Ads 468x60px

.

මේ දිනවල දිවයින පුරා උණුසුම් කාලගුණික තත්ත්වයක්‌ පවතින හේතුව...

අනිද්දා සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වෙනවා...

ප්‍රධාන කාරණා හතරක්‌ හේතුවෙන් මේ දිනවල දිවයින පුරා උණුසුම් කාලගුණික තත්ත්වයක්‌ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවට සූර්යයා මුදුන්වීම, වායු ගෝලයේ ජල වාෂ්ප වැඩිවීම, සුළඟ අඩුවීම හා දහවල් කාලයේ හිරු රශ්මිය සෘජුවම පොළොවට පතිත වීම එම ප්‍රධාන කාරණා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවා. පසුගිය මාර්තු 21 වැනිදා සූර්යයා සමකයට මුදුන් වූ අතර අප්‍රේල් 05 වැනිදා (අනිද්දා) සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වන බව ඇය පවසයි.

අනිද්දා දකුණු පළාතේ හික්‌කඩුවට ඉහළින් ඉර මුදුන් වන අතර ඌරල, වලස්‌මුල්ල, කොහොලන්කල ප්‍රදේශවලට ද එදිනම ඉර මුදුන් වනු ඇත.


දකුණු පයාගල, මතුගම, කලවාන, කුඩාඔය, කුමන ප්‍රදේශවලට 06 වැනිදා ද, කොල්ලුපිටිය, ගැටහැත්ත, නෝට්‌න් බ්‍රිඡ්, මොරගස්‌කැටිය, පොතුවිල් ප්‍රදේශවලට 07 වැනිදා ද, කොච්චිකඩේ, කෑගල්ල, ගුරුදෙණිය, නාමල්ඔය, පළමුණේ ප්‍රදේශවලට 08 වැනිදා ද රාජකදලුව, පාදෙනිය, නාලන්ද, තලංකුඩායි ප්‍රදේශවලට 09 වැනිදා ද මාම්පුරි, ගල්ගමුව, ගිරිතලේ, මන්කේනි ප්‍රදේශවලට 10 වැනිදා ද පොම්පරිප්පු අනුරාධපුරය, දෙමටවැව, සේරුවාවිල ප්‍රදේශවලට 11 වැනිදා ද සිලාවතුර, වව්නියා, අඩම්පනි, කොම්පුරුපිඩ්ඩි ප්‍රදේශවලට 12 වැනිදා ද තලෙයි මන්නාම, කුරුප්පන්කුලම්, මාන්කුලම්, අන්දන්කුලම් ප්‍රදේශවලට 13 වැනිදා ද අලන්කේනි, පරන්තන්, නල්ලතන්නිතුඩුවෙයි ප්‍රදේශවලට 14 වැනිදා සහ 15 වැනිදා පේදුරුතුඩුවටද ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවා.

මේ දිනවල පවතින අන්තර්මෝසම් කාලගුණික තත්ත්වය යටතේ වායු ගෝලයේ සුළඟ අඩු වන අතර ශරීරයේ දහදිය වාෂ්පවීමක්‌ සිදු නොවන බැවින් දැඩි අපහසුතාවක්‌ ශරීරයට දැනෙයි.

දහවල් කාලයේ අහස වළාකුලින් තොරවීම නිසා හිරු එළිය සෘජුවම පොළොවට පවතිත වීමෙන් හිරු රශ්මියට අමතරව පොළොවේ දහනය ද පුද්ගලයන්ට දැනෙන බව පැවසූ වර්ණසූරිය මහත්මිය, මෙම ක්‍රියාදාමයේ බලපෑමෙන් පුද්ගලයන්ට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද දැඩි උණුසුම් බවක්‌ හා අපහසුතාවක්‌ දැනෙන බව කීවා.

මෙම තත්ත්වය ඉදිරි සති දෙක පුරාම පැවැතිය හැක.


මේ අතර මේ දිනවල සූර්යයාගේ ඇති සූර්ය ලප ප්‍රමාණ වැඩිවීම ආරම්භ වී ඇතැයි බි්‍රතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසනවා. සූර්යයාගේ ඇතිවන මේ කළු ලපවලින් පිටකරනු ලබන විද්‍යුත් තරංග හේතුවෙන් ඉහළ වායුගෝලයේ යම් යම් වෙනස්වීම් ඇති විය හැකි බව හෙතෙම සඳහන් කරනවා.

සූර්ය ලප චක්‍රයට අනුව කළු ලප ඇති වීම වසර 11කට වරක් සිදුවන ක්‍රියාවලියක් වන බවත් මීට පෙර සූර්ය කළු ලප වැඩිවීම සිදුවූයේ 2001 සහ 2002 අතර කාලයේදී බවත් ඒ මහතා කීය.
 
Related Posts with Thumbnails