Ads 468x60px

.

අයියේ නයි පැටියාට මගේ ළඟටම වෙලා ඉන්න ආස හිතිලද කොහෙද?

නයි පැටියා ළඟ නාග මාණික්‍යයක් තියෙනවා ඒ නිසයි මම ඌ රකින්නේ... 

මම නැතිව නයි පැටියා ගොඩක් දුකෙන් තමයි ඉඳලා තිබෙන්නේ...

"මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වුණා" කොල්ලුපිටියේ නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න මෙනෙවිය සිය නාගයාට කිරි පොවමින් පැවැසුවා. දැඩි වෙහෙසකර බවකින් යුක්තව සිටි නාගයා, නළඟනගේ තුරුලේ සුරතල් වෙමින් නිසොල්මනේ කිරි බොන දර්ශනය දැකුම්කලුය.

නාගයා රඳවා තබන ස්ථානයට දැමීමට
යොමු කළද, නාගයා නළඟන අතහැර යෑමට අදිමදි කළේය. "අයියේ නයි පැටියාට මගේ ළඟටම වෙලා ඉන්න ආස හිතිලද කොහෙද? 

මී පැටව්, හා පැටව් දුන්න කිව්වට නයාට හරියට කෑමක්වත් දීලා නැහැ වගේ. ගේ ඇඟත් ටික්ක කෙට්ටු වෙලා. මං හිතන්නේ සතුන්වත්තේ ඉඳිද්දී, තිබෙන තරහට දාලා තිබුණු කූඩුවේ දැල්වලට ගහලාද කොහෙද උගේ පෙණය හරියේ ටිකක් සීරිලා. අනේ පව්" කියා නළඟන නාගයාව සිපගත්තාය. 

නාගයා මඳ වේලාවක් නළඟන දිහා එක එල්ලයට බලාගෙන සිටියේය. නළඟනද ඇස්පිල්ලන් නොගසා නාගයා දෙස බලා සිටියාය. කුමක් හෝ දෙයක් නාගයා නළඟනට පවසනවා.

"මම නැතිව නයි පැටියා ගොඩක් දුකෙන් තමයි ඉඳලා තිබෙන්නේ. ඒක නයාගේ ඇස් දෙක දිහා බැලුවාහම කියන්න පුළුවන්" නාගයා පැවැසූ දෙය තේරුම් ගෙන සේ නළඟන පැවැසුවා.

අධිකරණ නියෝගයකට අනුව මාස 3 1/2කට පසුව නළඟනට සිය නාගයා ලැබීමෙන් අනතුරුව නළඟන සිය පළමු කාර්යය ලෙස නාගයාට කිරි පෙවීමට පටන් ගත්තා.


"නයා මගෙ ළඟ ඉන්නකොට මට කිසිම බයක් නෑ. නයායි, මායි අතර සීමාවක් තියෙනවා. එතැනින් නයා අෑතට ගියහම මගේ ඇඟට අමාරු වෙනවා. ශරීරය අඩපණ වෙනවා. නමුත් නැවත නයා මගේ ළඟට ආවහම ඇඟ ගොඩක් ශක්තිමත් වෙනවා. නයා බලන් ඉන්න විදියෙන්ම තේරුම් ගන්න පුළුවන්නේ අපි දෙන්නා අතර තිබෙන බැඳීම" නළඟන ප්‍රකාශ කළාය.

නයාට කිරිවලට අමතරව තව මොනවද දෙන්නේ "බිත්තර දෙනවා. මාසයකට විතර සැරයක් අවශ්‍ය වුණොත් මස් දෙනවා. නයා සත්තුන්ට හීලැයි" නළඟන පැවැසුවාය.

"මට නයා පෙන්නලා ජනප්‍රිය වෙන්න ඕනෑ නෑ. මේ සිද්ධියෙන් මට ක්ලියෝපැට්රා රාත්‍රි සමාජ ශාලාව ජනප්‍රිය කිරීමට අවශ්‍ය නෑ. සමාජ ශාලාවේ කළමනාකාරීත්වයටත් අවශ්‍ය නෑ මාවයි නයාවයි ඉස්සරහට දාලා ක්ලබ් එක ජනප්‍රිය කරන්න. නයාගේ ප්‍රශ්නයෙන් පස්සේ මට ගොඩාක් කරදර වුණා. මාව ක්ලබ් එකෙන් යවන්න ගොඩක් අය උත්සාහ කළා. 


