Ads 468x60px

.

රතු වැස්සෙන් අපට කියන පෙර නිමිත්ත අසුබ එකක්ද..?

රටේ ඉදිරි අනාගතය ගැන කියැවෙන අසුභ ලකුක් මිසක් එය සුභ ලකුණක් නොවේලු.

කලාතුරකන් ආයුධ වැස්සක් ඇද හැලීමත් සුභ ලකුණක් නොවේලු...

රජරට හේන් ගොවිතැන් කිරීමේ දී එක් වර්ෂයක් තුලදී දෙවතාවක් භෝග ඉසීම සිරිතකි. යල් කන්න හා මහ කන්න යනුවෙන් මෙම අවස්ථා දෙක හඳුනා ගනී. අගෝස්තු මාසයේ මහ නිකින්නිය ගෙවා සැප්තැම්බර් මස මැද භාගයෙන් පසු විසිවැනි දින ආසන්නයේ දී දළ වශයෙන් මාස් වැහි ආරම්භ වන වැහි දින තුනකි. 

පේරු වැසි මුර වැසි නමින් ආරම්භ වන වැස්ස පළමු දින සාමාන්‍ය වර්ෂාවක් ලෙසට පටන් ගෙන පසු දින වෙනදාට වඩා ඉතා උණුසුම් කාලගුණයක් බවට පත් වී දවස ගෙවී ගොසින් පසු දින සන්ධ්‍යා භාගයේ ඉතා තදින් මහ වරුසාවක් කඩා හැලේ ද ඉන් අනතුරුව පසු දින පෙර දින මෙන් ම ඉතා උණූසුම් කාල ගුණයක් ඇති කරමින් දවස ගෙවා හැර ඊට පසු දින ද පෙර මෙන් තද වර්ෂාවක් ඇද හැලෙමින් පවතීද එය වඩා ඵලදායී වර්ෂා ආරම්භයක පෙර නිමිති වෙයි. 


දින තුනක් දවසක් හැර දවසක් මුර ක‍්‍රමයට වසින වැසි තුන් වැනි දින අවසන් කරමින් දළ වශයෙන් දින පහලොවක් පමන තද වියළි උණූසුම් ස්වභාවයක් ගනිමින් පවතී . නැවත දින පහලොවකට පමණ පසුව ආරම්භ වන වර්ෂාව එක දිගට මාස තුනක් හතරක් ඇද හැලීම ස්වභාවිකය. 

මේ අතර සවස පමණක් වැසි උදේ කාලයේ පමණක් වැසි උදේ සිට සවස් වෙන තෙක් ඇද හැලෙන වැසි සවස සිට එළිවන තෙක් ඇද හැලෙන වැසි දිවා රාත‍්‍රී දෙකේම
ඇද හැලෙන වැසි දින ගණනාවක් ඉර හඳ නොපෙනෙන සේ ඇද හැලෙන වැසි මෙන්ම එක දිගට එක විදියට ඇද හැලෙන හත්දා වැසි ආදී විවිධ ආකාරයට හඳුන්වන වැසි ඇති වීම මාස් කන්නයේ ස්වභාවයයි.

වර්ෂාව ආරම්බ වීමට පෙරාතුව උදාවන කන්නය පිළිබද අනාවැකි කීමට රජරට ගොවියාට හැකියාවක් ඇත. ස්වභාවිකව ඇති වන පරිසර වෙනස්කම් ඊට සාක්ෂි දරයි. වැසි ආරම්භ වීමට කලින් ඇතිවන මිරිඟුව ද වැසි දින නිශ්චය කිරීමට පහසුකම් දක්වයි. 

වර්ෂාවේ බරපතලකම සහ වැසි ඇතිවීමට ආසන්න දින වකවානු නියම කිරීමට ආකාශයේ පියාසර කරන උකුස්සන්ගේ හඬලෑම මෙන්ම උන්ගේ ක‍්‍රියාකාරිත්වය ගොවියාගේ අවධානයට ලක්කරනු ලබයි. ආසන්නම අවස්ථාවකදී වර්ෂාව පිලිබද පෙර නිමිති කියා පෑමට ගවයා වගේම බල්ලා සමත් ය.

