Ads 468x60px

.

මීගමුව රෝහලේ දූෂක ඝාතකයා බේරා ගැනීමේ තැතක්...

විස්තර කියද්දී මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා... 

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා තරුණියක ඝාතනයට ලක්විය. ඇය මොනරාගල පදිංචි  කටුනායක ඇගලුම් කම්හලක සේවය කළ දුප්පත් පවුලක 23 හැවිරිදි චමිලා නම් වු තරුණියකි. 

මරණ පරීක්ෂණයේදී මේ තරුණිය උඩුමහලින් තල්ලු කිරීමට පෙර දුෂණයට ලක්ව සිටි බවද හෙළි විය. මේ  ඝාතනය සම්බන්දයෙන් සැකකරු වුයේ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මීගමුව රෝහලේ සේවය කල  සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයාය.  

චමිලා ඝාතනයට ලක්ව වසර 5 ක් ගතවී ඇතත් තවමත් යුක්තිය ප්‍රමාදය. මේ වන විට සැකකරුට සහය පිණිස මිගමුව රෝහලේ , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මෙන්ම වෛද්‍ය සභාවේ වෛද්‍යවරු කිහිප දෙනෙකු තිරය පසුපස සිට ක්‍රියා කරන බව හෙළි වී තිබේ. 

එසේම මෙම නඩුවේදී මිගමුව පොලිසියේ ක්‍රියා කලාපයද සැකයට තුඩු දේ. පොලිසිය විසින් වසර 5 ක් ඉක්මවා ගොස් තිබියදිත් අවැසි නඩු භාණ්ඩ සියල්ල ඉදිරිපත් නොකිරීම මත මෙම නඩුව යළිත්  2013 අප්‍රේල් 29 සහ 30 වනදා දක්වා කල් ගොස් තිබේ.

මෙම ඝාතනයේ  ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් මහත්මියගේ ප්‍රකාශය


මම, ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස්. කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියට්‍රිස්. මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි විල් ෂයින් කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි. මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. 


පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා.,

මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම්. 


මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  

අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). 

එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්. මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා.

ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා. ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා .

ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා. නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. 


එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ. ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ.

ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද.? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට මේ බව කිව්වා. 

එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා. බ්‍රියට්‍රිස් ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ. ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා.

මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ තියෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ.


ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. 

එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා.

එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. 


එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි.

එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා. මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා. 

මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල්, සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.

සුදර්ශන බාලගේ තවමත් රෝගීන්ට ප්‍රතිකාර කරයි

මරදන්ඩකඩවල සිට වෛද්‍ය විද්‍යාලයට ගොස්  අමාරුකම් මැද  ඉගෙන ගත් සුදර්ශන බාලගේ තමා වැනිම පීඩිත පන්තියකින් පැමිනි දුගී පවුලක තරුණියක් වූ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස්  චමිලාව දුෂණය කොට  මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කළේය. 


චමිලා සිය වැටුප වියදම් කලේ සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුතු   පවුලේ  බාල සාමාජිකයන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. මෙම සාපරාධී අපරාධය කල මිනීමරු දොස්තර දැන් නිරුපද්‍රිතව යලිත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබේ. මේ සඳහා මොහුට දුෂිත වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම සහය ලැබී  තිබෙන බව වාර්තා වේ. 

මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු විධායක නිලධාරියෙකු වූ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න තමන්ට අයත් මීගමුව කුරණ අංක 7 දරණ ස්ථානයේ පිහිටි ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්හි පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීමට සුදර්ශන බාලගේට පහසුකම් සලසා දී ඇත.

සුදර්ශන බාලගේ ප්‍රසිද්ධ මිනීමරුමක මෙන්ම තවමත් විභාග වන මිනීමැරුම් නඩුවක ප්‍රධාන  සැකකරුවෙකි. මෙම මිනීමැරුමේ ප්‍රධාන සැකකරු වීමෙන් පසුව මොහු තමන්ගේ නම වෙනස් කරගෙන  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දූෂිත වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමටද සමත් වී ඇත.  


මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වීමෙන් පසුව සුදර්ශන  බාලගේ  වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය සදහා  ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ මහතාගෙන් අත්සන ලබාගැනීමද ප්‍රශ්නයට භාජනය කල යුතු ක්‍රියාවකි. මොහුගේ වර්තමාන නම වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය වන අතර වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කල අංකය  22692 වේ. 

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගේ භූමිකාව 


බෝගහවත්ත කිරිදිවැල පදිංචි සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි ඇත්තේ 1999.11.11 වනදාය.මේ වන විට ඔහුගේ වෛද්‍ය වෘත්තික ජිවිතයට වසර 11 කි., එමෙන්ම ඔහු රජයේ  ලියාපදිංචි  වෛද්‍යවරුන් වෙනුවෙන් වන එකම සංගමය වු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ තනතුරු දැරැවෙක්ද වෙයි.


එපමණක් නොව මේ කලාපයේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයාද වෙයි. ඒ අනුව වෘත්තිය නිතිමය තත්වයන් සහ වෘත්තිය සදාචාරය පිළිබදව හොද අවබෝධයක් ඇත්තෙක් විය යුතුය. තතු එසේ තිබියදි තමන්ගේ පුද්ගලික බෙහෙත් ශාලාව ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලියේ ලියාපදිංචි නැති එපමණක් නොව වෛද්‍ය කවුන්සිලයද නොමග යැවු පුද්ගලයෙක් වෙත භාර දි තිබිම විවාදයට තුඩු දේ.

