Ads 468x60px

.

මීට වසර එකසිය දහතුනකට පෙර ලෝක විනාශයට මුහුණ දෙන්නට සූදානම් වුණු ගම්පහ-දොම්පේ ගැමියෝ

ඒ අනුව මෙම ලෝක විනාශ දිනය ළංවත්ම එම ගම් තුනේම පිරිස්  එක් වී ‍පොදු තීරණයකට...

නමුදු උදය දහවල බවටත් දහවල සන්ධ්‍යාව බවටත් සන්ධ්‍යාව රාත්‍රිය බවටත් පත් විණි... එහෙත්...?

මෙම වසරේ දෙසැම්බර් විසි එක් වනදා ලෝක විනාශය සිදු වන බවට ලොව පුරා පැතිර ගත් විශ්වාසයක් තිබේ. ක්‍රි.පූ. පස්වන සියවසේ දී පමණ හඳුන්වා දී ඇති මධ්‍යම ඇමරිකාවේ ඇස්ටෙක්, ටොල්ටෙක් යන පුරාණ ශිෂ්ටාචාරවලට අයත් ඉන්කා මායානු දින දර්ශනය මෙම වසරේ දෙසැම්බර් 26 වෙනිදායින් නිමා වී තිබිම එම විශ්වාසයේ පදනම බව පෙනේ.

එහෙත්, හුදු අද්භූතවාදී  පසුබිමක් මත පදනම්ව ඇති මෙම ලෝක විනාශ සංකල්පය කිසිම වැදගැම්මකට නැති මිථ්‍යා මතයක් යැයි අදාළ විෂය ක්ෂේත්‍රයට අයත්  නවීන විද්‍යාඥයෝ තරයේම කියා සිටිති.


නමුදු අප ජීවත් වන මෙම පෘථිවි තලය කිසියම් ආකස්මික කරුණක් මත ගින්නකින් , සුළඟකින් හෝ ජලයකින් එක්වරම

වැනසී යතැයි යන අනුමානය දුරාතීතයේ සිටම ලොව සෑම ජන වර්ගයක් තුළම පාහේ තිබි ඇත. 

අප රටේ සාමාන්‍ය ගැමි ජනතාව තුළ ද ලොවටම ‍පොදු මෙම ලෝක විනාශ භිතිකාව පිටාර ගැලූ  අවස්ථාවක් පිළිබඳ අතීත කතා ප්‍රවෘත්තියක් ද තිබේ. එය වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ  ආසනයට අයත් මණ්ඩාවල ග්‍රාමයෙනි.

මීට වසර එකසිය දහතුනකට පෙර, එනම් 1899 වසර වන විට මෙම මණ්ඩාවල ප්‍රදේශය ඉතා පිටිසර බද නිහඬ ගැමි වටපිටාවකින් යුතු විය. ‍පොල් වගාව සහ වී ගොවිතැන ගැමියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විණි. ඊට අමතරව කොස් දෙල් ආදී ගෙවතු බෝග කෙසෙල්  එළවළු ඇතුළු කොරටු වගා මෙහි ගැමියන්ගේ සෙසු ආදායම් මාර්ග අතරට ගැණින. 


මෙම බව බෝගවලට අමතරව ගවයන්, එළුවන්, කුකුළන් ආදී ගෘහාශ්‍රිත සතුන් ඇති කිරීමෙන් ද මෙහි ගැමියෝ තම දිවිපවෛත් ගත කිරීම පිණිස යම් පිටිවහලක් ලදහ. මීට අමතරව අද වන විට මෙම ප්‍රදේශයෙන් බෙහෙතකට වත් සොයා ගත නොහැකි තල මෙනේරි කුරහන් ආදී කටුසර ධාන්‍ය වගාවන් ද අතීතයේ මෙම මණ්ඩාවල ප්‍රදේශයේ අතිශයින් සුලබ විය.

මේ තත්ත්වය යටතේ එවකට මෙම ප්‍රදේශයේ තරුණයනට  අකුරු  සාත්තරය ඉගෙනීමේ අමුතු අවශ්‍යතාවක් පැන නොනැගුණි. එමෙන්ම ප්‍රදේශයේ  පාසල් නොතිබිම නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ද උදා නොවීය. 


