත් කියලා ගියානේද? ඔයාලාට කොච්චර කීවත් සැලකිල්ලක් නැහැ වගේනෙ. ඔයාලා හොඳටම දන්නවානෙ ඩෙංගු වසංගතය මාරකයි කියලා” ඒ ටික කීවේ පිරිසේ එක් නිලධාරි මහතෙකි. අපේ ෆලීල් මහතා ද ඒ අසමින් මඳක් හිස සලා එය අනුමත කළේ ය.


මේ වනවිට නිලධාරි පිරිස පසු වූ නිවසට ඉදිරිපිට තරමක් දුරකින් පිහිටියේ තවත් නිවෙසකි. එහි වියපත් කාන්තාවක හා පුත්‍රයා අතර උණුසුම් කතා බහකි. තිත්ත වචන ද පුත්‍රයාගේ අඩුවක් නැත. පුත්‍රයා වෙඩි කෑ ඌරකු මෙන් හැසිරෙනු පෙනෙයි.එතරම් වියරු ය. මෙහෙ ඇති කුණු මඟුලක් නැහැ යකෝ” යැයි කෑ ගැසූ හෙතෙම ගෙට ගිනිගත් කලෙක මෙන් නිවසින් එළියට පැන්නේ ය.


“අනේ... කොලුවෝ... උඹ ඔය මගෙ ගෙදර මෝල් ගහ උස්සන් යන්නෙ මොකටද? කීවාම අහල මෝල් ගහ ගෙයින් ගෙනැත් තියාපිය” අසෝන් ආච්චි, ඔහුගේ මව කළ ඒ විධානය හෝ නොතැකූ පුත්‍රයා මෝල් ගහ දෑතින් ම ඔසවා අමෝරා දිව එන්නටම වූයේ ය. ඈ දෙඅත් ඉහළ නඟා කෑගැසුවා ය. හිටිපිම්මේ යක්ෂාවේශයෙන් මෙන් තමන් දෙසට දිව එන පුද්ගලයා දිව එන්නේ හොඳකට නොවේ යැයි සිතූ නිලධාරි පිරිස ද ආපසු හැරී දිව ගියහ. 

එක හැල්මේ දිව ගියහ. සතර අතට විහිදී දිව ගියහ. පාරට සේන්දු වූහ. යළිත් දිවූහ. එක් නිලධාරියෙක් කඩයක් පිටුපසට වී සැඟ වුණේ ය. සෙසු අය ද පයට දිරි දී දිව ගිය ද තරබාරු ෆලීල් මහතාට තවත් එසේ දිවීම උගහට ය. ඔහුගේ එක් සපත්තුවක් ගැලවී ගියේ ය. හතිලා දිවීම මඳකට නතර කළ හේ සපත්තුව අතට ගැනීමට බිමට නැඹුරුවෙද්දී සිරුර පාලනය නොවී එතැනම බිම ඇද වැටුණේ ය. 

පාරේ මුනින්තලාව වැටුණු අපේ ෆලීල් මහතා වෙර ගෙන උඩුබැලි අතට හැරුණා පමණි. මාරාවේශයෙන් දිව ආ පුද්ගලයා ගේ අතැති මෝල්ගස එක්වරක් නොව කීපවරක් ෆලීල් මහතාගේ හිස, මුහුණ මත වැරෙන් එල්ල විණි. එය පොල්ලෙලි තලන්නාක් බඳු ය. ඔහුගේ පණ නළ වා තළයේ පා වී ගියේ නිමේෂයකිනි. 

අසල කඩයක් පිටුපසට මෝල් ගස සැණෙකින් විසිකර දැමූ සැකකරු ‘මං දැන් එකෙක් බාවලා ආවේ’ යැයි කියමින් කඩේ අයට පාරම් බෑවේ ය. ඒ ඇසූ පිරිස වහා සිදුවූයේ කුමක් දැයි බැලීමට පිම්මේ දිව යද්දී පෙර පාසලක් අසලදී ද සැකකරු තවත් උඩඟු කතා කීපයක් ම කළේ ය.


ෆලීල් මහතා තරබාරු ය. ත්‍රිවිලරය නොසෑහේ. මදුරු දැල් රැගෙන ආ ට්‍රක් රියට නංවාගත් ගම්වාසීන් පණනල තවමත් ඇතැයි සිතා කන්තලේ රෝහලට ගෙන ආව ද ඒ වනවිට රත්පැහැ ලෙයින් වැසී ගිය දෙනෙත ද සදහටම පියැවී තිබුණේ ය. සිය දරු පවුලට අසීමිතව ආදරය කළ ඒ සොඳුරු තාත්තා කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන වැඩිමල් පුතු උදේ උකුලේ තබා බත් කටවල් කීපයක් සියතින් කවා රාජකාරියට පැමිණියෙකි.


එමතුද නොවේ. ඔහුගේ සොඳුරු විවාහ ජීවිතයේ 21 වන සංවත්සරය යෙදී තිබුණේද එදා ය. උණුසුම් හාදුවකින් සිය බිරිඳ සනසා නිවසින් පිටවූයේ ඇයට ලස්සන සාරියක් ද රැගෙන ආපසු එන පොරොන්දුවෙනි. එහෙත් සාහසික ඛේදවාචකයෙන් ඔහුගේ දරු පවුල ගැන පමණක් නොව ඒ සිහිනය ද බොඳ වී ගියේ අනපේක්ෂිතව ය.



ඉතිරි දැරියන් තිදෙනා කින්නියා පාසලේ ඉගෙනුම ලබති. බාලම දියණියට වයසින් අවුරුදු දෙකහමාරකි.


වයසින් 34 වියැති එක් දියණියකගේ පියෙකු වූ ඝාතකයා සිහි කරමින් අදත් ගම්වාසීහු ශාප නඟති. හේ හිටපු ග්‍රාමාරක්ෂකයකු බව ද කියැවේ. මීට ඉහත දී සිය බිරිය ද මෝල් ගහෙන් පහර කෑමෙන් පසු බිරිය ඔහු ද දියණිය ද අත්හැර දමා යන්නට ම ගියා ය. 

තනිව මවගේ මහගෙදර ද ජීවත් වූ හේ ඊයේ පෙරේදා දිනෙක තම පියාට අතින් පයින් පහරදී ඉළ ඇට බින්ද දුක්බර කතාවක් ද අසන්නට ලැබිණි. තඹලගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. සමරසිංහ මහතා ප්‍රධාන නිලධාරීන් පිරිසකගේ උත්සාහයෙන් නොපමාව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විණි.


මේ ඛේදවාචකයත් සමඟ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල ද අඩාල වී... නිලධාරීහු එක් දින වැඩ වර්ජනයක ද නිරත වූහ.


‘අපට නැතිවුණු ෆලීල් මහත්තයා පස් දරු පියෙක්. මේ තත්ත්වය සුළුපටු නැහැ... තවදුරටත් රාජකාරි කටයුතුවල යෙදෙන්නට නම් අපට කිසියම් ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් තිබිය යුතුමයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.

එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු ල ජායාරුප එකතුවක් පහතින් බලන්න



















 
Related Posts with Thumbnails