වැසි ඇති වීමට සූදානම් වන මොහොතේ එහි බරපතලකම මිනිසාට වඩා බල්ලා විසින් වටහා ගෙන වෙනදාට වඩා කලබලයකින් බල්ලා ආරක්ෂක ස්ථාන සොයා ගැනීමට දරන වෙහෙස ගොවියා හඳුනා ගනී. වෙල් යායේ හා වැව් පිටියේ ගවයාගේ ද ඉරියව් ද එසේය. 

කුමන අවස්ථාවක වුවද වර්ෂාව හමා එන්නේ කුමන දිශාවකින්ද යන වග හඳුනාගෙන ගවයා රංචු විසින් එක්වී හෝ තනි තනිව වර්ෂාව හමා එන දිශාවට හිස දික්කර ඉව කරනු ලබයි. ගවයා විසින් කරනු ලබන මෙම පරීක්ෂණයද ගොවියාගේ අවධානයට යොමු කරනු ලබයි. එයින් වර්ෂාව හමන්නේ යලෙන්ද මහෙන්ද යන්න ගොවියා තීරණය කරනු ලබයි.

ගෙම්බාගේ හඬ ලෑමද ගොවියාට හුරු ක‍්‍රියාවලියෙකි. දින ගණනාවකට පසු ආරම්භ වන්නේ නම් සවස තුන හතර පමණ වන විට ගෙම්බෝ විටින් විට තැනින් තැන හඬලනු ලබයි. වැසි ආසන්න නම් ගෙම්බෝ දිගින් දිගටම හඬ නිකුත් කරයි.මෙයින් වර්ෂාව පිළිබඳව ගොවියා තීරණයකට බසී. 

පැයක් පමණ කාලයක් තුලදී වර්ෂාව ඇති වන්නේ නම් කුකුළා ඒ පිලිබඳ පෙර නිමිති පහළ කරනු ලබයි. ඉතා කලබලයෙන් තමන් වාසය කරනු ලබන කූඩුව අසල ගැවසීමත් පැටවුන් රකින කිකිළියක් නම් තම පැටවුන් පෙරටු කර ගෙන වහ වහා ආරක්ෂිත ස්ථානකර යන්නේ නම් තවද වෙනදාට වඩා තටු හකුලාගෙන කූඩු අසල ගැවසෙන්නේ නම් වැසි ආසන්න බවට හෝඩුවාවකි.

පෙර මං සළකුණු පෙන්වන වර්ෂාව ඇද හැලීමකින් තොරව ගහ ගෙන යන්නේ නම් කුකුලාගේ මෙවන් කලබල ස්වභාවයක් නොපෙන්වන බව විශේෂ සිද්දියකි. 

පාරිසරිකව ගහ කොල ආදියේ කොල පත‍්‍ර විටින් විට කණපිට හැරී සුළගේ අතට නැමීගෙන ගසෙන් ඇද හැලෙන පත‍්‍රය කැරකි කැරකී බිමට පතිත වන ස්වභාවය අත හැර සෘජුවම සුළං අතට ගිලිහී ගොස් ක්ෂණිකව පොළව මතට පතිත වීමද තවත් පෙර නිමිත්තක් වන අතර හමන සුළගේ සිසිල් සහ උණුසුම් ස්වභාවය වර්ෂාවේ තත්වය පැහැදිලි කර දීමට සාක්ෂියකි. 

තවද කුහුඹුවන් වගේම කඩි කුරඹයින් ආදී කෘමීන් ගුල්වලින් ඉවතට කලබල කාරී ලෙසට බිත්තර කරපින්නාගෙන ආරක්ෂක ස්ථාන සොයා ගමන් කිරීම විෂ සහිත නයි කූඹි තෙල් කූඹි ආදීන් විශාල රංචු පිටින් පොළව මතුපිටට පැමිණීම සහ එම කූඹින්ගේ සමහරක් තටු සහිත කූඹින් මතුවීමද වත් පෙර නිමිත්තකි. වැහි ලිහිණියා උකුස්සා කපුටා කොබෙයියා ආදී පක්ෂීන් ද දඬුලේනා ආදී නෙයෙකුත් සතුන්ද වර්ෂාව පිළිබදව ගොවියාට පණිවිඩ ගෙන්වනු ලබයි.

