Ads 468x60px

.

කලින් ප්‍රේම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැ - ෂෙරිල්

මම ගොඩක් හෙමින් වැඩ කරන කෙනෙක්...
මම කිසිම දේකට හදිසි වෙන්නේ නෑ....

මම බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි...
එන විදියට අනාගතයට මුහුණ දෙනවා...

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිදුවේවි.

ස්වාධීන රූපවාහිනියෙන් සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට විකාශය වන “අමා” ටෙලිනාට්‍යය ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් ටෙලිනාට්‍යයකි. එහි අමාගේ චරිතය නිරූපණය කරන්නේ ෂෙරිල් රොවෙන් ඩෙකර්ය. 

ෂෙරිල් අමා චරිතය නිසාම ජනපි‍්‍රය රංගන ශිල්පිනියක බවට පත්ව සිටින්නීය. එසේම ෂෙරිල් දක්ෂ රංගන ශිල්පිනියකගේ ලක්ෂණ ”අමා” චරිතය තුළින් මනාව පෙන්වා ඇත.
 
ෂෙරිල් මේ දිනවල කොහොමද ඔබේ කාලය ගෙවෙන්නේ?
දිගටම ‘අමා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් තියෙන නිසා මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. ඒ වගේම රූපලාවන්‍ය වැනි විෂයන් කීපයක් මම මේ දිනවල ඉගෙන ගන්නවා.

‘අමා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘අමා’ ටෙලිනාට්‍යය නිසා මට ලැබුණු දේවල් ගොඩයි. මම නොසිතපු විදියේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට මේ දවස්වල ලැබෙනවා. ‘අමා’ චරිතය රඟපාන්න ඉස්සර හැමදාම මම ඒ චරිතය විඳිනවා. අපේ රටේ ගොඩක් දෙනෙක් ගමට, ගමේ දේවල් වලට, ගමේ මිනිස්සුන්ට කැමැතියිනෙ. ‘අමා’ චරිතයත් ඒ වගේ. මමත් ඒ වගේ. මඟ තොටේදි හමුවන අය, මම දන්නා කියන අය, ‘අමා’ චරිතය ගැන කතා කරන විට මට විශාල සතුටක් දැනෙනවා.

”අමා” චරිතයෙන් මේ තරම් ජනපි‍්‍රය වෙයි කියල ඔබ සිතුවද?
ඇත්තටම මම මුලදි හිතුවෙ නෑ මේ චරිතය මේ තරම් ජනපි‍්‍රය වෙයි කියල. මෙහිදී මම මුලින්ම සඳහන් කරන්න ඕන අමා ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සාන්ත සොයිසා අයියව සහ පිටපත රචනා කරන මහේෂ් සත්සර අයියව. ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව නිසයි ‘අමා’ චරිතය මේ තරම් ජනපි‍්‍රය වුණේ. ඒ වගේම මට මගේ රංගන හැකියාව ගැන විශ්වාසයකුත් තියෙනවා. මේ මොනව තිබුණත් හොඳ දෙයකින් ජනපි‍්‍රය වෙන්න වාසනාවත් තියෙන්න ඕනෙ.

ඔබ මේ දවස්වල සම්බන්ධ වී සිටින වෙනත් නිර්මාණ...?
මේ දවස්වල මම දිගටම වැඩකරන්නෙ ‘අමා’ ටෙලිනාට්‍යයේ. ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිත අගෝස්තු මාසයේ වැඩ ආරම්භ වන සමන් කුමාර ලියනගේ ගේ අලුත්ම ටෙලිනාට්‍යයට මට ආරාධනා කරල තියෙනව. ඒ වගේම රොෂාන් කුරුප්පු ගේ නවතම ටෙලිනාට්‍යයේත් මම පසුගිය දිනවල රඟපෑවා. ළඟදි මට රටවල් කීපයක පැවැත්වෙන ප්‍රසංග කීපයකට සහභාගි වෙන්නත් තියෙනව. සංගීත ප්‍රසංගවල නර්තනයන් ඉදිරිපත් කරන්නයි මම යන්නෙ.

ඔබට ගීත ගයන්නත් පුළුවන්ද?
මට බැරිම දේ ගීත ගායනය.