නයාගේ මව ළඟ (හැපින්න ළඟ) නාග මාණික්‍යයක් තිබෙනවා. නයි පැටියාගෙත් ඒ නිසා නාග මාණික්‍යයක් තිබෙන්න ඕනෑ. ඒ නිසයි මම උෟව පරිස්සම් කරන්නේ. නයි දෙන්නටම මාව ඕනෑ. මටත් නයි දෙන්නම ඕනෑ. නයා නැතිව මට ඇත්තටම ඉන්න බෑ" නළඟන සිය නාගයාට කිරි පෙවීම අවසන් කරමින් මට පැවැසුවාය.

"කොල්ලුපිටියේ ක්ලබ් එකක කෙල්ලෙක් නයෙක් එක්ක නටද්දී පොලිසිය අත්අඩංගුවට අරගෙන" ඒ ඉකුත් අගෝස්තු 28 වැනි දින සමාජයේ කතාබහට ලක්වූ ප්‍රවෘත්තියකි. එම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව අනුව පළවූ විශේෂාංග මත නයි සහ නයි නළඟන පිළිබඳව සමාජයේ විශේෂ කතිකාවතක් ඇති විය.

කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද නාගයා දෙහිවල සතුන් වත්තේ සුරක්‍ෂිතව තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළ අතර නළඟන දින 2ක් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි.

ඉන් අනතුරුව නළඟන හෙවත් නිරෝෂා විමලරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා නාගයා අයිතිකාරියට බාර දෙන ලෙසට දීර්ඝ වශයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කළ අතර ඒ අනුව අදාළ නාගයා නළඟන වෙත රුපියල් 50,000ක බැඳුම්කරයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා ඉකුත් 6 වැනිදා තීරණය කළේය.

නාගයා මුදා හැරීමට අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ලැබුවද එහි පිටපත් ලබාගෙන එය දෙහිවල සතුන් වත්ත වෙත ඉදිරිපත් කිරීමට ඉකුත් 11 වැනිදා තෙක් බලා සිටීමට නයි නළඟනට සිදුවිය. නාගයා මුදා හැරීමට අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව නයි නළඟන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වීමට අපට හැකි විය.

මාස තුනකට පස්සේ නාගයා ලබාදීමට අධිකරණය තීන්දු කළා. ඒ මොහොතේ දැනුණු හැඟීම කුමක්ද?
මට අදහා ගන්න බැරි වුණා. නාගයා බලා ගන්න තියෙන ආසාව කියලා නිම කරන්න බෑ.

නයි පැටියා ගත්තහම එයාගේ අම්මාට (හැපින්නට) පෙන්නනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම අම්මාට (හැපින්නට) පෙන්නනවා. අම්මත් (හැපින්නටත්) නයි පැටියා බලන්න ආසාවෙන් ඇති.

නාගයාට හිංසා කළා කියා කියලා කොල්ලුපිටිය පොලිසිය චෝදනා කළා. එම චෝදනා ඔයාගේ නීතිඥවරුන් පරාජයට පත් කළා. මින් ඉදිරියට නාගයාව හොඳින් බලාගන්නවද?
ඔව්. ඉතින් නයා පොඩි කාලේ ඉඳලා මගේ ළඟ ඉඳිද්දී හොඳට බලා ගත්තා නම් ඉස්සරහටත් මට නයාව හොඳට බලා ගන්න පුළුවන්.

කොල්ලුපිටිය පොලිසියෙන් ඉස්සර වගේ කරදර තවදුරටත් ඇතිවෙයිද?
පොලිසියෙන් නෙවේ, මොන තැනකින් මට බාධකයන් ආවත් මම හරි නම් මට එච්චරයි. මම හිතන්නේ නෑ ඉස්සරහට පොලිසියට මට බාධා කරන්න හැකි වෙයි කියලා.

මෙච්චර ඉක්මනට නාගයා හම්බවෙයි කියලා හිතුවද?
නාගයා ඉක්මනට හම්බවෙයි කියලා හිතුණා. දිනෙන් දින මාසයෙන් මාසය කාලය ගතවුණා. මටත් ඕනෑ වුණේ ඉක්මනට මේක ඉවර කරගන්න. අවසානයක් දකින්න.

නයාව නැතිව සිටි කාලේ නයාව හීනෙන් දැක්කද? මතක් වුණාද?
හීනෙන් දැක්කා. ගොඩක් මතක් වුණා. සමහරක් වෙලාවට මම බය වුණා. ඒ වගේ දේවල් වුණා.

නාගයා ලබා ගැනීමට අවශ්‍ය අධිකරණ නියෝගයේ පිටපත් රැගෙන ඉකුත් 11 වැනි දින දහවල් දෙහිවල සතුන් වත්ත වෙත නළඟන පැමිණියාය. සතුන් වත්තට ඇතුළු වන ප්‍රධාන ‍ෙදාරටුවෙන් නළඟන ඇතුළු වෙනවාත් සමඟම එහි සිටි ආරක්‍ෂක නිලධාරී අසංක විසින් සුහදව පිළිගනු ලැබ සතුන් වත්තේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධම්මිකා මල්සිංහ මහත්මිය හමුවට කැඳවාගෙන ගියේය. 