මෙහි සඳහන් කරනු ලැබූවේ වර්ෂාව ආසන්නම අවස්ථාවන්ය. නමුත් සති ගණනාවකට හෝ මාස ගණනාවකට හෝ පෙර ලැබෙන ස්වභාවික ලක්ෂණ වලින් ද වර්ෂාව ගැන කියන්නට ගොවියා දක්ෂ වේ. ඇසල මාසය වනවිට රජ රට වනාන්තර වල විවිධ ඵල දරනු ලබයි. ඒ අතර මාදං දිවුල් සියඹලා වැනි ශාඛ වර්ග විශේෂ පණිවුඩ ලබා දෙයි. 

එරමිණියා වැනි විශාල කටු පඳුරු ද දෙමට කුකුරුමාන් වැනි ශාඛ වර්ගද කන්නය හා වර්ෂාව පිලිබඳව ගොවියාගේ ඉලක්කයට හසුකර ගනු ලැබේ. යම් ආකාරයකට දිවුල් මාදං ඉතා බහුලව ගස්වල ඵල ගෙන ඇත් නම් අතු ඉති ගෙඩි කරල් වලින් නැමී බරවී ඇත්නම් එම මාස් කන්නය ඉතා සරුවට කුරක්කන් බඩ ඉරිගු පැහෙන බවත් කුරහන් බඩ ඉරිගු ආදී වගාවන්ට සුදුසු වර්ෂා සහිත කාලගුණයක් ඇති වන වගත් හඳුනා ගැනීමට ගොවියාට අත්දැකීම් ඇත.

එලෙසම පෙබරවාරි මාසයේ දී මාර්තු මස ආසන්නයේ දී එරමිණියා සහ වැලි බටු තිත්ත තිබ්බටු යන ශාඛ වල සරු ඵලදාවක් ඇත්නම් එම යල් කන්නය ඉතා සරුවට තල වැවෙන බව ගොවීන් දැන සිටියහ. තවද කපුටා කොහා දඬුලේනා ආදීන්ගේ පැටවුන් ගණනද දඬුලේනාගේ කූඩුව ගැනද අධ්‍යනය කිරීමෙන් ගොවියා වර්ෂාවේ ස්වභාවය සහ කන්නයේ ස්වභාවය හඳුනා ගනී.

වර්ෂාව ලැබෙන මාසය අනුව වැසි පෙර මග ලකුණු වගේම නියමිත වකවානුවේ දී (පෝය මුල් කර ගෙන) වර්ෂාව ආරම්භ වීම මෙන්ම වර්ෂාව සුදුසු කාලය මග හැරයාම නියඟය වගේම අකල් වැසි පිළිබඳ ගොවියා කල් ඇතිව හඳුනා ගනී. එම කන්න වල වගාවන් හි සාර්ථක අසාර්ථක බව නිශ්චය කර ගැනීමටද ගොවීන්ට හැකියාවක් ඇත. 

තවද විදිලි කෙටීම දේදුනු පෑයීම රාත‍්‍රී කාලයේ උෂණත්වය ඇති වීම සහ සිසිල් භාවය වගේම රාත‍්‍රියේ නැගෙන නිශාචරයින්ගේ හඬ ආදියෙන් කන්න සහ වර්ෂාව පිළිබඳව ගොවියා විසින් අධ්‍යනය කරනු ලබයි. මේ ආකාරයට වැසි පෙර නිමිති ලාභ අලාබ පෙර නිමිති වගා කළ යුතු බව භෝග ආදිය ගොවියා විසින් තීරණය කරනු ලබන්නේ ස්වභාව ධර්මය හා පරිසරය හොඳින් වටහා ගැනීමෙන්ය.

