Ads 468x60px

.

දෝරෙ ගලන මර්වින්ගේ සත්ව කරුණාව...!

අප හිතවත් ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයා ප්‍රවෘත්ති මවන්නකු බව කවුරුත් දන්නා දෙයකි. කලකට උඩදී මුන්නේශ්වරම් කෝවිලට ගොස් බිලිදීමට ගෙනැවිත් තිබුණු ගවයන් මරණයෙන් නිදහස් කර ගත් ඔහු එහි කපුවන්ගේ දොෂදර්ශනයට ලක්විය. එහෙත් ගවයෝ ජීවිතදානය ලැබූහ.

මෙවර ඔහු අලුත් ගේමකට සැරැසෙන බව පෙනේ. ලබන ජනවාරි පළමු වැනිදා සිට කැලණිය ආසනය තුළ කුකුළන් සහ එළුවන් මැරීම නතර කිරීමට මර්වින් සිල්වා සැරැසෙන බවට පුවත්පත්වල පළවූ ආරංචි දුටුවේ නම් ඒ සතුන්
ප්‍රීතියෙන් උඩ පනිනු සිකුරුයි.

මර්වින් සිල්වා ඇමැතිවරයා කියන දේ කරන, කරන දේ කියන කෙනකු බව මුළු රටම දනී. ඔහු කැලණිය මන්ත්‍රිවරයා වශයෙන් පත්වූ පසුවයින් ස්ටෝර්ස් හෙවත් තැබෑරුම්වලට නීති දැම්මේය. ඔහුගේ ගෝල බාලයන් ඒවායෙන් කප්පම්ගත් එක වෙනම ප්‍රශ්නයකි. 




දැන් කැලණිය පැත්තේ බේතකටවත් අරක්කු ටිකක් සොයා ගන්නට බැරිය. අය-වැය පියවා ගැනීමටද අරක්කු වෙළෙදාම බලපාන නිසා මර්වින් සිල්වා මෙන් සියලුම ආණ්ඩුවේ මැති ඇමැතිවරු තම ප්‍රදේශයේ අරක්කු විකිණීම නතර කළහොත් අය-වැයද හබක්ය.

මර්වින් සිල්වා ඇමැතිවරයා දැන් හරකුන්ගේ, කුකුළන්ගේ, එළුවන්ගේ මස් අනුභව නොකරන අරක්කු තබා කසිප්පු ටිකක්වත් තොල නොගාන සත්පුරුෂයකු වුවද විජය කුමාරතුංගට චන්ද්‍රිකා මැඩම් සෙට්කළ මඟුල් කපුකම් කරන කාලයේ නම් ඔය දෙකම කළේය.


ඒ කාලයේ දිනක මා සහ යහළුවන් පිරිසක් ඔහු හමුවීමට තිස්සමහාරාමට ගියෙමු. අප සුහදව පිළිගත් ඔහු අපට කුකුළු මස් සහිත ප්‍රණීත ආහාරපාන පිළිගැන්වීය. එයට අරක්කු ද ඇතුළත් වූ බව මට මතකය.

එවැනි සංග්‍රහශීලී පුද්ගලයකු දැන් අමද්‍යප වීරයෙක් වෙජිටේරියන් හෙවත් එළවළු පමණක් බුදින්නකු බවට පත්වීම නම් පුදුම සහගතය. මර්වින් සිල්වා ඇමැතිවරයා තුළ ගවයන්, එළුවන්, කුකුළන් පිළිබඳ ඇති වූ සත්ත්ව කරුණාව පිළිබඳ කැලණියේ සිටින උෟරන් දැනගතහොත් උන්ට ලොකු දුකක් හට ගන්නට ඉඩ තිබේ. 


ලංකාවේ වැඩිපුරම උෟරන් සිටින්නේ කැලණියේය. අනෙක් සතුන් මැරීම තහනම් හෙයින් කැලණියේ සිටින මස් බුදින්නන් මින්පසු උෟරන්ට වැඩදෙන එක ෂුවර්ය.

මේ බව දන්නා උෟරන් මර්වින් සිල්වා හමුවී "අනේ අංකල් අපි ගැනත් සලකල පියවරක් ගන්නකෝ" කියා බැගෑපත් ඉල්ලීමක් කළොත් ඔහුගේ හදවත වෙඬරු පිඬක් මෙන් උණු වෙන්නට බැරි නැත. එවිට කැලණියේ මස් බුදින්නන්ට දෙවියන්ගේ පිහිට හැර අන් පිහිටක් නැත.


මෙවර අය-වැයෙන් අඩුකළ රේසින් කාරෙකක් සිය පුත්‍ර රත්නයට ලබාදීමට මේ දිනවල කටයුතු කරගෙන යන මර්වින් සිල්වා ඇමැතිවරයා ඊයේ පෙරේදා නීති විරෝධී වැඩක් කර ඇතැයි විරුද්ධවාදීන් කරන චෝදනා අප ගණන් ගත යුතු නැත.

මේ ළඟදී කැලණියේ පැවැති මොකක්දෝ තරගයකදී ඔහු හෙල්මට් එකක් නැතුව මෝටර් බයිසිකලයක් පදවලාලු. ඕක මොන බම්බුවක්ද? ඇමැති කෙනෙක් වූ විට හෙලුවෙන් යන්න වුණත් පුළුවන. මයිකාර් මයි පෙට්රෝල් නේද ඇමැතිතුමා.


මර්වින් සිල්වා කැලණියට එන්නට පෙර අති විශාල කුකුළු පට්ටි සංඛ්‍යාවක් කැලණියේ තිබුණේය. කැලණියේ කොහල්විල විසූ පියදාසටද කුකුළු ගොවිපොළක් තිබුණේය. ඔහුගේ බිරිය සුමනා හැඩකාරියකි. ඒ පළාතේ තරුණයන්ගේ ඇල්ම බැල්ම සුමනා දෙසට යොමු වුණත් පියදාස චණ්ඩියෙක් නිසා ඔවුහු කරබාගෙන සිටියහ.

දිනක් රෑ කුකුළු ගොවිපළ දෙසින් ශබ්දයක් ඇසී පියදාස සුමනාට කතා කළේය. "සුමනා කුකුළු පට්ටිය පැත්තෙන් ශබ්දයක් ඇහුණා. ගිහින් බලමුද?" දෙදෙනාම ගොස් බැලුවත් සොරකු තබා සුනඛයකුද නැත. දින කිහිපයක්ම මහ රෑ මේ ශබ්දය ඇසුණත් පියදාස ඒ ගැන සොයා බැලුවේ නැත. "මං හිතන්නේ උගුඩුවෝ එන්න ඇති. කුකුල්ලු කෑ ගහන්නේ ඒකයි" සුමනා පියදාසට කීවාය.

තව දිනක් මහ රෑ කුකුලන්ගේ මර ළතෝනියක් ඇසී පියදාස ඇහැරුණේය."සුමනෝ සුමනෝ" කියා කෑ ගැසූ පියදාස සිය බිරිය සෙවීය. ඇය නැත. උදේ විපරම් කර බලද්දී අල්ලපු ගෙදර බර්ටියා සමඟ සුමනා පැන ගොස්ය. සත්ත්ව කරුණාවෙන් පිරුණු මර්වින් සිල්වා ඇමැතිවරයාට එවැනි විපතක් නොවේවා!
 
Related Posts with Thumbnails