මෙය එක්තරා අන්දමකට ගත් කළ පානැවැන්නගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්ති නාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ඇත.  


බාලගේ ට නඩු ගාස්තු ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පච වෙමින් මෙසේ කරන්නේ ඇයි?, එහෙත් මේ කිසිත් ගැන වගක් නැති පානාවැන්න වෛද්‍ය වරයා බාලගේ ව මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයිද යන්න මේ වන විට වෛද්‍යවරුන් අතරේ කිසියම් කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්ථා වේ.

මේ ඇතමෙක් පවසන්නේ කුරණ බේත් ශාලාවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ ලැබෙන නිසා මුදලට ගිජු පානාවැන්න මහතා වෘත්තිය ගරුත්වය බල්ලාට දමා සල්ලි ඉස්සර කරගෙන ඇති බවය., ඔහු දැනට සේවය කරන බන්ධනගාරය තුල ද විවිධ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නට පටන් ගෙන ඇති බවද වාර්ථා වේ.

මෙහිදි බොහොමයක් දෙනාගේ අවධානයට යොමුව ඇති තවත් කරුණක්  ඇත.එනම් 2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලේ සිදුව තිබුන ක්‍රියාදමය පිළිබදව සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් පිළිබදවය. 

තතු දත් පුද්ගලයන් පවසන පරිදි මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න බන්ධනාගාරයේ රැඳවියන් සමග බොහෝ කාලයක් පුරා දූෂිත ගනුදෙනු වල නිරත වී තිබේ. මීගමුව බන්ධනාගාරය යනු  මත්ද්‍රව්‍ය , ත්‍රස්තවාදී ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධ නිසා සිරගත වූ පුද්ගලයන්ගෙන් ඉතිරි ගිය  නීති විරෝධී කටයුතු නිදහසේ සිදුවන බන්ධනාගාරයකි.  


එවැනි බන්ධනාගාරයක වෛද්‍යවරයා ලෙස කටයුතු කරන  වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්නට රැඳවියන් සමග ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීමටත්  ඔවුන්ගේ උවමනාවන් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමද අපහසු කාරණයක් නොවේ. 

චමිලාගේ ඝාතනය සම්බන්දයෙන්  මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් වන සුදර්ශන බාලගේ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න සමග සබඳතා ගොඩ නගා ගනිමින් වෛද්‍ය පානාවැන්න ගේ දුෂිත ගනුදෙනු වලට අතරමැදියෙක් ලෙස කටයුතු කරයි. 

එසේම බාලගේ වෛද්‍ය පානාවැන්න ගේ කටයුතු ගනුදෙනු සම්බන්දයෙන් සාක්ෂිකාරයෙකු ද වේ. මෙමගින් මුලදී ඔහුගේ විශ්වාසය දිනාගනිමටත් පසුව වෛද්‍ය පානාවැන්න බ්ලැක් මේල් කිරිමටත් බාලගේ සමත් වෙයි.

ජනතා විරෝධය

මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කරන ලද චමිලා පිළිබද නඩු විභාගය 2013 මාර්තු 05 දින මීගමුව මහාධිකරණයේ පැවැති අවස්ථාවේ නිදහසේ වේදිකාව විසින් මහජනයා දැනුවත් කිරිම සදහා අත්පත්‍රිකා බෙදාහැරිමේ ව්‍යාපාරයක් මීගමුව උසාවිය අසල දි සංවිධානය කර තිබුණි.


මෙහි ප්‍රධාන අරමුණ ලෙසින් සංවිධායකින් පවසා සිටියේ මේ නඩුව මුදල් බලයෙන් නිසි සාක්ෂි ඉවතලා මිනිමරුවා නිදහස් කරගැනිමේ ව්‍යාපාරයක් පවතින හෙයින් එවන් උත්සාහන් පරදවා මහජන මතයක් යළි ගොඩනැගිම බවය. 

චමිලා දිසානායක මෙනවියගේ මරණයේ ඝාතන සැකකරු වන සුදර්ශන බාලගේ වෙනුවෙන් පෙනි සිටින මීගමුව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් වන ශ්‍රිලාල් මහතා වෙත ද උද්ඝෝෂකයන්ගේ විරෝධතාව යොමු වූ අතර චමිලාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ ඉතා පැහැදිලිව චමිලා රෝහලෙන් බිමට දමන්නට විනාඩි ගණනකට පෙර චමිලාව දූෂණය කර ඇති බවත් අදාල චූදිත වෛද්‍යවරයා ලිංගික උත්තේජකද භාවිතා කර ඇති බවත් එහි සදහන්ව තිබියදි නීතිවේදී ශ්‍රිලාල් මහතා මේ ඝාතනය ප්‍රබන්ධයක් යැයි කිම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පැමිණි සිටි පිරිස පැවසුහ. 

පෙර පුවත්
මීගමුව රෝහලේ මිනීමරු දොස්තර යලිත් වැඩ.
දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?
අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක නොවුයේ මන්ද ?

- අමිල ගුණරත්න (මීපුර පුවත්පත ඇසුරෙනි) 
 
Related Posts with Thumbnails