එකල සියනෑ කෝරළයේ බොහෝ ගැමියන්ගේ මෙන් මණ්ඩාවල වැසියන්ගේ ජීවන රටාව ද තම ගම්මානයට පමණක් සීමා වී තිබිණ. ගැමියකු කිසියම් කටයුත්තක් තකා කොළඹට නැතහොත්  එවකට හෙනරත්ගොඩ  නමින් හැඳින්වුණු ගම්පහ නගරයට පැමිණියේ නම් ඒ හාවා හඳ දකින්නක් මෙනි.

මේ තත්ත්වය නිසාම මෙම ගම්මානවලට පැමිණෙන විශේෂිත අමුත්තෝ  පිරිස් කිහිපයක් ද වූහ. ඒ ගම්මුන් ගේ බව බෝග මිලට ගන්නට හෝ ඒවා හුවමාරු කරගන්නට දුරු මිරිස් සිල්ලර ද රැගෙන කරත්තවලින්  ගමේ ‍පොළවල් වෙතට එන මුදලාලිලා ය. එසේම ගම්මුන්ට උවමනා රෙදි පෙරෙදි ‍පොදි බැඳ හිස මත පටවාගෙන එන රෙදි වෙළෙන්දෝය. නැතහොත් තොරොම්බල් කාරයෝ ය. 


එසේත් නැතහොත් ගම්මුන් සතු  යම් යම් වටිනා  දේ තමන් සතු කර ගනිමින් ගම්මුන්ට ‍පොලියට මුදල් දෙන්නට සහ ‍පොලී එකතු කරන්නට අවිස්සාවේල්ල දෙසින් කැලණි ගඟ පැන එන මුස්ලිම් නානලාය. මේ සකල විධ ගනු දෙනුවලට අමතරව මණ්ඩාවල ගම්මුන් ආගන්තුකයන් වෙතින් අපේක්ෂා කළ තවත් වැදගත් මෙහෙවරක් ද විය. එනම් අවට ලෝකයේ අලුත්ම තොරතුරු ඔවුන් වෙතින් විමසා දැන ගැනීමය.

පඨවි, ආ‍පෝ, තේජෝ වායෝ යන සතර මහා භූතයන් එකිනෙකාට එරෙහිව සටන් වැදීමෙන් ගින්නෙන්, ජලයෙන්, සුළඟින් සහ මහ  පොළොව කම්පා වීමෙන් මේ ලෝකය විනාශය එක්වරම වැනසී යන බවක් මණ්ඩාවල වැසියනට මුලින්ම අසන්නට ලැබෙනුයේ මෙසේ ගම්මානයට එන පිටස්තරයන් ගෙනි. එම ලෝක විනාශය  වන නිශ්චිත දිනයක් ද දැන ගන්නට ලැබිම ඔවුන් සතු බිය සැක සිය දහස් ගණනකින් වැඩි කරවන්නක් ද විය.


එම දිනය වූයේ 1899 දෙසැම්බර් 31 දාය.


පැරණි ආගමික විශ්වාසයන් හි අඩංගු කරුණු සාවද්‍ය ලෙස අර්ථ කථනය කරමින් හා ඊනියා අනාවැකි කරුවන් ගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් විවිධ වකවානු තුළ සිදුවන ලෝක විනාශයන් පිළිබඳ සාවද්‍ය අනාවැකි බොහොමයක් එදා මෙදා තුර ප්‍රකාශ වී තිබේ.


එහෙත් 1899 දෙසැම්බර් 31 දා ලෝක විනාශයක් සිදුවන  බවට අපගේ රට තුළ එවන්  හා හෝවක් පැවැති බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් නැත. ඒ කෙසේ හෝ මෙම මණ්ඩාවල ලෝක විනාශය  පිළිබඳව කෙටි විස්තරයක්  සිරිසේන  දේවප්‍රිය ලියූ 'ගම්පහ දිසාව' නම් කෘතියෙහි සඳහන් වේ. එහි දක්වෙන අන්දමට මෙම භීතිය ගමට පිවිස ඇත්තේ කවි කොළ කාරයන් මගිනි. අනුරාගොඩ විසූ විශ්‍රාමලත් විදුහල්පති ඩබ්ලිව්. පී. අත්තනගොඩ මහතා ගේ ප්‍රකාශයක් මත ඒ පුවත එම කෘතියට ඇතුළු වී තිබේ. 


මේ පිළිබඳව කරන ලද විමසුමක දී මට දැනගත හැකි වූයේ එම විශ්‍රාමික විදුහල්පතිවරයා මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති බවකි. එමෙන්ම ඔහු අතීතයේ එහි විසූ අත්තනගොඩ  කංකානම  නම් ප්‍රභූවරයකු ගේ පරපුරකින් පැවැත එන්නකු බව ද දැන ගත හැකි විය. 

