Ads 468x60px

.

21 වෙනිදා ලෝක විනාශයෙන් බේරෙන්න ප්‍රංශයට එන්න

විනාශ නොවන ගම්මානය විදේශිකයන්ගෙන් බේරා ගැනීමට දැනටමත් ‍පොලිස් මුර...

යුරෝපයේ උෂ්ණත්වය සෘතු භේද අනුව කාල පරිච්ජේද හතරකට වෙන්වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවැතී ඇති උෂ්ණත්ව කාල සටහනේ අගයන් සාමාන්‍යයක් ලෙස සෙන්ටිග්‍රේඩ් අංශක 45 හා සෘන අංශක 16 අතර වෙයි. 

මෙම උෂ්ණත්ව අන්තරයන්හි පැවැතීම අවබෝධ කරගත් මිනිසා අවුරුද්දේ ඒ ඒ මාසයන්හි පවතින කාලගුණයන්ට අනුකූලව සෘතු හතරකට බෙදා වෙන් කර ගත්තේය.මේ විභේදනය සරත් සෘතුව, ග්‍රීෂ්ම සෘතුව, සීතල සෘතුව, හා වසන්ත සෘතුව ලෙසින් හැඳින්වේ. 

මේ අනුව යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද ජීවත් වන්නෝ ඉහත සෘතු විභේදනයට අනුගත වී සිටින්නෝය. සෘතුවේ පවතින උෂ්ණත්වය අනුව, ඇඳුමෙන් පැළඳුමෙන් ගමනෙන් බිමනෙන් කෑමෙන් බිමෙන් ආදී වශයෙන් සිදුවන සම්පූර්ණ ජීවන ක්‍රියාදාමයට මිනිසා නොදැනුවත්වම අනුවර්තනයවී සිටින්නේය. 



මිනි ගවුමේ සිට ලෝම කබාය දක්වා මාස දොළහක් තුළ ස්වයංක්‍රීයව සිදුවන මේ වෙනස දුකක් මෙන්ම සුන්දරය. ශීත සෘතුවේදී ගැහැණියගේ රුව වැසී යාම සමහරුන්ට විටෙක දුකක් ගෙන දෙයි. කාන්තාව උතුම් වස්තුවක් ලෙස සලකන ඇගේ සුන්දරත්වය, සියලුම කෝණයන් ගෙන් අගයන හා සුරකින බවට සුප්‍රසිද්ධ ප්‍රංශයේදී ඉහත සියලු දේ සිදුවන්නේ සෑම වසරකම මාස තුනකට වරකි.

එයද එම නියමිත මාසයේ 21 වෙනිදාට යෙදී තිබිමද විශේෂත්වයකි. ප්‍රංශය මේ දිනවල ශීතලය. අධික ජනගහනයක් ඇති අගනගරය වන පැරීසියේ උෂ්ණත්වය සෙන්ඩිග්‍රේඩ් අංශක 2කි. එසේ නමුදු ඉහත සෘතු විභේදනයට අනුව ප්‍රංශයේ ශීත සෘතුව ආරම්භ වන්නේ දෙසැම්බර් මස 21 වෙනි දිනයේදී. 

2012 දෙසැම්බර් 21 වෙනි දින ප්‍රංශයේ ශීත කාලයේ ආරම්භය මෙන්ම මුළු ලෝකයාම ඇස් දල්වා බලා සිටින ලෝකයේ අවසාන දිනයද වීම විශ්මය දනවන සංසිද්ධියකි. ආදි මායාවරුන්ගේ අද්භූත දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 දහවල් 11.11ට නොහොත් ලංකාවේ වේලාවෙන් සවස 15.41ට ලෝක විනාශය සිදුවන අති විශේෂිත දිනයක් බවට පත්වී හමාරය. එයද 12,12හා 21 ලෙසය. 



ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ ජාතික සුවඳ විලවුන් නිෂ්පාදකයෙකු වන ෆැකෝ රබානා බොහෝ කලෙක සිට මෙම දිනයෙන් සමුගැනීමට සුන්දර කතා කියන සුවඳ විලවුන් මෙන් සුවඳවත් මිනිසෙකි. අද ලෝකයේ බොහෝ දෙනෙක් ලෝක විනාශය ගැන හිතමින් කමින් බොමින්, ගයමින්, නටමින්, ශෝක වෙමින්, අතපය දිගහැර වියදම් කරමින් වෙස්සන්තරයන් මෙන් ජීවත් වෙති. එසේ නමුදු මෙම විනාශයෙන් දිවි ගලවා ගත හැකි මාර්ග ඇත්තේ එකක් පමණය. එය කුමක්ද? ප්‍රංශයේ ජීවත් වීමය. 

මෙය ලෝක පාලක ඉසිවරයන් මෙන් සමහරු අග්‍රතන්හි ලා සලකන මායාවරුන් වර්ෂ සිය දහස් ගණනකට පෙර කළ දේශනාවන්හි සඳහන් වී තිබේ. එම දේශන සත්‍යය අසත්‍යය මිශ්‍රණයකින් යුක්ත වූ ව්‍යාකූල අපභ්‍රංසයක් වුවද එසේ නොවන බව පිළිගන්නෝ බොහෝය. 

