Ads 468x60px

.

විදුලි විසඳුම් අද නැත්නම් තව ඉල්ලීම් හෙට ගේනවා

සුළු පිරිසකට එක්‌ නොවී රජය සමග එක්‌ වන්න - කම්කරු ඇමැති

සේවයට එන අයට හිරිහැර කළොත් පොලිස්‌ භාරයට ගන්නවා - පොලිස්‌පති

අද සංකේත වර්ජනයට පක්‍ෂ 15ක සහයෝගය

ආණ්‌ඩුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය අද (21 දා) අහෝසි නොකළොත් හෙටින් (22 දා) පසුව තවත් ඉල්ලීම් කිහිපයක්‌ ද එක්‌ කර ගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බව වෘත්තීය සමිති නායකයෝ අනතුරු අඟවවනවා.

ඒ අනුව විදුලි ගාස්‌තු ඉහළ දැමීමේ තීරණය හකුලා ගන්නා ලෙසට කරන ඉල්ලීමට අමතරව වතුකරයේ ජනතාවට නිවාස සඳහා ඉඩම්, පෞද්ගලික අංශයට විශ්‍රාමික වැටුපක්‌, ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩිවීමක්‌ ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් දැවැන්ත

වෘත්තීය අරගලයක්‌ සඳහා ආණ්‌ඩුව අදින් පසු ඉඩකඩ සකස්‌ කරනු ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ ඊයේ (20 දා) කොළඹ නිපෝන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවා.

ආණ්‌ඩුව නිත්‍යනුකූල නොවන ලෙස සේවකයන්ට අඩන්තේට්‌ටම් කරමින් අද පැවැත්වෙන සංකේත වැඩ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා ක්‍රියාකරන බවද මින් හැඟී යන්නේ ආණ්‌ඩුව වැඩ වර්ජනයට බියවී ඇති බව යෑයි ද අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කීවේය.

දේශපාලන පක්‍ෂ පහළොවක්‌ අද පවත්වන වර්ජනයට සහාය දක්‌වන බවද ඊට අමතරව වැඩබිම් පදනම් කරගත් වෘත්තීය සමිති 941 ක්‌ වර්ජනයට එක්‌වන බවද කී වසන්ත සමරසිංහ මහතා රෝහල්, ප්‍රවාහන, පාසල් වර්ජනය සමග සිටින බවද කීය.

අද පවත්වන්නේ සංකේත වර්ජනයක්‌ පමණක්‌ යෑයි කී හෙතෙම මෙම සංකේතය තුළ ක්‍රියාමාර්ග රැසක්‌ ගන්නා බවද පැවැසුවේය.


සුළු පිරිසකට එක්‌ නොවී රජය සමග එක්‌ වන්න
- කම්කරු ඇමැති ඉල්ලයි

ත්‍රස්‌තවාදය පරාජය කර රට දියුණුව කරා ගෙන යන මේ අවස්‌ථාවේ සුළු පිරිසකගේ කඩාකප්පල් ක්‍රියාවන්ට සම්බන්ධ නොවී රජය සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු වැඩ කරන ජනතාවගෙන් කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

විදුලිය බිල වැඩිවීම මුල්කරගෙන වැඩ වර්ජනයකට ගියත් දැන් විදුලිය බිල අඩුකර ජනතාවට සහන සලසා ඇති බැවින් වැඩවර්ජන කිරීමේ අවශ්‍යතාවක්‌ නැතැයි ද කී ඇමැතිවරයා අද දිනයේ කිසිදු විදුලිය බිඳවැටීමක්‌ සිදුනොවන බවත් ඊට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් පැවසීය

සුළු පිරිසකගේ වුවමනාවට අද සිදුකිරීමට යන වැඩ වර්ජනයට මේ රටේ බහුතරයක්‌ වැඩ කරන ජනතාවගේ සහයෝගයක්‌ නොලැබෙන බව තමාට විශ්වාස බවද හෙතෙම පැවසීය.

රට අස්‌ථාවර කිරීමට මේ රටේ කඩාකප්පල්කාරී සුළු පිරිසකගේ ක්‍රියාවන්ට සහයෝගය නොදී අද දිනයේ පෞද්ගලික නිවාඩු හෝ ගෙන තිබුණා නම් එම නිවාඩු ද නොගෙන මේ අවස්‌ථාවේ රජයට සහයෝගය ලබාදීම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ වගකීම යෑයි වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කළහ.

