Ads 468x60px

.

ජනකායක් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට කැඩෙන තුරු තරුණයකුට පහර දුන් හිටපු ප්‍රාදේශීය සභාපති

එය මොන තරම් බිහිසුණුද කියනවා නම්...

බස්නාගල කියන්නේ සභාපතිගෙන් මුදා නොගත් ප්‍රදේශයක් හැටියටයි...

හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ බෙල්ල කපන්නත් කොන්ත්‍රාත්තුවක්

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු ඔහුගේ මැරයන් තිදෙනෙක් 15 වැනිදා සවස තරුණයකු බලහත් කාරයෙන් ත්‍රීරෝද රථයකට නංවා ගෙන තිබෙනවා. 

ඉන්පසු මෙම සභාපති මැරයා ඇතුළු ඔහුගේ මැර කල්ලිය මෙම තරුණයා රැගෙන බස්නාගල නගරයට පැමිණ තිබෙනවා. අනතුරුව තරුණයා ත්‍රීවිලරයෙන් එළියට ඇද මහ ජනකායක් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට, තුනට කැඩෙන තුරු වම් අතටත්, වම් පාදයටත් පහර දී තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් මෙම තරුණයාගේ අත සහ කකුල කැඩුන අතර පසුව මෙම තරුණයා දැරණියගල රෝහලට රැගෙන ගොස් ඇත්තේ බස් රියදුරෙකු විසින් තමන්ගේ බසයේ පටවා ගෙනය. මෙම අපරාධය ගැන වැඩිදුරටත් සොයා බලන කොට දැන ගන්නට ලැබුණේ මෙම මැර සභාපතිවරයාගේ තරමයි. 


එය මොන තරම් බිහිසුණුද කියනවා නම් බස්නාගල නගරය අදත් හඳුන්වන්නේ මේ මැර සභාපතිගෙන් ‘මුදා නොගත්’ ප්‍රදේශයක් හැටියට. ‘මුදා නොගත්’ පළාත් තිබුණේ එදා උතුරේ සහ නැගෙනහිරය. නමුත් දේශපාලන මැරයන්ගේ භීෂයෙන් බියපත් වූ ‘මුදා නොගත්’ ප්‍රදේශ ලංකාවේ තවත් පළාත්වල තිබෙන බව මේ සිදුවීමෙන් පසු දැන ගන්නට ලැබුණා. 

ඒ විතරක් නෙවෙයි, මේ මැර සභාපතිවරයා සභාපති තනතුර දරන කාලයේ හොරට ලී කපා ඇද ගන්නට බලපත්‍රයක් නොදුන්න නිසා දැරණියගල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ බෙල්ල කපන්නටත් කොන්ත්‍රාත්තුවක් දී තිබෙනවා. 

ඒ කොන්ත්‍රාත්තුව අනුව සභාපතිගේ මැරයෙක්ගේ දැලි පිහි පහරකට ලක් වී යාන්තම් ජිවිතය ‍‍ බේරා ගන්නට ප්‍රාදේශීය ලේකම්වරයාට හැකි වූ බවත් දැන ගන්නට ලැබුණා. 

මේ තරම් දේශපාලන හයියක් මේ මැර සභාපතිට එදා ලැබුණේ ඒ පළාත නියෝජනය කරන එජනිසයෙම බලවතෙක් නිසා කියලයි දැන ගන්න ලැබුණේ. නමුත් අද ඒ දේශපාලන බලවතාගේ පිහිටක් මේ මැරයාට නැතිලු. 

ඒත් මැරකම් අඩු වෙලත් නැතිලු. පළාතේ පොලිසිය මේ දක්වා තරුණයාගේ අතපය කඩා දැමූ මැර සභාපතිවරයා අත්අඩංගුවට ගෙන නැති බවත් දැන ගන්නට ලැබුණා.

මේ වගේ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය කාලේ මෙම සභාපතිවරයාගේ අනුදැනුම යටතේ සිදු වුණත් පළාතේ පොලිසිය මේ ‘පිස්සු බල්ලා’ අල්ලා කූඩුවේ දමන්නට පියවරක් ගත්තේ නැතිකම පොලිසියට වස ලැජ්ජාවක්.

