Ads 468x60px

.

පියුමි සහ රේමිගේ පෙම් කතාව විවාහය දක්වා දුරදිග ගිය හේතුව මෙන්න...

යාළුවෙකුගේ උත්සවයකදී තමයි මුලින්ම අපි දෙන්න හමුවුණේ...

ඒ ඇසුර ප්‍රේමයකට පෙරළුණා...

පසුගිය මාර්තු 12 වැනිදා අපේ තවත් නිළියක් පතිකුලයට පිවිසුණා. ඇය පියුමි පුරසිංහ. පියුමිගේ අතගත් මනාලයා වුණේ රේමි රාජ් ලාල්. පියුමි සහ රේමි විවාහය පැවැත්වුණේ සිනමන් ‍ලේක් සයිඩ් හෝටලයේ චම්පි සිරි වර්ධන හැඩ ගැන්වීම් සිදුකල අතර අභිෂේක මණ්ඩපය මනාලයාගේ ඇඳුම් නිර්මාණය කළා. 

කේක් හා මංගල ඇරයුම්පත් සැරසිලි කටයුතු ක‍ලේ “යොවුත්මා” විසිනි. 11 වැනිදා විවාහයට එළැඹෙන නවයුවල 14 වැනිදා මනාලයාගේ නිවසේදී දෙවැනි ගමනේ උත්සවය පවත්වලා ඉන්පසුව 15 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ සති දෙකක නිවාඩුවක් ගත කිරීමට. 

පියුමිට ආදරේ කරන රසික හිතවතුන් මේ උදාවූ සුබ මොහොත ගැන පියුමිත් එක්ක සතුට සමරන්න එකතු වන බව  අපි දන්නවා. ඒ වගේම පියුමිගේ අතගත් මනාලයා ගැන තොරතුරු. දෙදෙනාගේ විවාහය හා අනාගතය ගැන වැඩිදුර විස්තර දැනගන්නත් ආශාවෙන් ඉන්න බව අපි දන්නවා. 

ඒ හින්දාම අපි හිතුවා උදා වූ සුබ හෝරාවේ පියුමි අමතන්න. මංගල උත්සවයේ  කාර්යබහුල බව හින්දා පියුමිව එකතු කරගන්න බැරි වුණත් ඇගේ මනාලයාව එකතු කරගන්න අපිට පුළුවන් වුණා. මංගල උත්සවයේ තොරතුරු ගැන ඔහු අපට පැවසුවේ මේ විදියට.

“මංගල උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර  ඉටු කරන්නේ උඩරට ක්‍රමයට සැරසිලි. ඉන්පසුව මධුසමය සඳහා යුරෝපීය ඇඳුම තෝරා ගත්තා” කලා ලොවේ හිතවතුන් රාශියක් මේ උත්සවයට සහභාගි වුණා. අති උත්කර්ෂවත් ආකාරයට පැවැති මංගල උත්සවය මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වුණා.


පියුමි සහ රේමිගේ විවාහය ලස්සන පෙම් කතාවක ප්‍රතිඵලයක්. ඒ සුන්දර පෙම් කතාව පිළිබඳ මතකය අවදි කරන්නත් අපි මේ වෙලාවේ අමතක කළේ නැහැ.


“යාළුවෙකුගේ විවාහ මංගල උත්සවයකදී තමයි මුලින්ම අපි දෙන්න හමුවුණේ. එදා කතාබහ කරලා දැන හඳුනා ගත්තා. ඒ දැන හඳුනා ගැනීම මත මුලින්ම අපි අතර ඇති වුණේ මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වයෙන්  කාලයක් තිස්සේ ඇසුරු කරන කොට ඒ ඇසුර ප්‍රේමයකට පෙරළුණා. ඒ ප්‍රේමය තමයි  මේ විදියට විවාහය දක්වා දුර ගියේ”


නළු නිළියන් ගායක ගායිකාවන් වැනි ජනප්‍රිය චරිත සමාජයට බොහෝ විවෘතයි. ඒ විදියට ජනතා අවධානයට ලක්වෙන හින්දා ඒ අයට නොයෙක් කටකතා  හැදෙන්න තියෙන ඉඩ අවකාශ වැඩියි. 


ඒ වගේම තමයි මෙවැනි ක්ෂේත්‍රයන් වෘත්තිය විදියට තෝරා ගත්තම පැය අටේ සේවයක යෙදෙන  කාර්යාල සේවකයකුට වගේ තමන්ගෙ වෘත්තියේ යෙදෙන්න බැහැ. නිතරම ගෙදරින් පිටවී ඉන්න, සමහර විට සති ගණන් මාස ගනන් මේ විදියට ඉන්න සිදුවෙනවා. 

ඒ හින්දාමයි නිළියන් ගායිකාවන් බොහොමයක් විවාහයත්  සමග කලාවෙන් සමු ගන්නේ. අනික ඉතින් ආදරය තුළ ආත්මාර්ථකාමීත්වයත් තියෙනවනේ. තමාගේ බිරිඳ කැමරාව ඉදිරියේ හෝ වෙනත් කෙනෙකුට ලැබිලා ආදර බස් මුමුනනවා දකින්න බොහෝ සැමියන් කැමැති නැහැ. 

ඒ නිසාම ඇතැම් නිළියන්ට විවාහය සමග කලාවෙන් දුරස් වෙන්න සිදුවෙන්නේ සැමියන්ගේ විරෝධය නිසා. විවාහයෙන් පසුව පියුමිගේ නිළි ජීවිතයට මොකද වෙන්නේ කියලා ඇගේ රසික පිරිස හිතනවා ඇති.  අපි ඒ ගැන විමසුවේ පියුමිගේ සැමියාගෙන්.

“අපි අතර බොහොම හොඳ විශ්වාසයක් හා අවබෝධයක් තියෙනවා. ඒ නිසා පියුමි දිගටම රඟපානවාට මගෙ නම්  කිසිම විරුද්ධත්වයක් නැහැ.


අපි පෙම්වතුන් විදියට ඉන්න කාලෙත් පියුමිට රඟපාන්න ලැබෙන හැම ආරාධනාවක් ගැනම මට කියන එක පියුමිගේ සිරිතක්. අනික ලැබෙන හැම ආරාධනාවක්ම ඇය භාරගන්නෙ නැහැ. තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ. ඒ හින්දා දිගටම පියුමි රඟපෑමේ යෙදේවි”

පියුමිගේ ආදරණීය මනාලයා කලාවට බොහොම ළැදි ඒ ගැන මනා අවබෝධයන් ඇති කෙනෙක්  හින්දයි ඒ විදියේ තීරණයක් අර ගත්තේ. ඒ වගේම තමයි ඔහු නළුවකුට උචිත රූපයක් තියෙන බොහොම කඩවසම් තරුණයෙක්. පියුමිත් එක්ක  රඟපෑමට එකතුවන්න කැමැති නැද්ද කියලා අපි ඔහුගෙන් ඇසුවා.


“මට ඒ හැකියාව නැහැ. ඒ  හින්දා නළුවකු වීමේ අදහසක් නම් නැහැ. හැබැයි ඉතින් ඉදිරියේදී  චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න නම් අදහසක් තියෙනවා” විවාහ වූ නව යුවළ නාවල පිහිටි මනාලයාගේ නව නිවසේ අලුත් ජීවිතය පටන් ගැනීමට සූදානම්. ඒ අලුත් යුග දිවිය  සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපිත් සුබ පතනවා.

















































 
Related Posts with Thumbnails