මෙම වැඩ වර්ජනයේදී රටේ මහජනතාවට කිසිදු අපහසුතාවකට පත්වීමට ඉඩ නොතබන බවත්, රෝහල්, විදුලිය, දුම්රිය යනාදී රටේ සෑම ක්‍ෂේත්‍රයකම වැඩ කෙරෙන බවට වගකීම භාරගන්නා බවත් සඳහන් කළ රජයට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති නායකයෝ අද සිදුකෙරෙන වැඩවර්ජනය ජනතාවට නොදැනෙන බවත් අවධාරණය කළහ.

සේවකයන්ගේ පැමිණීම වැඩ කෙරෙන ආකාරය පිළිබඳව අද (21 දා) දින උදේ 9 ට, දහවල් 12 ට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ විශේෂ විමර්ශනයට ලක්‌කෙරෙන බව යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ මහතා පැවසීය.

වැඩවර්ජනයක්‌ වෙනුවට අද දිනයේ සියලු සේවකයන් වැඩ කර පෙන්වන බව පැවසූ වෘත්තීය සමිති නායකයෝ තම වෘත්තීය සංගම් නියෝජනය කරන සියලුම සාමාජිකයන් අද දිනයේ සේවයට වාර්තා කරන බවට පොරොන්දු වූහ.


"ඒක කුමන්ත්‍රණයක්‌"
ආරක්‌ෂක ලේකම්ගෙන් ගැමුණු පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

බස්‌ වර්ජනය ඉතා සාර්ථකයි-අංජන ප්‍රියන්ජිත්

දිවයින පුරා ඊයේ (20 වැනිදා) ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පෞද්ගලික බස්‌ වර්ජනය එක්‌තරා පිරිසකගේ කුමන්ත්‍රණයක්‌ බවත් ඒ පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස තමන් ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවැසීය.

පෞද්ගලික බස්‌ වර්ජනයක්‌ පවත්වන බව කියමින් සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනය විසින් කැඳවා තිබූ වර්ජනය ඉතා අසාර්ථක බව පැවසූ ඒ මහතා තම සංගමයේ කිසිදු සාමාජිකයකු මෙම වෙසක්‌ සතිය තුළ කිසිදු වර්ජනයකට සහභාගි නොවන බව ද කියා සිටියේය.

මෙවැනි අසාර්ථක වැඩ වර්ජන කැඳවීම තුළින් සිය අයිතීන් කප්පාදුවීමකට ලක්‌වන බව ද එමඟින් සමස්‌ත පෞද්ගලික බස්‌ කර්මාන්තය හෑල්ලුවට ලක්‌වන බව ද හෙතෙම කීය.

මෙවැනි දේවල් ඉදිරියේ නොවිය යුතු බව ඊයේ (20 දා) කොළඹදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ගැමුණු විඡේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර මගී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඊයේ දිනයේ වැඩ වර්ජනය කරන ලද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචිව සිටින බස්‌ රථ හයක ධාවන බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව එම කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව මීගමුව - ගිරිඋල්ල, කොළඹ - කතරගම, කොළඹ - අම්බලන්ගොඩ සහ කොළඹ - කුරුණෑගල මාර්ගයේ බස්‌ රථ කිහිපයක්‌ ඊයේ වැඩවර්ජනයකට එක්‌වී ඇති බවට හඳුනාගෙන ඇති බව ද හෙතෙම කීය.

මීට අමතරව පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ බස්‌ රථ කොපමණ සංඛ්‍යාවක්‌ ඊයේ ධාවනයෙන් ඉවත්වූයේ දැයි පිළිබඳව වාර්තා ලබා ගනිමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ සිදුකරන ලද බස්‌ වර්ජනය අසාර්ථක වූ බවට කොළඹ බැස්‌ටියන් මාවත බස්‌ නැවතුම්පළ ඇතුළු සියලු අන්තර් පළාත් මාර්ගවලින් සහ පළාත් ප්‍රවාහන අධිකාරි, සියලුම මගී ප්‍රවාහන සමාගම් සහ අන්තර් පළාත් බස්‌ හිමියන්ගේ සංගමය ද තමන් වෙත තොරතුරු සපයා ඇතැයි රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

බලපෑම් හා තර්ජන හමුවේ වුවත් ඊයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික බස්‌ වර්ජනය ඉතා සාර්ථක වූ බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය.

