Ads 468x60px

.

රබර් බෝලයක්‌ නිසා මිල කළ නොහැකි අහිංසක ජීවිත දෙකක්‌ මුහුදු රකුසා බිලිගත් හැටි...

බෝලය සමග ආ මරුවා මලිෂා, ඉසුරු අරන් ගියා..!

ගුණවර්ධන ආරච්චිගේ මලිෂා ඉරුණි දියණිය උපන්නේ දෙදාහේ ජනවාරි මස අට වැනි දින කොළඹදීය. මට්‌ටක්‌කුලියේ සම්මන්ත්‍රණපුර අංක 47/H/43 දරන නිවසේ විසූ ඇය පවුලේ වැඩිමහල් දියණිය වූවාය. ඇයට බාලව කෝසල පැතුම් මල්ලී (9), තරුෂි හිරුණි සහ වරුෂි හිරුණි (5) යනුවෙන් නිවුන් සොහොයුරියන් ද දෙදෙනෙකි.

මලිෂාගේ පියා දුමින්ද ප්‍රසාද් සහ මව දිලිෂා උදයංගනී විය. ඉගෙනීමේ කටයුතුවලට දක්‍ෂ ශිෂ්‍යාවක වූ ඇය කොටහේනේ ජනාධිපති විද්‍යාලයේ අටවැනි ශේ්‍රණියේ පාසල් කටයුතු සිදු කරමින් සිටි දක්‍ෂ ක්‍රීඩිකාවකි. අවුරුදු දහතුනක්‌ පමණ මට්‌ටක්‌කුලියේ පදිංචිව සිටි ඔවුහු නව නිවසකට ගෙවදීම සඳහා 2013 අප්‍රේල් මස 16 දින වත්තල හැඳල දික්‌ඕවිට අවරකොටුව ප්‍රදේශයට පැමිණියහ.

දික්‌ඕවිට ප්‍රදේශයට පැමිණි සියලුම දෙනා සතුටින් කාලය ගත කළහ. මෙසේ කාලය ගෙවී යද්දී පසුගිය අප්‍රේල් 25 (පෝය දින) කෑම වර්ග ද රැගෙන ප්‍රීතිපුර ෆෙගාසස්‌ රීෆ් හෝටලය ආසන්න මුහුද ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ

මුහුදේ නෑම සඳහාය. මෙදින ඒ සඳහා පවුලේ උදවිය අතර මලිෂා ඉරුණි ද, තරුෂි හිරුණි, වරුෂි හිරුණි, කෝසල පැතුම්, ඉසුරු මධුසංඛ, සඳුනි, දිල්හානි, මර්වින් සහ අසල්වාසීන් තිදෙනකු ද එකතු වූ පිරිස අතර වූහ.

මුහුදේ නෑමට ගිය පිරිස රබර් බෝලයක්‌ ද රැගෙන ඉතාමත් සතුටින් වෙරළේ ක්‍රීඩා කරමින් සිට ඇත.

මේ වන විට සවස තුනයි තිහට පමණ වී තිබිණි. දෛවයේ ඉරණම කෙසේ විසඳිය යුතු දැයි කාටත් හොරා ඔවුන් සියලුම දෙනා වෙත පැමිණියේය. හිටි හැටියේම ක්‍රීඩා කරමින් සිටි අය අත තිබූ රබර් බෝලය ඉදිරියෙන් තිබූ ගල්වැටියේ වැදී මුහුද දෙසට ඉතාමත් වේගයෙන් ඇදී ගියේය.

මලිෂා දුවගේ මහප්පා වන මර්වින් ඉදිරියට යන රබර් බෝලය අල්ලා ගැනීමට උත්සාහ කර ඇත. ඉන් පසු මාමාගේ පුතා වන චමින්ද බෝලය අල්ලා ගැනීමට පීනා ගොස්‌ ඇත. ඉසුරු පුතා ද දිව යන අතරතුරදී මලිෂා දුවද ඔහු පසුපස දිවගොස්‌ ඇත. ඉන් පසු ඉසුරු පුතාගේ මව වන දිල්හානි ද මලිෂා දුවගේ මව උදයංගනී ද ඔවුන් පසුපස ගොස්‌ ඇත්තේ රබර් බෝලය අල්ලා ගැනීමට නොව තම දූ දරුවන්ගේ දිවි බේරා ගැනීමටය.

නමුත් සිදුවූයේ දිල්හානි නොසිතූ දෙයකි... දරුවන් බේරා ගැනීමට මුහුදු වෙරළට ගිය ඔවුන් දෙදෙනාටම සිදුවූයේ මුහුදු රළ සමග පොර බැදීමටය. එහිදී ඔවුන් දෙදෙනාගේ ජීවිත ද මුහුදේ ගිලී යැමට ගොස්‌ ඇත.

රුදුරු මුහුදු රකුසාගේ කැමැත්තට වාසි වෙමින් ජීවිත හයක්‌ පමණ බිලි ගැනීමට සූදානම් වුවත් විශේෂ හාස්‌කමකින් දොa සතර දෙනකුගේ දිවි ගලවා ගැනීමට අසල්වැසි ධීවරයකුගේ පිහිටෙන් හැකිවී ඇත. මලිෂා දුව සහ ඉසුරු මධුසංඛ පුතා තෙප්පමක්‌ ආධාරයෙන් ගොඩට ගෙන ආවද ඉසුරු පුතාගේ අවසන් හුස්‌ම පොද දික්‌ඕවිට වෙරළෙහි සුළඟට මුසුව ගියේය. මුහුදේ ගිලී ගිය මලිෂා දුවගේ සිරුර සවස අසල්වාසී තරුණයකු විසින් වෙරළේ සිට ඔවුන් මුහුදේ නාමින් සිටි ප්‍රදේශයේ කිමිදී පරීක්‍ෂා කොට ගොඩට රැගෙන එන ලදී.

ඉන් පසු වත්තල පුද්ගලික රෝහලකට ඇගේ ඥතීන් විසින් රැගෙන ගිය ද මලිෂාගේ අවසන් හුස්‌ම පොද ද සුළඟට මුසුව තිබිණි.

මෘත ශරීර පරීක්‍ෂා කර බැලූ රාගම වැඩබලන හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු වෛද්‍ය එම්. පී. පී. වී. ද අල්විස්‌ මහතා විසින් මලිෂා ඉරුණි සහ ඉසුරු මධුසංඛ යන දරු දෙදෙනාගේ මරණය දියේ ගිලී හුස්‌ම හිරවීමෙන් සිදුවූවක්‌ බව තීන්දු කරන ලදී.

ඉසුරු මධුසංඛ පුතුගේ අවසන් කටයුතු කෙරවලපිටිය සුසාන භූමියේදී ද මලිෂා ඉරුණි දැරියගේ අවසන් කටයුතු තොටළඟ මාදම්පිටිය සුසාන භූමියේදී ද සිදු කෙරිණි.

මිල කළ හැකි රබර් බෝලයක්‌ පසුපස හඹා ගොස්‌, මිල කළ නොහැකි අහිංසක ජීවිත දෙකක්‌ මෙසේ මුහුදු රකුසා විසින් මරු වැළඳ ගැනීමට සලස්‌වන ලදී.
 
Related Posts with Thumbnails