Ads 468x60px

.

පුංචි සම්පත් පාසිකුඩා මුහුද පත්ලේ සැඟව ගියේ කාගේ වරදින්ද...?

මගේ දරුවා උන්නද මළාද කියලා හොයල බලල නැහැ... 

දරුවා ගැන මීට වඩා හොයල බැලුවා නම් මගේ පුතා අදත් ජීවතුන් අතර... 
-මියගිය සම්පත්ගේ මව කියයි

සුදෝ සුදුවතින් සැරසී පුංචි සම්පත් පොත් මිටිය තුරුලු කරන් දෙවැට දිගේ දිවවිත් කඩුල්ල පැන නිවසට ආවේ නැවුම් බලාපොරොත්තුවක්‌ ඇතිවය. ගෙට ගොඩ වූ විගස අම්මේ අපේ ඉස්‌කෝලෙන් ට්‍රිප් එකක්‌ යනවා මටත් යන්න ඕන. 

පුංචි සම්පත් එක හුස්‌මට කියා ගෙන ගියේ අම්මාත් තාත්තාත් කුමක්‌ කියයිදෝ යන දෙගිඩියාවෙනි.

පුංචි දරුවාගේ ආයාචනය කෙසේ නම් ඉවතලන්නද පියා ජයලත් එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත.මව දමයන්තිගේ සිත දරු දුකෙන් උණු විය. අනේ ඔන්න ඔහේ ගියදෙන්. තවත් ගොඩාක් ළමයි යනවානේ. 

මවගේ කාරුණික වදන් පුංචි සම්පත්ට ගෙනාවේ නිම් හිම් නැති සතුටකි. ඒ සතුට පාසිකුඩා මුහුද පත්ලේ සැඟව යනු ඇතැයි මව්පියන් මොහොතක්‌ වත් නොසිතුවේය.

මාවනැල්ල දෙවනගල රුවන්දෙණිය ගමේ ජීවත් වන එස්‌. ජයලත් උදය කුමාරසිරි (42) සහ දමයන්ති රේණුකා අකුරුගොඩ (38) මව්පියන්ගේ දෙවැනි දරුවා වූ කසුන් සාවින්ද කුමාරසිරි (14) මේ පවුලේ එකම පිරිමි දරුවායි. ඔහුගේ වැඩිමහල් සොයුරිය උදේනි සඳරේණු, බාල සොහොයුරිය අමාෂා ඉදුෂානි සියලු දෙනාගේ ආදරය ලබන්න ඔහු වාසනාවන්ත විය. ඒ නිසාම ඔහුට කවුරුත් කතා කළේ සම්පත් යන ආදර නාමයෙනි. සිංහල මුස්‌ලිම් කවුරුත් ශෝක වුණේ ගුණ යහපත් දරුවකු දැයට අහිමි වූ බැවිනි.

අප සමග අදහස්‌ දැක්‌වූ එස්‌. ජයලත් උදය කුමාරසිරි (
මියගිය සම්පත්ගේ පියා) 
මට දරුවන් තුන්දෙනෙක්‌ ඉන්නවා. මියගිය දෙවැනි දරුවා බැමිණිවත්ත මහ විද්‍යාලයේ නව වන පන්තියේ ඉගෙන ගන්නවා. ඉස්‌කෝලෙන් ට්‍රිප් එකක්‌ යනවා කියලා ගියා. පාසිකුඩා මුහුදේ නාන්න ගිහින් දරුවාට කරදරයක්‌ කියලා කෝල් එකක්‌ ආවා. මම එහේ ගිහින් දරුවාගේ මෘත දේහය හඳුනා ගත්තා. සතුටින් විනෝදයෙන් ගෙදරින් ගිය දරුවා මිනී පෙට්‌ටියෙන් ගෙදර එයි කියලා අපි හීනෙන්වත් හිතුවේ නැහැ.

දමයන්ති රේණුකා අකුරුගොඩ (මියගිය සම්පත්ගේ මව ) 

මුහුදට බැහැලා දිය නාලා ඉවර වෙලා ළමයි ඔක්‌කෝම එතනින් ආවා කියලා කියනවා. එක ගුරුවරයෙක්‌ කෝටුවක්‌ අරන් ළමයි බස්‌ එකට එලෙව්වා කියනවා. මගේ පුතාගේ කකුලේ වැලි තිබිලා වැලි සෝදාගන්න කලපුවට බැස්‌සා කියනවා. බස්‌ එකට ගිහින් කෑමත් කාලා ඉවර වෙන කම් කිසිම කෙනෙක්‌ මගේ දරුවා උන්නද මළාද කියලා හොයල බලල නැහැ. දරුවා ගැන මීට වඩා හොයල බැලුවා නම් මගේ පුතා අදත් ජීවතුන් අතර ඉන්නවානේ. 

විනෝද චාරිකාවට එක්‌වූ එල්.ආර්. නිර්මාලි ශිෂ්‍යාව 
අපි එදා උදේ 10 ට විතර දිඹුලාගල රජ මහා විහාරය වන්දනා කර මඩකලපුවට ගියා. බස්‌ දෙකේ ළමයි සියයකට වැඩියෙන් හිටියා. ගුරුවරු 06 ක්‌ අපිත් එක්‌ක ගියා. මුහුදේ නාල ඇවිත් අපි දවල්ට කෑම කාලා බස්‌ එකට නැගලා යන්න හදනකොටයි දැනගත්තේ සම්පත් නැහැ කියලා. 

අපි නාපු තැන තවත් අය නෑවා. අපි එතෙන්ට ගිහින් බලන කොට ඊට මෙහා මාමලා හතර දෙනෙක්‌ නෑවා. මේ හරියේ කිඹුලෙක්‌ ඉන්නවා වගේ කියලා එයාලා කිව්වා. ඒ අය සොයන කොට වැල්ලේ එරිලා වතුර යට මිය ගිහින් හිටිය සම්පත් ගොඩට ගත්තා. සම්පත් පැය දෙකක්‌ විතර මිය ගිහින් මුහුද යට ඉඳලා තියනවා.

බැමිණිවත්ත මහ විද්‍යාලයේ විදුහල්පති උස්‌සාපිටියේ ධම්මදින්න හිමි

පාසල් ළමුන්ගේ මෙම විනෝද චාරිකාව භාරව ගුරු මහතුන් දෙදෙනෙක්‌ සහ ගුරු මහත්මීන් සිව් දෙනෙක්‌ සමග දෙමවුපියන් දෙදෙනෙක්‌ ගියා. මේ අවාසනාවත්ත සිදුවීම දැනගත්ත ගමන් මමත් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හාමුදුරුවොත් මඩකලපුවට ගියා. 

ළමයි දිය නාලා බස්‌ එක ළඟට එන කොට ළමයින්ගේ කකුලේ වැලි ගෑවිලා තියෙනවා. වැලි සෝදගන්න කලපුව ළඟට ගිහින් මේ අනතුර සිදුවෙලා තියනවා කියලා මට දැනගන්න ලැබුණා.
 
Related Posts with Thumbnails