Ads 468x60px

.

ජෝර්දානයේදී වධ හිංසාවලට ලක්වූ පොල්පිතිගම රේණුකාට සිහිය එනවිට ලේ විලක් මැද.

සිහිය ඇවිත් බලන කොට අතේ ඇඟිල්ලේ පුරුක් නෑ...

ජෝර්දානයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී වධ හිංසාවලට ලක්වූ බව කියන කාන්තාවක, අතක ඇඟිලිවල කැපුම් තුවාල සහිතව ඉකුත් (26දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඇගේ ඥාතීන් විසින් ජෝර්දානයේ සිට ලංකාවට ආපසු ගෙන්වා ගැනීමෙන් අනතුරුව මෙලෙස රෝහල් ගතකරනු ලැබුවේ පොල්පිතිගම, සාලියගම ප්‍රදේශයේ පදිංචි රේණුකා දමයන්ති හේරත් නමැති 32 හැවිරිදි තිදරු මවකි.


ස්ථීර නිවෙසක් සාදාගැනීමේ අරමුණින් යුතුව 2012 වසරේ ජූලි මස හත් වැනිදා කුරුණෑගල පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ජෝර්දාන් රාජ්‍යයේ සේවය කිරීමට පිටත්වී ගිය බවත් සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් පවුලක් වෙසෙන තට්ටු නිවාසයක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට තමාට සිදුවූ බවත් ඇය කියන්නීය. 

මුල් මාස දෙක කිසිදු ගැටලුවකින් තොරව සේවයේ යෙදුණු නමුත් පසුව සෑදුණු බඩේ අමාරුවක් හේතුවෙන්, නිවැසියන් විසින් රෝහලක් වෙත රැගෙන ගිය බවත් එහිදී යම් එන්නතක්
විදිනු ලැබූ බවද ඇය පවසන්නීය. මෙම එන්නත විදිනු ලැබීමෙන් පසුව තමන් තාවකාලිකව සුවය ලැබූ නමුත් ඉන්පසුව නිතර නිතර ක්ලාන්තය සෑදී වැටෙන්නට පටන් ගත් බව ද ඕ කියන්නීය.

පසුගිය නොවැම්බර් 06 වැනිදා තමන් මුළුතැන්ගෙයි තිබූ රාක්කයක උණුවතුර බෝතලයක් තැන්පත් කිරීමට යද්දී ක්ලාන්තය සෑදී ඇදවැටෙනවා පමණක් මතක බවත්, යළි සිහිය එන විට තමා ලේ විලක් මැද වැටී සිටින ආකාරය දුටු බවත් තමාගේ වම් අතෙහි ඇඟිල්ලක් පුරුකක් අසලින් කැපී ඇති ආකාරයක් දැක තමන් බියපත් වූ බවද ඇය පැවැසුවා.

මේ සිදුවීමෙන් පසුව නිවැසියන්ගෙන් දැඩි ලෙස තාඩන පීඩන එල්ලවීම හේතුවෙන් තමා එම නිවෙසින් පැන ගොස් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ඇති රැදවුම් මධ්‍යස්ථානයක රැඳී සිටිමින් තමා එරටට එවූ විදේශ රැකියා ඒජන්සිය අමතා තමා ආපසු ගෙන්වා ගන්නැයි ඉල්ලා සිටියද ඔවුන් එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවද කියන්නීය. 


රැඳවුම් මධ්‍යස්ථානයේදී තම ඇඟිලිවල තුවාලවලට කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණු බවත් තුවාල පැසවා ඉන් සැරව ගලනවා දුටු රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අනෙක් ශ්‍රී ලාංකේය ගෘහ සේවිකාවන් විසින් එකතු කර දුන් මුදලින් ලංකාවට පැමිණීමට හැකි වූ බවත් කීවාය.

රේණුකා දමයන්තිගේ සැමියා වන ගාමිණී ගුණසේකර මහතා ප්‍රකාශ කළේ තම බිරිය පත් වී ඇති රෝගී තත්ත්වයන් ගැන ඇය විසින් තමාට කළ දැනුම්දීම්වලට අනුව ඇය රට යැවූ විදේශ රැකියා ඒජන්සියට ඒ පිළිබඳ අවස්ථා ගණනාවදී පැවැසූ බවයි. 


ඒ සඳහා යන වියදමක් වේ නම් ඉඩමක් හෝ විකුණා ලබා දෙන්නට පොරොන්දු වී තම බිරිය ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියද ඔවුන් ඒ පිළිබඳ උනන්දු නොවූ බවයි.

එබැවින් තමන් මේ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල කාර්යාලයටද පැමිණිලි කළ බවත් එම කාර්යාලය විසින් අදාළ ඒජන්සිය කැඳවා පරීක්ෂණයක් පැවැත්වූ බවද හෙතෙම පැවැසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල කාර්යාලය විසින් තම බිරිය ගැන පැමිණිලි කිරීමේදී එම කාර්යාලයෙන් පසුගිය දෙසැම්බර් 10 වැනිදා ඇය දිවයිනට පැමිණ ඇතැයි දිගින් දිගටම පැවැසූ නමුත් තම බිරිය ඒ වන විටත් ජෝර්දානයේ රැඳී සිටි බවද ඔහු පවසයි. 

ඉකුත් 25 වැනිදා ඇය ජෝර්දානයේ සිට දිවයිනට පැමිණෙන බවවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් වී නොසිටියේ යැයි ඔහු චෝදනා කරයි.

රෝහල් ගතකරනු ලැබූ රේණුකා දමයන්ති, පෙරේදා සැත්කමකට භාජන කිරීමෙන් පසුව තවදුරටත් කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන්නීය. තුවාල වූ ඇඟිලිවලට අමතරව ඇයගේ දෑත්වල තවත් තුවාල කැලැල් රාශියක්ද දැකගත හැකි විය.



 
Related Posts with Thumbnails