එහිදී නළඟන විසින් නාගයා මුදාහැරීමට අදාළව අධිකරණය මඟින් නිකුත් කළ ලිපිය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය වෙත ඉදිරිපත් කරන ලද අතර එම ලිපිය නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය හොඳින් පරීක්‍ෂා කර බැලුවාය.

ඉන් අනතුරුව නාගයා මුදාහැරීම සඳහා උරග උයන අසලට යන ලෙස නළඟන වෙත දැනුම් දුන් අතර නායගා මුදාහැරීමේ කටයුත්ත උරග උයන අධීක්‍ෂණ නිලධාරි ප්‍රේමසිරි පීරිස් මහතා වෙත පැවිරිණි.

මෙම අවස්ථාව රූගත කිරීමට මාධ්‍යවේදීහු විශාල පිරිසක් දෙහිවල සතුන් වත්ත වෙත පැමිණ සිටියහ. සතුන් වත්ත නැරැඹීමට පැමිණි විශාල පිරිසක්ද නයි නළඟන නාගයා ලබා ගන්නා අයුරු දැක බලා ගැනීමට පොදිකමින් සිටියහ.

කූඩුවක දමා සිටි නාගයා හොඳින් පරීක්‍ෂා කර බැලූ නළඟන එම නාගයා තමා සන්තකයේ සිටි නාගයා බවට හඳුනා ගත්තාය එය ස්ථිර කරමින් නාගයා තමන් විසින් ලබාගනු ලැබූ බවට නළඟන විසින් ලිපියකටද අස්සන් තබනු ලැබීය. නළගන නාගයා සිටි කූඩුවට අත දැමූ සැණින් සිය ආත්මීය බැඳියාව කියාපාමින් නාගයා නළඟන වෙත ඇදී ආවේය. 


එය ඉතාමත් සංවේදී අවස්ථාවක් විය. එය රූගත කිරීමට මාධ්‍යයට ඉඩ නොලැබුණු අතර, ඉන් අනතුරුව ප්‍රේමසිරි පීරිස් මහතාගේ උපදෙස් පරිදි නාගයා නයින් දමන පෙට්ටියක බහා නළඟන විසින් උරග උයන අසලින් ඉවතට ගනු ලැබීය. නළඟන ඉන් අනතුරුව නාගයා සතුන් වත්තෙන් පිටතට රැගෙන ආ අතර එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.

"මම නාගයා ලබාගන්න මාස තුනකට අධික කාලයක් කොල්ලුපිටිය පොලිසිය එක්ක සටන් කරලා ජය ගත්තා. මම රැයක් දවාලක් නැතුව, නින්දක් නැතුව සටන් කළේ නාගයාගේ ජීවිතය තුළ විශේෂත්වයක් තිබෙන නිසා. එම නාගයා මට විශේෂයි. නයෙක් තියාගත්ත කියලා මට මෙච්චර දඬුවම් දෙන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ වගේම ලෝකයේ නයි ඇති කරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.

පොලිසියට අවශ්‍ය වෙලා තියෙන්නේ මාගේ කළමනාකරු එක්ක තිබෙන තරහ මිසක් මා සමඟ තරහක් නොවේ. පොලිසිය තමයි මේ සේරම කළේ. මා නාගයා දැක්ක ගමන් මගේ මූණ දිහා බැලුවා. මම මගේ නාගයාව හඳුනාගත්තා" නළඟන පැවැසුවාය.

සතුන් වත්තෙන් නයා ගත්තට පස්සේ පළමු දවස ගතවුණේ කොහොමද?
මම නයි නළඟනේ විමසීමි.

"ඉස්සර වගේ ගොඩක් ආදරෙන් හිටියා. නයි පැටියා මාව නැතිව ගොඩක් පාළුවෙන් ඉඳලා තියෙන්නේ. නයි පැටියා කැමැති මගෙ ළඟටම වෙලා ඉන්න. ගොඩක් දවස් මාත් එක්ක ඉන්න බැරිවුණ නිසා වෙන්නැති. දැන් ඉතින් නයි පැටියාට මම ඉන්නවානේ. මටත් නයි පැටියා ඉන්නවනේ" පැවැසූ නයි නළඟන නයි පැටියා උණුසුම් ආකාරයෙන් සිපගත්තාය.
 
Related Posts with Thumbnails