Ads 468x60px

.

මාධ්‍යය කෙනෙකුගේ රහසිගත දේවල් ජනප්‍රිය කරලා කාලකණ්‌ණි සතුටක්‌ ලබනවා - මීනා කියයි

කේට්‌ කුමරියගේ අඩ නිරුවත් පිංතූර අරගෙන තිබුණේ පැපරාසි වගේ කෙනෙක්...

කුණු හොයන්න පුරුදු කරවීමෙන් මේ සමාජය කුණු වෙනවා...

මේ සමාජයට යහපතක්‌ එයින් සිදුවෙන්නේ නැහැ...

මේ දිනවල "සඳා" ගැන බොහෝ දෙනෙකු කතා කරන නිසාත්, සඳාට පණ පොවන මීනා කුමාරි පිළිබඳව සමාජයේ කසු කුසු පවතින නිසාත් ඇය හමුවන්නට මේ හොඳම කාලය යෑයි අපි සිතුවෙමු. මේ ඇය සමග කළ කතාබහක සංවාද සටහනයි.

මේ දවස්‌වල කාර්ය බහුල ද?

ඔව්. ටිකක්‌ විතර. 

ඒ ඇයි...?

සඳා නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. ස්‌වාධීන රූපවාහිනියේ මේ දිනවල ඒ නාට්‍ය විකාශය වෙනවා.

කොහොමද ප්‍රතිචාර...?

ඉතාම ඉහළයි. රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලැබෙන කාලයක්‌ මේක. සමහරු මට සඳා කියලත් කතා කරනවා. 

තවත් චරිත කිහිපයකම පේන්න ඉන්නවා නේද?

සිරසේ "ඡායා" නාට්‍යයේ ඡායාගේ මව, හිරු නාලිකාවේ "හිරු තනිවෙලා" නාට්‍යයේ හිරුගේ නැන්දා යන චරිතවලට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

අලුත් රූගත කිරීම් කොහොමද?

තියෙනවා. ස්‌වර්ණවාහිනියේ "තරුමලී" නාට්‍යයේ මවක්‌ ලෙස රඟපානවා. ඒකේ රූගත කිරීම් මේ දිනවල කෙරෙනවා.

මොකක්‌ද ඒ චරිතය?

ඒ චරිතය ටිකක්‌ වෙනස්‌. බංගලාවක ආධිපත්‍ය පතුරවාගෙන ඉන්න මවක්‌ හැටියටයි රඟපාන්නේ. ටිකක්‌ රළු චරිතයක්‌. මෙතෙක්‌ ලැබුණු චරිතවලට වඩා වෙනසක්‌ තියෙනවා. ඒ චරිතය අධ්‍යයනය කරමින් මම රඟපානවා.

චිත්‍රපටවල දකින්න නැත්තේ ඇයි...?

පී. වී. ඩී. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "යාළු" ළමා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා දෙකෙහි මව ලෙස රඟපෑවා. ඒ චිත්‍රපටයේ සංස්‌කරණ කටයුතු මේ දිනවල කෙරෙනවා.

මව ලෙස දිගින් දිගටම රඟපෑම ඒකාකාරි නැද්ද?

මේ සමාජයේ විවිධ මවුවරු ඉන්නවා. ඒ විවිධ මවුවරුන් පිළිබඳ සොයා යැමෙන් අපි ජීවිත අත්දැකීම් ලබනවා. පොදුවේ මව ලෙස හැඳින්වුවත් මට ලැබුණු මවු චරිතවල විවිධත්වයක්‌ තිබුණා.

රළු චරිත රඟපෑමේදී නපුරු කෙනෙක්‌ බවට පත්වීමට සිදුවීම අනවශ්‍ය මානසික වියවුලක්‌ නොවෙයිද?

කෝපයට පත්වීමෙන් ලේ කුපිත වෙනවා තමයි. ඒක තරමක පීඩාකාරී තමයි. නමුත් ඒක ආරූඪ කරගත් රඟපෑමක්‌ විතරයි. එය ජීවිතයට බද්ධ කරගන්න නරකයි. කැමරාව ඉදිරියේ නපුරු බව ආරූඪ කරගත්තාට එයින් මිදුණු සැණින් මම, මම බවට පත්විය යුතුයි. ඒකට හොඳ පුහුණුවක්‌ තිබිය යුතුයි. චරිතයේ ඇතුළාන්තයට යන්න නරකයි. 

චරිත ගෙදර අරගෙන ගිහින් තියෙනවාද?

අපෝ නැහැ. රඟපෑම භාවනාවක්‌. භාවනාව ප්‍රගුණ කරන කෙනෙකුට ඕනෑම තැනක ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ශරීරයයි, සිතයි එක අරමුණකට අරගෙන භාවනා කරන කෙනෙක්‌ තමන්ට අවශ්‍ය වෙලාවෙදි ඒ සියල්ල මුදාහැර සමාජයට විවෘත වෙනවා. 

සමහරුන්ට රඟපෑම මුදල් ඉපයීමේ පහසු හා ක්‍ෂණික මගක්‌ විතරයි නේද?

මුදල් ඉපයීම ම නෙවෙයි මෙතන වෙන්න ඕනේ. අපි ජීවිතය ඉගෙන ගන්නවා නම් විවිධ චරිත අධ්‍යයනය හරහා අපට ඉතිරි වන්නේ එපමණයි. මුදල්වලට වඩා ජීවිතයට එකතු කර ගන්නා දේ තමයි වැදගත් වන්නේ. රඟපෑමෙන් ලබන සතුට, සැනසීම ගොඩාක්‌ වටිනවා.

