Ads 468x60px

.

එගොඩඋයන හිමි ඝාතනයේ මොරටු උපනගරාධිපති සුජීව ඉන්නවා - ලියන්ගහවෙල හිමියෝ

ලොකු හාමුදුරුවන් දුවන කොට පය පැටලී වැටුණා...

වැටුණ හාමුදුරුවන්ට මැරයෝ වටකරගෙන ගැහුවා...

- සිද්ධිය ඇසින් දුටු ලියන්ගහවෙල හිමියෝ කියති

ඝාතනයට සම්බන්ධ දෙදෙනාගේ වෙඩි තැබූ සිරුරුත් වෙල්යායක තිබී හමුවෙයි...


මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ බණ්‌ඩාරගමදී ඊයේ (04 වැනිදා) අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

 "ලොකු හාමුදුරුවන්ගේ සිවුරෙන් ඇදලා එළියට අරගෙන කඩු පහරක්‌ ගැහුවත් ඒක වැදුනේ නැහැ. පසුව උන්වහන්සේ දුවද්දී කකුල පැටලිලා වැටුණා. වැටුණ හාමුදුරුවන්ට මැරයෝ ගැහුවා' යෑයි මොරටුව එගොඩඋයන ශ්‍රී සුනන්දොපනන්දාරාම විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය ගැන මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්‌ කළ එම විහාරයේම වැඩවසනා පූජ්‍ය ලියන්ගහවෙල ඥණරතන හිමියෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ලියන්ගහවෙල Cදාණරතන හිමියන්, "විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක්‌. පෙරේදා (03 දා) හවස පඤaCදාරතන පොඩි හාමුදුරුවෝ මල් පැළවලට වතුර දමමින් ඉන්නකොට මේ මැරයන් ඇවිත් පොඩි හාමුදුරුවන්ට බැනල පහර දීල තියෙනව. 

මේ පහර දීම ලොකු හාමුදුරුවෝ දැක උන්වහන්සේ පොලිසියට ගියා පැමිණිල්ලක්‌ කරන්න. ඒ ගිහින් පැමිණිල්ල කරල ආපසු එනවිට පන්සල් වත්තේ සැඟවිලා හිටිය මැරයන් පැමිණ මුලින්ම කාර් එකේ වීදුරු වලට යකඩ පොලුවලින් ගැහුව. ඊට පස්‌සේ රියෑදුරුව එළියට ඇදල අරගෙන පහර දීල පැන්නුවා. 

ඊට පස්‌සේ ලොකු හාමුදුරුවන්ගේ සිවුරෙන් ඇදල එළියට අරගෙන කඩු පහරක්‌ හිසට එල්ල කළත් එය වැදුනේ නැහැ. ඒ එක්‌කම උන්වහන්සේ දිව්ව. දුවනකොට කකුල් පැටලිලා
වැටුණා. ඊට පස්‌සේ මැරයෝ ලොකු හාමුදුරුවෝ වට කරගෙන ගැහුවා. මේ සිද්ධිය ආරංචිවෙලා අවට ජනතාව ආවත් මැරයෝ ඇසිඩ් බෝතල්, යකඩ පොලු, බෝම්බ පෙන්නල කිව්වා එකෙක්‌වත් එන්න එපා. 

ආවොත් මෙයාට වෙච්ච දේ තමයි ඒ අයටත් වෙන්නෙ. අද අපි හාමුදුරුවන්ගේ උපත කොහොම වුණත් විපත මෙතනදීම කළා කියල 12 දෙනකු විතර පන්සලෙන් පිටව ගියා. යන්න කලින් ඔවුන් ගෙනාපු අවි ආයුධ ලොකු හාමුදුරුවන්ගේ සිවුරු ගලවල අරගෙන සිවුරේ ඔතාගෙනයි ගියේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් මම එක දෙයක්‌ නිර්භවයම ප්‍රකාශ කරනවා. මේ ඝාතනය පිටුපස මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජීව පුෂ්පකුමාර ඉන්නවා. මම ඉල්ලීමක්‌ කරනව නීතිය රකින පොලිසියේ මහත්වරුන්ගෙන් වහාම ඔහුව අත්අඩංගුවට ගන්න.

සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මොරටුව ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක්‌ උද්ගත වූ අතර එය පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

කෝපයට පත් වූ පිරිස්‌ විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන්ට අයත් නිවාස පහකට පහර දී විනාශ කර තිබිණි. විහාරස්‌ථානයට අයත් ඉඩමක්‌ සම්බන්ධයෙන් කාලයක්‌ තිස්‌සේ පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සුජිත් ගුණරත්න (35) සහ චන්දිම නුවන්රත්න (30) යන දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගොස්‌ ඇත්තේ බණ්‌ඩාරගම ප්‍රදේශයේදීය. ඔවුන් දෙදෙනාගේ සිරුරු පොලිසිය මගින් ඊයේ (04 දා) උදෑසන බණ්‌ඩාරගම දැල්කඩ පාලම අසල වෙල්යායක තිබී සොයාගන්නා ලදී.

එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්‌ථානය පිහිටි ඉඩමේ පවුල් අටක්‌ අනවසරයෙන් පදිංචිව සිටින අතර ඔවුන් ඉවත් කිරීමට විමලවංශ හිමියෝ වසර ගණනක සිට දැඩි උත්සාහයක නිරතව සිටියහ.

ඉතා දීර්ඝ කාලයක සිට මෙම පවුල්වල සාමාජිකයෝ විහාරයට අයත් ඉඩමේ පදිංචිව සිටින අතර ඔවුන් එම ඉඩම අතහැර යැම තදින්ම ප්‍රතික්‍ෂේප කර සිටිති.

මෙම ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් අවස්‌ථා කීපයකදීම මොරටුව පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ද (බණ්‌ඩාරගමදී මරුමුවට පත් වූ) විහාර භූමියට අයත් ඉඩමේ දීර්ඝ කාලයක සිට පදිංචිව සිටින පුද්ගලයන්ය.

මොවුන් අවස්‌ථා කීපයකදීම විමලවංශ හිමියන් මුණගැසී තමන්ට පදිංචිවීමට විහාර භූමියේ ඉඩමෙන් පර්චස්‌ කීපයක්‌ ලබාදෙන මෙන් ඉල්ලා සිටියද උන්වහන්සේ ඊට තදින්ම විරුද්ධ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ඉඩම් ආරවුල් නිසා විමලවංශ හිමියන් සහ විහාර භූමියේ පදිංචිකරුවන් අතර නිතර නිතර ගැටුම් ඇති විය.

පෙරේදා (03 වැනිදා) සවස 6.30 ට පමණ සුනන්දොපනන්ද විහාරයට කඩාවැදුණු සුජිත් ගුණරත්න, චන්දිම නුවන්රත්න ඇතුළු පහළොස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ පිරිසක්‌ ඒ අවස්‌ථාවේ විහාරස්‌ථානයේ වැඩ සිටි හිමිනමකට තර්ජනය කර පලාගොස්‌ තිබිණි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ විමලවංශ හිමියන් විහාරස්‌ථානයේ නොසිටි අතර එම හිමියන් විහාරයට වැඩම කර ඇත්තේ රාත්‍රි කාලයේදීය.

විමලවංශ හිමියන් විහාරයට පැමිණි අවස්‌ථාවේ නැවතත් එහි කඩාවැදුණු මැර පිරිස එම හිමියන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කරන බව කියමින් තර්ජනය කර විහාරස්‌ථානය ද විනාශ කරන බව පවසා පලාගොස්‌ තිබිණි.

මෙම සිද්ධියෙන් පසු විමලවංශ හිමියෝ රාත්‍රි 8.00 ට පමණ මොරටුව පොලිසිය වෙත ගොස්‌ තමන්ට මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව පැමිණිල්ලක්‌ කළහ.

විමලවංශ හිමියන් එම පැමිණිල්ල කර රාත්‍රි 9.30 ට පමණ විහාරස්‌ථානයට පැමිණි අවස්‌ථාවේ එහි කඩාවැදුණු මැර පිරිස විහාර භූමියේදීම විමලවංශ හිමියන්ට පහර දී මන්නා පිහිවලින් කපා කොටා ඇත.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ විමලවංශ හිමියන්ගේ රියෑදුරු සහ තවත් හිමිනමක්‌ එහි සිටි අතර මැර පිරිස ඔවුන්ට කිසිදු හානියක්‌ නොකර පලාගොස්‌ තිබේ.

මෙහිදී බරපතළ කැපුම් තුවාල ලැබූ විමලවංශ හිමියන් පානදුර රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර ජීවිතක්‍ෂයට පත්වූහ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු කෝපයට පත් වූ ප්‍රදේශවාසීහු විහාරස්‌ථානයට අයත් ඉඩමේ බලහත්කාරයෙන් පදිංචිව සිටි පුද්ගලයන්ට අයත් නිවාසවලට පහර දී ඔවුන් පලවාහැරීමට කටයුතු කළහ.

මොරටුව ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවීමට පොලිසිය කටයුතු කළහ.

ගල්කිස්‌ස පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මොරටුව ප්‍රදේශයට ගොස්‌ ඇති වී තිබූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර විමලවංශ හිමියන් ඝාතනයේ සැකකරුවන් දෙදෙනා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සෙවීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස කිසිම ආකාරයක ජාතිවාදී කුමන්ත්‍රණයක්‌ නොමැති බව ද පොලිසිය පවසයි.





 
Related Posts with Thumbnails