ඇසළ නිකිණි ආරම්භ වීමත් සමග මාදං ගස් වල අධිකව ඵලදාව ඇති වීර කෝන් පලු ආදිය වැඩි පුර හට ගැනීම දඬු ලේනුන්ගේ පැටවුන් දෙදෙනෙකු ඇති වීම වැසි ඵල වැඩි කරනු වග පෙන්නුම් කළත් දිවුල් ගස් වල අධික ඵලදාවක් තිබුනත් බොහෝ විට දිවුල් ගසේ ගෙඩි කුඩා වීම සහ සියඹලා ගහේ අධිකව ඵලගත් සියඹලා කරල් කේඩෑරි වී මත් විශේෂ අවධානයට ලක් කරන ගොවියා එම කන්නය අසාර්ථක බව හඳුනා ගනී.

එලෙසම සැප්තැම්බර් මස විසි වන දින සිට විසි හත් වන දා දක්වා ඇති පෝය මුල්කර ගෙන වැසි ආරම්බ වීම ට සුදුසු කම් තිබුණත් එම වැසි නිසි පරිදි ලබා නොදෙමින් වැසි සංකේතවත් කරමින් නැවත වියළි තත්වයකට පත් වීම මදක් විමසිලිමත්ව බැලිය යුතු කාරණයක් වෙයි.

2012 මාස් කන්නයේ ආරම්භයේ සිදු වූයේ මෙවැනි තත්වයකි. එහි පෙර මන් ලකුණු මගින් අප තේරුම් ගත්තේ මේ කන්නය අසාර්ථක බවයි. දැනටමත් එම තත්වය වඩාත් පැහැදිලි කර දෙමින් ගංවතුරාව ඇති වී වැව් අමුණ කඩා ගෙන යමින් සුළි සුළං තත්වයක් ද උදා වී ඇත. වෙසෙසින්ම රජ රට ගොවියා මේ නිසා අතරමංව සිටී. 

නියඟයෙන් කාලයක් තිස්සේ බැට වැදීමත් දැන් ජලය වැඩි කමින් උන්හිටි තැන් පවා අහිමි වීමත් නිසා වත්මන් ගොවියාගේ ඛේදවාචකය අපට මැනවින් පැහැදිලි කර දෙයි. ඒ අවු අස්සේ ඇතැම් පළාත්වලට ඇද හැලුණු රතුවැස්ස ගැනද යමක් කිව යුතුය. ඉඳහිට හෝ මාලු වැස්සක් හෝ අයිස් වැස්සක් වැටීම පාරම්පරික අපට නම් හුරු පුරුදුය.  එය සුභ ලකුණකි සශ‍්‍රීකත්වය හඟවන්නකි. 

කලාතුරකන් ආයුධ වැස්සක් ඇද හැලීම ගැනද පැරණියන් ප‍්‍රකාශ කරති. එය සුභ ලකුණක් නොවේ. රටේ අඬ දබර ආරවුල් ඇති වීමට හේතුවකි. මේ යුගයේ තත්වය රතු වැස්සක් බවට පරිවර්තනය වී තිබේ. මෙය වායු දූෂණය මගින් සිදු වන්නකි දෙසැම්බර් මාසය වන විට ග‍්‍රහ ලෝක කීපයක් එක පෙළට පැමිණිමද එයින් ඇති වන සෘතු විපර්යාසයද මෙයින් වටහා ගත යුතුය. 

ඒ සමගම රටේ අධර්මිෂ්ඨ භාවය ද මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. මේවා රටේ ඉදිරි අනාගතය ගැන කියැවෙන අසුභ ලකුණු වෙයි. ජාතක කතා පොතේ චතුක්ක නිපාතයෙහි දැක්වෙන රාජෝවාද දේශනා කතා කියවන කල්හි මේවාවාට හේතු මැනවින් පැහැදිලි වේ.   

මෙම පාරම්පරික දැනුමද ධාර්මික දේශනා පිළිබඳ දැනුමද රටට අලුත් දෙවල් නොවේ. එහෙත් මිණි කැට වීසි කර ගල් බොරලු ඇහිද ගන්නා වත්මන් සමයේ මේ අගනා උපදේශද යටපත්ව තිබේ. වත්මන් අර්බුද වලට පිලියම් සෙවිය යුත්තේ ඒ දැනුමෙනි.

- පූජ්‍ය සියඹලන්ගමුවේ ජිනරතන හිමි  / රාජාංගනය යාය 8
 
Related Posts with Thumbnails