බස්‌නාහිර, දකුණු, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල පෞද්ගලික බස්‌ සමාගම් ඊයේ වැඩ වර්ජනය සඳහා එක්‌වූ බව ද ඒ අනුව බස්‌ රථ 5000 ක්‌ පමණ ධාවනයෙන් ඉවත්වූ බව ද හෙතෙම කීය.

පොලිසිය සහ බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද වැඩ වර්ජනය සඳහා විටින් විට බාධා කළ බව ද අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් පැවැසීය.


වර්ජනයට එක්‌වන අයට එරෙහිව කටයුතු කළොත්
ඒ වෙනුවෙන් පෙනී සිටිනවා

- නීතිඥ එකමුතුව

විදුලි ගාස්‌තු ඉහළ දැමීම හකුලා ගන්නා ලෙස ඉල්ලා අද (21 දා) පවත්වන වැඩ වර්ජනයට එක්‌වන අයට එරෙහිව ආණ්‌ඩුව නීති විරෝධී ලෙස කටයුතු කළොත් එම සේවකයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වීමට නීතිඥ එකමුතුව තීරණය කර ඇත.

රජය අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ ද වැඩ කරන ජනතාව විසින් අද පවත්වන වැඩ වර්ජනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ (ඊ) ඡේදයට සහ වෘත්තීය සමිති ආඥ පනතේ 25 වැනි වගන්තියට එකඟ බවද ඊයේ (20 දා) කොළඹ නිපොන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නීතිඥ එකමුතුවේ නීතිඥ සුනිල් වටගල මහතා කීවේය.

මෙය කිසි විටෙකත් නීති විරෝධී වර්ජනයක්‌ නොවන බවද කී වටගල මහතා කලින් දැනුවත් කර පවත්වන මෙම වැඩ වර්ජනයට සහභාගි වන්නන්ට එරෙහිව ආණ්‌ඩුව කටයුතු කළොත් ඒ සම්බන්ධව නීතිඥ එකමුතුව කොන්දේසි විරහිතව පෙනී සිටින බවද කීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥවරුන් වන ගුණරත්න වන්නිනායක, සුරංග බණ්‌ඩාර, මනුගුල කුමාරගේ, හරිෂ්ක සමරනායක සහ මංජුල පතිරාජ යන මහත්වරු ද සහභාගි වූහ.


අද වර්ජනයට ආණ්‌ඩුව බය වෙලා - රනිල්

විදුලි ගාස්‌තු වැඩි කිරීමට අද (21 වැනිදා) පවත්වන වැඩවර්ජනයට ආණ්‌ඩුව බියවී, පරාජයද භාරගෙන ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එලෙස වැඩ වර්ජනයට බියවූ ආණ්‌ඩුව පාසල් දරුවන් ශීල පිංකම්වල යොදවන ලෙසත්, වැඩ වර්ජනයට සහාය දක්‌වන බස්‌රථවල මාර්ග බලපත්‍රය අහෝසි කරන බවත් කියා ඇතැයි සිරිකොත දී ඊයේ (20 දා) පැවැති එජාප සන්නිවේදන බළකා වැඩමුළුවේදී විපක්‍ෂ නායකවරයා පැවැසීය.

අසීමිත ලෙස, අසාධාරණ ලෙස වැඩිකර ඇති විදුලි ගාස්‌තුව වහාම හකුලා ගන්නා ලෙසට ආණ්‌ඩුවට බලකරමින් තර්ජනවලට බිය නොවී අද වැඩ වර්ජනය සඳහා එක්‌වන ලෙස ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.

ආණ්‌ඩුව මොන සෙල්ලම් දැම්මත් අද ක්‍රියාත්මක වැඩ වර්ජනය නතර කිරීමට නොහැකි බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.


වර්ජනය නොතකා සේවයට එන අයට
හිරිහැර කළොත් පොලිස්‌ භාරයට ගන්නවා

- පොලිස්‌පති

වැඩ වර්ජනය නොතකා සේවයට පැමිණෙන සේවකයන්ට හිරිහැර කිරීමට පෙළඹෙන කවර පුද්ගලයකු වුවද පොලිස්‌ භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ (20 දා) පැවැසීය.

මෙම වර්ජනය නිසා අද පොලිස්‌ රැකවල් තර කරන බව ද පොලිස්‌පතිවරයා පැවැසීය.

මේ අතර රජයේ දේපළවලට හානිකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන්ද අද නගරවල සහ රජයේ ආයතන අසල රාජකාරියේ යෙදෙන බව පොලිස්‌ ආරංචි මාර්ග කියයි.
 
Related Posts with Thumbnails