අත්තනගොඩ පරපුර වෙසෙන අනුරාගොඩට ඒ නම ලැබි ඇත්තේ කෑගල්‍ලේ අත්තනගොඩ  ප්‍රදේශයේ පදිංචි එම ප්‍රභූවරයා 'අනුර' නැකතින් එහි සේන්දු වූ නිසා බවට ද ප්‍රදේශයේ ජනප්‍රවාදයක් තිබේ.

ඒ කෙසේ හෝ මණ්ඩාවල පදිංචි වෘද්ධ ප්‍රභූවරයකු වන අසූ හැවිරිදි එම්.බි.ඒ. සයිමන් සිඤ්ඤෝ (සුදු අයියා) මහතා පවසන අන්දමට ලෝක විනාශය පිළිබඳ අනාවැකිය මණ්ඩාවල වැසියන්ට දැනුම් දී ඇත්තේ ඉන්දියාවේ කොච්චින් දේශයෙන් පැමිණි ෙදෙවඥයකු විසිනි.


මේ අතර අවිස්සාවේල්‍ලේ  පැරණි සීතාවක පුරයේ සිට පැමිණි සන්‍යාසියකු මෙම ලෝක විනාශය පිළිබඳ අනාවැකිය කී බවක් ද සමහරෙක් කියති.

ඒ කෙසේ හෝ මණ්ඩාවල ලෝක විනාශ භීතිකාවට ඉහත සඳහන් හේතූන් කිහිපයම අඩුවැඩි වශයෙන් ඉවහල්වන්නට ඇත.


මේ කාලය ශ්‍රී ලංකාව විශිෂ්ට ශාසනික පුනරුදයක්ට මුල පුරා තිබූ අවදියකි.  ඒ 1880 වසරේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ලංකාගමනයත් සමගිනි. මේ වන විට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි විරුවන්ගේ ආගමික සංස්කෘතික මෙහෙවර  ජාතික මට්ටමින් ව්‍යාප්ත වෙමින්  තිබිණි. 


වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ට බ්‍රහ්මචාරී යන උපධි නාමය ප්‍රදානය කෙරෙනුයේ මේ වසරේ ජනවාරි මාසයේ හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාලිගාකන්ද විදේ‍යා්දය පිරිවනේ පැවැති ලංකා මහා බෝධි සමාගමේ රැස්වීමකය.

එමෙන්ම ඕල්කට් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 1880 පිහිටුවන ලද  පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය මගින් කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව , ගාල්ලේ  මහින්ද ඇතුළු බෞද්ධ ධාරාවේ පාසල් කිහිපයක් ද මේ වන විට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබිණ. 


කෙසේ හෝ අප රටේ බොහෝ පිටිසර ගැමියනට මෙන් සියනෑ කෝරළයේ මණ්ඩාවල වැසියන්ට ද මේ ජාතික ශාසනික ප්‍රබෝධයේ උණුසුම නොදැනුණු බව පෙනෙයි.

අසවල් දවසේ ලෝකය විනාශ වෙනවා නම් ඉතින් අපි තවත් මොනවා කරන්නද? මේ සේරම දේවල් අතහැරලා දාලා යන ලෝකෙට වත් වැඩක් වෙන විදිහේ දෙයක් කර ගනිමු. එම වසරේ අග භාගය වන විට තමන්ට අත්වන කුරිරු ඉරණම පිළිබඳව අසා හිත හදාගත් මණ්ඩාවල ගමේ වැඩිහිටි කිහිප දෙනෙක් එසේ කතිකා  කර ගත්හ. අනුරාගොඩ සහ වෙරළුගම්පල යනු මණ්ඩාවලට යාබද ගම් දෙකකි. මේ ගම් තුනේම හිඳිනුයේ අනේ‍යාන්‍ය වශයෙන්  ඥාතීන් වන පිරිසකි. 


ඒ අනුව මෙම ලෝක විනාශ දිනය ළංවත්ම එම ගම් තුනේම පිරිස්  එක් වී ‍පොදු තීරණයකට එළැඹුණහ. එනම් 1889 වසරේ දෙසැම්බර් 31 දා අලුයම අන් සියලු වැඩ කටයුතු අතහැර එකම තැනකට රැස් වී ශීල භාවනා ආදී  කටයුතුවලින්ම දවස ගෙවා දැමීමය. එවිට ඒ අතරේ ලෝක විනාශය සිදුවුව හොත් ඒ පින් බලයෙන් තමන්ගේ පරලොව ජීවිතය හෝ සුගතිගාමී වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ.