සල්ලි හොයන්න රඟපාන්න එන අයටත් සතුට සැනසීම ලැබෙනවා නේද?

ඒක තාවකාලිකයි. උඩින් පාත්වෙලා නැතිවෙලා යනවා. ආපහු ජීවිතය දිහා හැරිලා බැලුවා ම තමන් කළ දෙයක්‌ නැති වෙනවා. ඒකාකාරී බවෙන් ලබන ජීවිත තෘප්තිය තැනින් තැනට පැන පැන වෙනස්‌ වෙවී යන අයට ලැබෙන්නේ නැහැ අපි යනකොට ගෙනියන්නෙ මිල මුදල් නෙවෙයි. හදවතේ ඉතිරි වන සතුට විතරයි. 

ඒ සතුට පවත්වාගෙන යන තරමට කෙනකුට මුදල් තිබුණාම ඇති. තමන් කරන වැඩේ හරියට, අවංකව කරලා මහන්සියෙන් හොයන මුදලින් විතරයි ජීවිත තෘප්තිය ලැබෙන්නේ. නපුරු අරමුණු හිතේ තියාගෙන, තව කෙනකුට රිදවලා, අනුන්ගේ දේවල් අරගෙන අසාධාරණ විදිහට මුදල් පසුපස හඹා ගියොත් මුදල් සමග දුක වේදනාව පීඩනය නින්දා අපහාස සියල්ලත් ලැබෙනවා.

අද බොහෝ අයගේ රඟපෑම් හරිම අවිශ්වාසනීයයි. කලබලකාරීයි ඒ ඇයි...?

ප්‍රධානම දේ තමයි නිසි පුහුණුවක්‌ නැතිකම. ඉන්ද්‍රිය සංවරයත් අත්‍යවශයයි. සංවරකමක්‌ නැත්නම් චරිතයකට ප්‍රවිශ්ට වෙන්න බැහැ. අපට කෙනෙක්‌ව මරණ චරිතයක්‌ රඟපාන්න ලැබුණොත් ඒ කෙනාව ඇත්තටම මරන්න බැහැ. නමුත් ඇත්තටම මරණ බව ප්‍රේක්‍ෂකයන්ට තහවුරු කළ යුතුයි. සංවරකමකින් තොරව රඟපෑම කරන්න බැහැ. ප්‍රේක්‍ෂකයන්ට බොරු කරන්න බැහැ.

රංගන ශිල්පීන් සංවරයිද?

මම කියන්නේ රඟපෑමේදී සංවර විය යුතුයි. එසේ නොවුණොත් අපි කරන්නේ බොරුවක්‌ බව ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා. සැබෑ රඟපෑමක්‌ වන්නේ බොරුවක්‌ බව නොදැනීමයි.

රඟපාන්නේ නැති වෙලාවට රංගන ශිල්පීන් අසංවරයිද?

මේ සමාජයේ මිනිස්‌සු විවිධයි. රඟපෑම කියන්නේ ක්‍ෂේත්‍රයක්‌ විතරයි. ක්‍ෂේත්‍ර ගණනාවක්‌ රටේ තියෙනවා. විවිධ හැඟීම්, විවිධ හැසිරීම් තියෙන විවිධ අය මේ සමාජයේ ඉන්නවා. මාධ්‍ය ක්‍ෂේත්‍රය ගත්තත් එහෙමයි. විවිධ අය ඉන්නවා.

ඔබ කතා කරන්නේ මාධ්‍ය පිළිබඳ කළකිරීමකින්ද?

කොහෙත්ම නැහැ. මෙච්චර කාලෙකට මාධ්‍ය මගින් මට වචනයකින්වත් හානියක්‌ වුණේ නැහැ. ඒ කාලේ අපට කතා කළ මාධ්‍යවේදීන් බොහොම පරිණත අයයි. ඔවුන් මේ සමාජය යහපත් මගකට ගෙන යැමේ මාධ්‍ය මෙහෙවර හරියාකාරව ඉටු කළා.

ඔබ කියන්නේ මේ කාලයේ මාධ්‍ය මගින් සිදු කෙරෙන හඹා යැම් අහිතකරයි කියාද?

මෙහෙමයි. එක එක අයගේ විශේෂයෙන්ම ජනප්‍රිය අය පසුපස බලෙන් හඹාගෙන පැපරාසි වගේ දුවන මානසික තත්ත්වයන් තියෙන අය ඉන්නවා තමයි. එවැනි කෙනෙක්‌ තමයි බකිංහැම් මාළිගාවට පැනලා කේට්‌ කුමරියගේ අඩ නිරුවත් පිංතූර අරගෙන තිබුණේ. 

කෙනෙකුගේ ඇතුළාන්තය රහසිගතව හොයාගෙන සැඟවිය යුතු දේවල් ජනප්‍රිය කරවීමෙන් ඒ කෙනාට කාලකණ්‌ණි සතුටක්‌ ලැබෙනවා මිස සමාජයට යහපතක්‌ එයින් සිදුවෙන්නේ නැහැ. කුණු හොයන්න පුරුදු කරවීමෙන් සමාජයත් කුණු වෙනවා. 

සමාජයේ ගුණධර්ම වර්ධනය වෙන්නේ නැහැ. වැනසෙන සමාජයත් එක්‌ක එකතුවෙලා මාධ්‍යයත් වැනසෙනවා නම් මේ සමාජය ගොඩගන්න තව කෙනෙක්‌ නැහැ.



 
Related Posts with Thumbnails