Ads 468x60px

.

මම කාටවත් කඩේ යන්නේ නැහැ - සනත් ජයසූරිය

අපි ආවේ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි...

නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියයි...

ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ වසර විස්‌සක අත්දැකීම් සමග ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි ලෙස පදම්වී සිටින තමා නව රාජකාරිය අකුරට ඉටුකිරීමට සූදානම් බව නව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වූ හිටපු ක්‍රිකට්‌ නායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසනවා. 


ඔහු මෙම අදහස්‌ පළ කර සිටියේ ඊයේ 30 දා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.  

එම විස්තරය පහතින්

"අපි මෙතනට ඇවිල්ල තියෙන්නෙ මහේලව හෝ සංගක්‌කාරව ඉවත් කරන්න නෙමෙයි. අපි ක්‍රීඩකයන්ගෙ නම් තුන හතරක්‌ ඉලක්‌ක කරගෙන තේරීම් කරන්නෙ නැහැ. අපිට ලොකු වගකීමක්‌ තියෙනවා ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රිකට්‌ ගමන සඳහා. එහිදී අපි ඉක්‌මනින් හොඳ නායකයකු පත්කළ යුතුයි. ඒ සඳහා තවම අපි සාකච්ඡා කළේ නැහැ. 


එහිදී සුදුසුම කෙනා කවුරුන්ද කියල තව දින කිහිපයකින් තීරණය කරනවා. අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අංක එකට තියල සියලු තීරණ ගන්නවා. අපිට මේ හැම දෙයක්‌ම ලැබිල තියෙන්නෙ
ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරපු හින්ද. ඒ හින්ද ඉදිරිය වෙනුවෙන් දේශපාලනයෙන් තොරව ලංකාවේ ක්‍රිකට්‌ වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න මම සූදානම්" යනුවෙන් ජයසූරිය පැවසුවා.

ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට්‌ පිටියේ හොඳට පදම්වී ඇති ක්‍රීඩකයන් තමාගේ තේරීම් කමිටුවට නම් කිරීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයාට ස්‌තූතිය පුදකළ ජයසූරිය නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ පිළිබඳවද මෙහිදී අනාවරණය කළේය.

"අපිට ඕනතරම් දක්‍ෂ ක්‍රීඩකයන් මගහැරෙන්න අවස්‌ථාව තියෙනවා. ඉදිරියේදී එහෙම නොවෙන්න මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමගත් සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ තිබෙන සෑම ක්‍රීඩා සමාජයකටම මම ලියුම් යවනවා ඒ කණ්‌ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයන් හය දෙනකු නම් කරල අපිට දෙන්න කියලා. 


ඊට පස්‌සෙ ඒගොල්ලන්ව අපි වෙනම කොළඹට ගෙනල්ලා පුහුණු සැසි පවත්වල ඒ අයව අපිම නිරීක්‍ෂණය කරනවා. පස්‌සෙ ඒ ගොල්ලො තරගවලදී කරන දක්‍ෂතා අනුව අපිට ඒ අයව හඳුනා ගන්න පහසුයි. පාසල් වලටත් මෙම තීරණයම ක්‍රියාත්මක කරනවා. එයින් දක්‍ෂ ක්‍රීඩකයන් මගහැරීම ගොඩක්‌ දුරට අඩුවෙනවා" යනුවෙන් ජයසූරිය පැවසුවා.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් ජාත්‍යන්තර විස්‌තර විචාරකයකු ලෙස තවදුරටත් සේවය නොකරන බවත්, ක්‍රිකට්‌ ක්‍රීඩා නොකරන බවත් පැවසූ ජයසූරිය තමා තේරීම් කමිටුවේ පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස ප්‍රමෝද්‍ය සහ හෂාන් තිලකරත්නව පත්කර ඇති බවද
පැවසුවා.

මුලදී තේරීම් කමිටුවට ඇතුළත් වූ හේමන්ත වික්‍රමරත්න රාජකාරි බහුල වීම පදනම්ව සිය කමිටුවෙන් ඉල්ලා අස්‌වීම හේතුවෙන් හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක හෂාන් තිලකරත්න අදාළ තනතුරට පත්කර තිබේ. ඒ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ හෂාන් තිලකරත්න මහතා, 


"මම ගැන විශ්වාස තියල මේ කටයුත්ත මට භාරදීම ගැන මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට විශේෂයෙන් ස්‌තූති වන්ත වෙනවා. මොකද අපි දේශපාලනයේදී කුමන මතයක හිටියත් රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී එකට සිටිය යුතුයි. මම දන්න දෙයින් දෙයක්‌ කරන්න මෙවැනි අවස්‌ථාවක්‌ හිමිවීම පිළිබඳව ඉතාමත් සතුටු වනවා" යනුවෙන් තිලකරත්න මහතා පැවසුවා.

සනත් ජයසුරියගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හෂාන් තිලකරත්න, ප්‍රමෝදය වික්‍රමසිංහ, එරික්‌ උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස්‌ කටයුතු කරනු ලබයි.
 
Related Posts with Thumbnails