Ads 468x60px

.

අතීතයෙන් ඇසෙන අරුම පුදුම කතා...

ශෝක පවත්වන මනාලියන්... 

ඔස්ට්‍රියාවේ “අවු” නමැති දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව විවාහ මංගල්‍යයන්හිදී අනුගමනය කරනුයේ එහි ප්‍රීති සහගත බාවයට මුළුමනින්ම පරස්පර විරෝධී වූ ක්‍රියා පටිපාටියකි. 

එබඳු විවාහ උත්සවයන්හිදී මනාලිය සරසවනු ලබන්නේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට මනාලියගේ රූමත් බව ඉස්මතු කොට පෙන්වන ආකාරයේ අගනා සළු පිළිවලින් නොව අවමංගල්‍යයක ශෝක පවත්වන්නන් විසින් අඳිනු ලබන දළ වස්ත්‍රයකිනි. 

එනම් වැන්දඹුවක විසින් සාම්ප්‍රදායිකව අඳිනු ලබන ඇඳුම් කට්ටලයකිනි. මෙම පිළිවෙත මගින් ‘අවු’ වැසියන් මනාලියට සිහිපත් කිරීමට උත්සාහ දරනුයේ ජීවිතයේ හා ප්‍රීතිමත් භාවයේ ඇති අනියත බවයි.

එනම් එදින උදාවූ ඇගේ දිවියේ ප්‍රීතිමත්ම දිනය මෙන්ම යම් දිනකදී ඇය වැන්දඹුවක බවට පත්වීමේ ශෝකයද විඳ දරා ගත යුතු බවට කෙරෙන සිහි කැඳවීමක් ලෙසය.




තමන්ගේ සොහොන් ගල  තමන්ම සකස් කර ගත්තෙක්... 

ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ‘ඈස්ටබියුලා’ වසමේ විසූ ‘ප්ලැට් ආර්. ස්පෙන්සර්’  නමැත්තාගේ ඇමරිකාව පුරා ප්‍රකට චරිතයක් බවට පත් වූයේ ඔහුගේ අපූරු අත් අකුරු ෙශෙලිය නිසාය. 

ඔහුට ගරු කිරීමක් ලෙස ‘ස්පෙන්සේරියන්’ අත් අකුරු ෙශෙලිය ලෙස හැඳින්වුණු ලිවීමේ රටාව ඇමරිකානු වැසියන් අතර කෙතරම් ප්‍රකට වූයේද යත්, අවසානයේදී ස්පෙන්සර් හට සිය සොහොන් ග‍ලේ කැටයම් කෙරෙන වගන්ති සඳහාද යොදාගැනීමට සිදු වූයේ තමාගේම අත්අකුරු රටාවය.

නූතන හා පැරණි දෙයාකාරයටම වේලාව දක්වන ඔරලෝසු ස්ථම්භය...

ජර්මනියේ ‘බර්ගෝසන්’ (Burghausen) නුවර පිහිටි දේවස්ථානයේ ඉදිකොට ඇති ඔරලෝසු ස්ථම්භය ලොව ඇති එයාකාරයේ එකම ඔරලෝසු ස්ථම්භයයි. 

එහි මුහුණත් දෙකකින් සාමාන්‍ය හෝරා යන්ත්‍රයක දැක්වෙන පරිදි ඔරලෝසු මුහුණත් දෙකක් නිරූපණය වුවද සෙසු මුහුණත් දෙකෙහි දැක්වෙනුයේ සූර්ය ඝටිකාවකි. (සූර්යයාගේ සෙවණැල්ල ආධාරයෙන් වේලාව දක්වන ඔරලෝසු වර්ගයකි) 

මීට හේතුව වූයේ ස්ථම්භය ඉදි කෙරෙන අවස්ථාවේදී මෙකී ඔරලෝසු දෙවර්ගයෙන් වඩාත්ම විශ්වසනීය ලෙස වේලාව දක්වන්නේ කුමකින්දැයි, නිර්මාණ ශිල්පීන්ට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමයි.