මේ අතරේ පසුගිය දවසක තිබුණ පුවත්පත් සාකච්ජාවක දී එක්තරා ඇමැතිවරයෙක් කහවත්තේ භීෂණය ගැන කියන්න පටන් ගත්තා. එයාගේ නම කැත කරන්න කරන කුමන්ත්‍රණයක් විදිහටයි ඒ ඇමැතිවරයා කහවත්තේ සිද්ධිය දකින්නේ. 

මේ වෙනකොට කහවත්‍ත ආශ්‍රිත ගම්මාන කිහිපයක කන්තාවන් පහළොස් දෙනෙක් ඉතා අමානුෂික විදිහට ඝාතනය කර තිබෙනවා. ඒත් එම පළාත් නියෝජනය කරන දේශපාලකයන්ට ‍තමන්ගේ වැයික්කියේ සිදුවන මේසා අපරාධ ගැන වගේවගක් නැති බවයි පෙනෙන්නේ. 

එයාලා හිතන්නේ එයාලගේ නම කැත කරන්න මිනිමරන බවයි. ලස්සන නමක් තිබුණොත් විතරයි ඒ නම කැත කරන්න පුළුවන් වෙන්නේ. ජනතා විශ්වාසය ජනතාවගෙන් ගිලිහිලා ගියාට පස්සේ මොන ලස්සන නමක්ද? ඒ වගේම මේ ඇමැතිවරයා කියනවා කහවත්තේ කුඩු නැතිය කියලා. නමුත් පොලිසිය ඒ පැත්තේ කුඩුකාරයන් කිහිප දෙනෙක් ඇල්ලුවා. 

එක් කුඩු ජාවාරම්කාරයෙක් මේ ඇමැති වරයාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙක්ගේ සහෝදරයෙක් හැටියට හඳුනා ගන්නට පොලිසියට හැකි වුණා. ඒත් මේ ඇමැතිවරයා කියන්නේ කහවත්තේ කුඩු නැති බවයි. කසිප්පු නම් තියෙනවලු. 

කහවත්තේ සැබෑ මිනිමරුවන් කොටුකර ගන්න මේ ‍ වෙනකොට පොලිසිය දැවැන්ත ආරක්ෂක ජාලයක් ඇති කර තිබෙනවා.ඒ අතරේ පොලිසිය කියනවා පසුගිය කාලේ කහවත්ත, කොටකෙතන ගම්මානයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු අනාවරණය වන බවක්. ඒ කතාවෙන් පැහැදිලි වන්නේ පසුගිය කාලේ ‍ දාහක් විතර දාගෙන සිදු කළ පොලිස් පරීක්ෂණවල තිබෙන අබල දුබලතා බව සැකයක් නැහැ. 

ඒ විතරක් නෙවෙයි, පොලිසිය කියපු සමහර කාරණා බොරු කියලා ඔප්පු වෙන කාරණා අළුත් පරීක්ෂණ වලින් හෙළි වෙන බවයි ඒ කතාවෙන් ඇඟවෙන්නේ. පොලිසියේ මේ අඩුපාඩු හදා ගන්න තව කොච්චර කාලයක් යයිද කියන්න බැහැ. 

මුලින් සඳහන් කරපු මාදිලියේ දේශපාලන මැර චණ්ඩි මිනිස්සුන්ට ගහලා, කපලා, මරලා කිසි ප්‍රශ්නයක් නැති විදිහට ඉන්නවා. 

පොලිසියත් බලා ගෙන ඉන්නවා. ලොකු සිද්ධි මුල්කර ගෙන පොලිසිය ජනමාධ්‍යයට දෙන ‘අතේ රෝල්’ කතා පොල්ගෙඩි අකුරුවලින් ජන මාධ්‍යවල පළ වුණත් ඒවත් බොරු කතා කියලා පොලිසියටම පස්සේ කියන්න සිද්ධ වෙනවා.

කොයි වෙලාවක හරි කටුගේ කැඩුව කන්ගැට්ටා කතාවටත් ඔය ටිකම වෙයි ද කියලා මේ බයේ ගැහි, ගැහි ඉන්නේ.
 
Related Posts with Thumbnails