කොහොමද ඔබ කලා ශිල්පිනියක් වුණේ?
මගේ ගම කොලොන්නාව. පාසල් ගියේ කොලොන්නාව ශාන්ත ජෝෂප් විදුහලට. මගේ විදුහලේ ගුරුවරුන්ගෙනුත් පල්ලියෙනුත් මගේ හැකියාව දියුණු කරගන්න මට විශාල වශයෙන් උදව් ලැබුණා. ඒ වගේම මගේ ගමේ අයගෙන් ලැබුණු සහයෝගය විශාලයි. පාසල් යන කාලෙ පටන්ම මම නර්තනයට දක්ෂයි. රැජිනි සෙල්වනායගම්, කුලසිරි බුදවත්ත කියන ගුරුවරු යටතේ මම නර්තනය ඉගෙන ගත්තා.

2006 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියේ සූර්ය මංගල්‍ය වැඩසටහනේ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය හිමි වුණේ මට. ඒ අතරේ ගයාන් ශ්‍රීමාල්ගේ මඟ පෙන්වීම අනුව මම “ඩාන්සින් ස්ටාර්” වැඩසටහනට රොෂාන් සමඟ නර්තනයට සහභාගි වුණා. භාතිය සන්තුෂ් දෙදෙනාත් මට ගොඩක් උදව් කළා. ඔය අතරේ තමයි බෙනට් රත්නායක මහතාගේ “ඉර හඳ යට” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ. ඉන්පසුවයි මම ‘අමා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

ඔබ වඩාත්ම කැමැති සිනමාවටද ටෙලිනාට්‍යවලටද?
‘අමා’ ටෙලිනාට්‍යය නිසා තමයි සමාජය මාව සහ මගේ රංගන හැකියාව හඳුනා ගත්තේ. ටෙලිනාට්‍ය රංගනයෙන් රඟපෑම ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවනි. හැබැයි මම වැඩියෙන් ම කැමැති සිනමාවට. මම මුලින් ම රඟපෑවෙත් චිත්‍රපටයකනෙ. මම පුළුවන් හැම වෙලාවකටම චිත්‍රපට නරඹනවා. ‘ජනේලය’, ‘ගඟ අද්දර’ වැනි චිත්‍රපටවලට මම හරිම ආසයි. ඒ චිත්‍රපටවලින් රංගනය ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

ඔබගේ පවුලේ තොරතුරු?
අම්මයි, තාත්තයි, අක්කයි මමයි තමයි පවුලේ ඉන්නෙ. අක්කා විවාහ වෙලා.

ඔබේ කලා කටයුතුවලට පවුලේ උදවියගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම විශාල සහයෝගයක් මට මගේ පවුලේ උදවියගෙන් ලැබෙනවා; විශේෂයෙන් ම අම්මගෙන්. අම්මගෙන් මට ලැබෙන සහාය හින්දමයි මගේ ඔළුව හොඳින් තියාගෙන වැඩ කරන්න මට හැකියාව ලැබෙන්නේ. මම ගොඩක් හෙමින් වැඩ කරන කෙනෙක්. මම කිසිම දේකට හදිසි වෙන්නේ නෑ. මම යන්නේ හෙමින් ගමනක්.

අනාගතයේ රඟපෑම ඔබේ වෘත්තිය වේවිද?
ලංකාව තුළ වෘත්තීය රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීම අමාරු වැඩක්. ඒ නිසා මම තවත් ක්ෂේත්‍ර කීපයකට යොමුවෙලා ඉන්නව. රූපලාවණ්‍ය ක්‍රම, හයිඩ්‍රො තෙරපි ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවත් මම ඉගෙන ගන්නව. මට හැකිතාක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නව. රංගනයේ හිටිය ඇති කියල හිතුන දවසට මම රංගනයෙන් ඉවත් වෙනවා.

ඔබට අනාගත බලාපොරොත්තු ගොඩක් ඇති...?
මම බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මම කරන දේ කැපවීමෙන් උපරිම විදියට කරනවා. එන විදියට අනාගතයට මුහුණ දෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිදුවේවි.

යෞවන ප්‍රේමය පිළිබඳව ඔබටත් අත්දැකීම් ඇති නේද?
මේ ක්ෂේත්‍රයට එන්න කලින් ප්‍රේම සම්බන්ධයක් තිබුණා. නමුත් දැන් ඒක නැහැ.
 
Related Posts with Thumbnails