බිරළු රේන්දයන්ට පෙම්බැඳි කිරිල්ලියක්...

විසිතුරු දෑවලට ප්‍රිය කරනුයේ මිනිස් අප පමණක් නොවන බව ඔප්පු කරන කදිම සාක්ෂ්‍යයක් වරෙක බ්‍රිතාන්‍යයේ ‘පින්මෝර්’ ප්‍රදේශයෙන් හමුවිය. 

එහි වූ ගස් දෙබලක පිහිටි කළු කිරිල්ලියකගේ (Blackbird) කැදැල්ල සෙසු සාමාන්‍ය කුරුලු කැදලි වලින් කැපී පෙනෙන ලෙස වෙනස් වූයේ එය අගනා බෙල්ජියානු රේන්දයෙන් සරසා තිබූ බැවිනි. සිය නිවසට මනස්කාන්ත පෙනුමක් ලබා දීම සඳහා කිරිල්ලිය විසින් රේන්ද යාර කීපයක්ම යොදාගෙන තිබිණි.

බළලකුගේ වික්‍රමය... 

1999 දෙසැම්බර් 9 දා තායිවානයට බලපෑ අතිශය ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් දෙදහස් හාරසියයක පිරිසක් මිය ගිය අතර, තායිමුන් නුවර පිහිටි ගොඩනැගිලි සියල්ලම පාහේ මුළුමනින්ම ‍පොළොවට සමතලා විය. 

නමුත් කාටත් අදහා ගැනීමට අසීරු අපූරු සිදුවීමක් වාර්තා වූයේ භූමිකම්පාවෙන් දින අසූවක් ඉක්ම යාමෙන් අනතුරුවය. කඩා වැටී තිබූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් එතෙක්කල් ජීවත්ව සිටීමට වාසනාව ලැබූ බළලෙකු සොයා ගන්නා ලද අතර කඩිනමින් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසු යළිත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටද බළලා සමත්විය. සුන්බුන් වලට යට වී නිරාහාරව දින අසූවක් සිටි මේ අපූරු බළලා නම් වීරයෙක්ම වූවාට සැක නැත.

පර්සියානුවන්ගේ සුවඳැති අතුරුපස... 

අතීතයේ විසූ පර්සියානු වැසියන්  සිය අතුරුපස වේලවල් රසවත් කිරීම සඳහා ගන්නා ලද ‘ආමන්ඩ්’ (රට කොට්ටම්බා) ඇට සුවඳ ගැන්වීමට පුරුදුව සිටියහ. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ලද පිළිවෙත වූයේ සුවඳවත් මල් පෙති සහිත වීදුරු ගුදම් තුළ ආමන්ඩ් ඇට භාවිතයට ගන්නා තෙක් අසුරා තැබිමයි.

මමි ඖෂධ...

ක්‍රි.ව. 1300 - 1700 අතර කාලයේදී ඊජිප්තු මමියන් යුරෝපය තුළදී ඖෂධ සකස් කිරීම සඳහා යොදා ගන්නා ලද බව කියැවේ. එහිදී මමි සිරුරු අඹරා කුඩක් බවට පත්කොට ඖෂධ සංයෝග කිරීම සඳහා යොදාගෙන තිබිණි.


දුරකථන නිර්මාතෘවරයාගේ අභාග්‍යය...

දුරකථනයේ නිර්මාතෘවරයා වන ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් හට කිසිදු විටක තමන් ඉතා ආදරය කළ මවට හෝ බිරියට දුරකථනය ආධාරයෙන් කතා කිරීමට අවස්ථාවක් නොලැබිණි. මීට හේතුව නම් ඔවුන් දෙදෙනාම බිහිරි වීමයි.

Ripley’s Believe It or not ඇසුරිණි
 
Related Posts with Thumbnails