Ads 468x60px

.

සංගීත සංදර්ශනය බලන්න ආ තාත්තව ගණන් නොගෙන හිටපු කතාව බොරුවක් - අමිල පෙරේරා...

තාත්තා ප්‍රේක්ෂකයන් අතර ඉදිද්දී පෙම්වතියත් සමග හොරෙන් ඇවිත් පෙම්වතිය සමග ගිය එකත් බොරුවක්... 

ඇයව පැත්තකට කරලා ඇවිත්  තාත්තත් එක්ක වචන දෙකතුනක් කතා කළ එකත් බොරුවක්...

සිරස සුපර්ස්ටාර් ප්‍රථම අදියර තුළින් ගායන ක්‍ෂේත්‍රයට එක් වූ ඔහුගේ ගැඹුරු හඬ සිනමා පසුබිම් සංගීතයට කදිම තිළිණයක් වුනා. 

තමාටම ආවේණික අනන්‍යතාවයකින් ගායන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යා හැකි ගායකයකුගේ පෙර ලකුණු පහල කරමින් සිටි මේ යොවුන් ගායකයා හිටිහැටියේම ලංකාව හැරයාම ඔහු විසින් තමාටම සිදුකරගත් අසාධාරණයක් වැනිය. 

නමුදු මාස කිහිපයකට පෙර යළි ලංකාවට පැමිණ ඔහු අද වනවිට ගායකයකු ලෙසින්ද රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසින්ද යළි අපට ළංව සිටියි. අමිල පෙරේරා නම් ඔහු අපත් සමඟ සුහද පිලිසඳ යෙදුනු අයුරුයි...
 
තවමත් අමිල යැපෙන්නේ ඔබේ මුල් කාලයේ ගැයූ ගීවලින්
මෑතකදීත් අලුත් ගී කීපයක් කළා. මේ වනවිට මම ගීත තිහක් හතළිහක් පමණ ගායනා කරලා තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒවා නාලිකාවල ප්‍රචාරය නොවීම.

මොකක්ද ඒකට හේතුව ?


අද වනවිට ගීත නිර්මාණය කරන යම් යම් ආයතන හා පිරිස්  සැලසුම් සහගතව තමන්ගේ ගී ප්‍රචාරය කරගන්නවා. නිතරම එකම ගීත ඇහෙන්නේ ඒ නිසා.

ඒ දවස්වල සිරස විසින් ඔබලාගේ ගීත ජනප්‍රිය කරවනවා කියලත් ඔහොම චෝදනා කළ අය හිටියා
නාලිකාවන් විසින් බිහිකළ පිරිසක් ඒ නාලිකාව විසින් ජනප්‍රිය කරවීම සිරස පමණක් නොවෙයි බොහෝ නාලිකා කරන දෙයක්. අන්න ඒ විදියට තරගවලින් පැමිණි අය හුඟාක් දක්ෂයි. ඒ බිහිවූ ගීතත් ගුණාත්මකයි. ඒ හින්දා ඒවා බලෙන් ජනප්‍රිය කරවූවා කියන්න බැහැ.

එතකොට ඔබ කියන්නේ දැන් ජනප්‍රිය කරන්නේ නරක ගීත කියලද?
ගීතය හොඳ වුවත් නරක් වුවත් ඒ වටා සිටින පිරිස විසින් සියලුම නාලිකා අත්පත් කරගෙන ගීත බලෙන් ජනතාව අතරට යැවීම  අනෙක් අයට ඉඩ ඇහිරී යාමක්.

Amila-2අමිලගෙ ගීත ජනතාව අතරට නොයෑම නිසා ද ප්‍රසංග වලදී වෙනත් ගායකයන්ගෙ ජනප්‍රිය ගීත ගායනා කරන්නේ ?
මගේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ ශාලා තුළ පවත්වන ප්‍රසංගවලට ගැළපෙන විදියට. එළිමහන් ප්‍රසංගවලට ඒ ගීත ගැළපෙන්නේ නැහැ. සමහර ප්‍රසංගවලදී අපෙන් යම් යම් ගීත ඉල්ලන අවස්ථාත් තියෙනවා. ඒ හින්දා එළිමහන් ප්‍රසංගවලදී වෙනත් ගායකයින්ගේ ගීත ගයන්න සිදුවනවා.

කවුරුහරි ගායකයෙක් ප්‍රසංගයකට හෝ සී.ඩී. තැටියකට අමිලගේ ගීත ගායනා කරලා මුදල් හම්බ කරන බව දැනගන්න ලැබුණොත් .... ?
මේ ගායකයා මගේ ගීතය ගයන්නේ මගේ ගීතය ජනප්‍රිය හින්දනේ කියලා හිතනවා. එහෙම හිතලා ගොඩක් සතුටු වනවා.

අමිල ඔය විදියට කිව්වාට ජනප්‍රිය ගීත මංකොල්ල කෑම පිළිබඳව බොහෝ ප්‍රවීණයන් බැණ වදිනවා.
ඒක ඒ අයගෙ අදහස. මම මගෙ මතය ප්‍රකාශ කළාට අනිත් අයගෙ මත විවේචනය කරන්න බැහැනේ.