නමුදු ලෝක විනාශය මුල් කොටගත් මෙම විශේෂිත ආගමික වැඩසටහන පැවැත්වීම සඳහා විහාරස්ථානයක් එවකට මණ්ඩාවල නොවිණි. එබැවින් ඔවුන් විසින් ඒ සඳහා විශේෂිත ස්ථානයක් ද නියම කර ගන්නා ලදී. ඒ මෙනේරිලන්ද නම් ඉඩමකි. කනංගම රාළ නම් පැරණි ගම් ප්‍රධානියකුගේ පරපුරකට අයත් වූ මෙනේරි ලන්ද එවක උරුමක්කාරයන්ගේ විශේෂ ඇල්මකට බැල්මකට ලක් වූ ඉඩමක් නොවිණි. 


එනිසාම ප්‍රදේශයේ අසරණ ගැමියන් තම බඩ වියත තකා මෙනේරි වැපිරීම සඳහා එම ඉඩම  යොදා ගෙන තිබිණ. ඉඩමේ හිමිකරුවන් ගෙන් ද ඊට විරෝධයක් එල්ල නොවිණි. එම ඉඩම කෙළවරේ අත්තනගොඩ කංකානමලාගේ ඊසන්  නමැත්තකුට අයත් කෝපි කඩයක් තිබූ අතර එය නිතර ගැමියන් ගැවසුණු තැනක් විය.

කෙසේ හෝ  ලෝක විනාශය සිදුවන බව පැවසුණු 1899 දෙසැම්බර්  තිස් එක් වනදා එළැඹිණි. එදින තම ජීවිතවල අවසන් මොහොත එළඹිය හැකිය යන භීතිය මුසු අනුමානය බොහෝ දෙනකුගේ සිත් තුළ රැව්දුණි. එබැවින් කලින් කතිකා කර ගත් පරිදි සියලු ලෞකික ආශාවන් අත් හළ එම ගම්තුනේ වැසියෝ සුදු රෙදිවලින් සැරසී සිල් රෙදි ‍පොරවා එදින අලුයම මෙනේරි ලන්දට රැස්වූහ.


මෙම යුගය වන විට කැලණි රජ මහා විහාරයේ ආගමික කටයුතු ද නව පුනර්ජීවයක් ලබා තිබූ බව පෙනේ. ඉඳහිට ‍පොහොයකට එහි ගොස් සිල් සමාදන් වූ කිහිප දෙනෙක් ද මෙම මෙනේරිලන්දට එක් වූ පිරිස අතරේ සිටියහ. ආගමික වත් පිළිවෙත් සහ බණ දහම් නොදන්නා ගම්මුන්ට ඒ සම්බන්ධ  දැනමුතුකම් දෙන ලද්දේ එම කිහිප දෙනා විසිනි. 


කෙසේ හෝ මෙම පිරිස කොයි මොහාතක හෝ සිදුවිය හැකි ලෝක විනාශය අපේක්ෂාවෙන් එදින හිමිදිරියේ සිට තමන් දන්නා ගාථා සජ්ජායනා කරමින් අසා ඇති බණ කතා සිහිපත් කරමින් මෙනේරි ලන්ද ට වී පූර්ණ ආගමික දිවිපවෛතක් ගත කළහ.

නමුදු උදය දහවල බවටත් දහවල සන්ධ්‍යාව බවටත් සන්ධ්‍යාව රාත්‍රිය බවටත් පත් විණි. එහෙත් ලෝක විනාශය වන පාටක් නම් පෙනෙන්නට නැත. අප රටේ සාම්ප්‍රදායික පිළිගැනීම් වලට අනුව දවස ඇරඹෙනුයේ  උදෑසන හිරු උදාවත් සමඟිනි. 


එබැවින් මෙනේරිලන්දට රැස් වූ පිරිස ලෝක විනාශය පිළිබඳ අවදානම පවතින රෑ තුන්යම පුරා ද මෙනේරි ලන්දටම වී ඕනෑම මොහොතක මෙලොවින් සමුගැන්මට සැරසී සිල් රකිමින් බණ දහම් පුරන්නට තීරණය කළහ.
 
Related Posts with Thumbnails