සංදර්ශනයකදී වැඩිපුර මුදල් ඉල්ලන්න ගිහින් සංවිධායකවරු අමිලට ගහලා එළවපු බව පහුගිය දිනවල අන්තර්ජාලයේ තිබුණා
අදත් මම සංගීත සංදර්ශනවලට යන්නෙ තනිවම. ඕනෑම තැනක ඕනෑම විදිහේ කෙනෙකු සමග වුවත් හැසිරිය යුතු ආකාරය මම දන්නවා. කවදාවත් මම සංදර්ශන වේදිකාවකදී කා එක්කවත් බහින් බස් වෙලාවත් නෑ. ඒක අමූලික බොරුවක්.

වතාවක් අමිලගෙ සංගීත සංදර්ශනයක් බලන්න ආ තාත්තව ගණන් නොගෙන සිටි බවකුත් ඒවායේ සඳහන් වුණා
ඒක ඊටත් වඩා බොරුවක්. මගෙ තාත්තට සල්ලි දීලා ටිකට් අරගෙන මගෙ සංගීත සංදර්ශන බලන්න එන්න ඕන නැහැ. මගෙ උත්සව අවස්ථාවලට මගෙ මවුපියෝ එනවා නම් එන්නේ බොහොම ගෞරවනීය විදියට.

තාත්තා ප්‍රේක්ෂකයන් අතර ඉදිද්දී ඔබ පෙම්වතියත් සමග හොරෙන් ඇවිත් පෙම්වතිය සමග ගිය බවත් ඇයව පැත්තකට කරලා ඇවිත්  තාත්තත් එක්ක වචන දෙකතුනක් කතා කළ බවත් එහි තිබුණා.
නමුත් මට ඉන්නෙ පෙම්වතියක් නමෙයි බිරිඳක්. අපි බැඳල අවුරුදු ගාණක් වනවා. ඇයයි මමයි විවේකය ලැබුණු හැටියේ අපේ ගෙදර යනවා. ඉතින් ඇයි මම මගේ බිරිඳව තාත්තගෙන් හංගන්නෙ.

නළු නිළි ගායක ගායිකාවන්ට එකි’නෙකාගෙ නම් ඈඳලා කටකතා පැතිරීම සුලබයි. අමිලට මෙවැනි කටකතා හැදුණේ මොන හේතුවක් නිසාද ?
මම ගමෙන් කොළඹ ඇවිත් කොළඹ පරිසරය හා එක්වුණාම විවිධ අය ළං වුණා. ඒ විදියට ළංවුණු අය අතුරින් ඇසුරට සුදුසු නැති නිසා මම ඇතැම් අයව ඈත්කරල දැම්මා. එතකොට ඒ අයගෙ හිත්වල තරහ ඇතිවුණා. ඒ වගේම එකටම ඉඳලා යටි සිතින් අපිට ඊර්ෂ්‍යා කරන අයත් අප වටා ඉන්නවා. අපේ ගතිගුණ ඇවතුම් පැවතුම් දිරවන්නෙ නැති අයත් ඉන්නවා.  ඔන්න ඔය විදියෙ අය තමයි මේවා කරන්නේ.

මේ පුද්ගලයෝ කවුද කියලා කියන්න පුළුවන්ද ?
ඉස්සර කීවේ ගැහැනු අය ඕවා කියනවා කියලනේ අපි කිව්වේ.  ඒත් අද ගැහැනුන් අතර වැදගත්, බුද්ධිමත් විවෘත අදහස් ඇති අය ඉන්නවා. අනුන්ගෙ ඕපදූප හොයන, ඊර්ෂ්‍යා කුහකකම් කරන පිරිමින් තමයි අද වැඩිපුර ඉන්නේ. ඒ වගෙ අයට පිරිමි කියන්නත් ලැජ්ජයි. මම මේ කියන්නේ හැමෝම ගැන නමෛයි යම් පිරිසක් ගැන.

අන්තර්ජාලයෙන් අමිලට මඩ ගැසූ අය ගැන අමිල දන්නවා කියන එක තමයි හැඟවෙන්නේ ?
එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒ අයගේ නම් ගම් මාධ්‍යයෙන් කියන්න මට අයිතියක් නැහැ.

හැබැයි ඉතින් සැබෑවටම තමන්ට අසාධාරණයක් වුවොත් ඊට එරෙහි වීමේ අයිතිය ඕනෑම පුරවැසියකුට තියෙනවා
මටත් ඒ අයිතිය තියෙනවා.  ඒ වගේම අදාළ වබේ අඩවියට ඔය කරුණ සම්බන්ධව ඊ මේල් 10ක් මේ වනවිට මම යවා තිබෙනවා. මෑතකදී ඊට පිළිතුරක් ලැබුණා. ඉදිරියේදී මෙම කරුණ ගැන ඒ අයගෙ ක්‍රියාමාර්ග ගැන මම බලා සිටිනවා. ඒ අනුව මගේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේවි.
 
Related Posts with Thumbnails