එසේ හෙයින් මෙම දෙසැම්බර් 21 න් පසු ජීවත් වන්නේ ප්‍රංශයේ වැසියන් පමණක්ද? එම නිසාම ලෝක වාසීන්ගේ නෙත් මේ දිනවල ප්‍රංශය දෙසට නාභි ගත වී ඇත්තේය. එසේ වූ හෙයින් ඉදිරියට මෙය හිසරදයක් වන බව වටහා ගත් ප්‍රංශ පාලකයන් හිස රුදාව ඇති නොවීමට වැඩ කටයුතු සැලසුම් සකස් කළොය. 

එසේ වූයේ ඇයි? ප්‍රංශයේ දකුණු දිශාවේ ගිනිකොණ හා දකුණ එක් කරන සමපාද ත්‍රිකෝණ ප්‍රදේශයේ ඇති බුගරාච් නම් වූ සුන්දර ගමට පැරීසියේ සිට දුර කි.මී. 810කි. එම ගම ආසන්නයේම ඇති කර්කසොන් නම් වූ ප්‍රධාන නගරයට පැරීසියේ සිට අධිවේගී දුම්රියෙන් පැය පහකින් ළඟා විය හැක. 

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැරීසියේ සිට පැය 7.30 කින් ඉහත නගරයට ළඟා විය හැක. කර්කාසොන් ප්‍රධාන නගරයට නුදුරින් පිහිටි කුඩා ගමකි බුගරාච් මුහුදු මට්ටමෙන් මී: 427 උසකින් වර්ග කි.මීටර් 27ක් පමණ විශාල මෙම ගම ප්‍රංශයේ ෆිරණේ ලෙසින් හඳුන්වන ඉතා රමණීය කඳු වැටිය පිහිටා ඇති ඕබ් නමින් හඳුන්වන පළාතේ පිහිටා තිබේ. 

එහි සිට මධ්‍යධරණී මුහුදු වැල්ලට පැයකින් ළඟා විය හැක. ස්පාඤ්ඤ උතුරු හා ප්‍රංශ දකුණු දේශ සීමාව අතර පිහිටි අන්ඩෝරා ස්වරාජ්‍යය හා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරය ලබන ලුර්දු මෑණියන්ගේ දෙව් මැදුර පිහිටි ලුර්දු නුවර, මේ බුගරාච් ගමට නුදුරින් පිහිටි ප්‍රධාන සංචාරක ප්‍රදේශයන්ය. 

මී: 1231 අහස් උසට විහිදුණු හරිත වර්ණයෙන් පිරි කඳු හෙළය අයත් එම කඳු වැටිය හඳුන්වන්නේ බුගරාව් කන්ද ලෙසිනි. එබැවින් මෙම කඳු පාමුල පිහිටා ඇති ගම බුගරාව් ලෙස හඳුන්වයි. කඳු වැටියේ ගල් ගුහාවක් ඇත. එහි ස්වභාවයෙන් නිර්මාණය වූ විශාල ගල් බිත්තියකි. මෙම අරුම පුදුම බිත්තිය ආශ්‍රිතව විවිධ ප්‍රබන්ධ කතා ගම්මුන්ගේ සිහිවටන අතරට එක්වී ඇත්තේය. 

කෙසේ වෙතත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ වූ චුම්භක ක්‍ෂේත්‍රයක් ඇති බව සඳහන් කර තිබේ. නොයෙක් අවස්ථාවල දේවතා එළි වැනි ආලෝකයන් දක්නට ලැබෙන බවත් නොයෙකුත් ශබ්ද සහ අද්භූත සිද්ධීන් සිදුවන බවත්. එම ප්‍රදේශයේ සැරිසැරූ සංචාරකයන් අන්තර්ජාලයේ සඳහන් කර තිබේ. 

ස්වභාවධර්මයේ මනස්කාන්ත නිමැවුමක් වන බුගරාච් ගම ඉතා සුන්දරය. ෆිරණේ කඳු වැටියෙන් ගලා එන දිය දහරින් ‍පෝෂණය වී සතර අතින් ගලා බැස යන දියවැල් සවනට සිසිලකි. හරිත වර්ණයෙන් බැබලෙමින් සිරි සිරි හඩින් නැලවෙන අතු රිකිලි මේ දිනවල මහ ‍පොළොව ‍පෝෂණය කිරීමට සහාය දෙමින් කිරි කැටි මෙන් සිනිඳු හිම කැට විසුරුවාලමින් පරිසරයම ස්වේත වර්ණ කරනු දක්නට ලැබේ. 

මෙවන් සුන්දර පරිසරයක් ඇති ඉහත ගමේ ජීවත් වන්නේ පවුල් 189කි. පසුගිය වසරවලදී මෙම ගමේ විදේශීය සංචාරක ආගමනය නොසිතූ ලෙස ගම් වාසීන් මවිත කරවමින් ඉහළ ගියේය. ඉඩකඩම් මිලදී ගැනීම, නිවාස, මිලදී ගැනීම, නැරඹීම, තාවකාලිකව ජීවත්වීම ආදී ලෙසින් මෙම සුන්දර ගමේ ජන සංයුතිය ඉහළ අගයක් නැංගේය. 

මෙම විදේශීය ආගමනය හා පැළපැදියම් වීම තුළ ඇමෙරිකානුවන් හා ස්කැන්ඩිනේවියානුවන් ජාතීන් ලෙස වැඩි අගයක් ගත්තේය. මෙම වෙනස නුවණින් අවබෝධ කර ගත් ගම් පාලකයෝ රාජ්‍ය සභාවේ අනුමැතිය පරිදි එම ගමට පමණක් බල පැවැත්වෙන නීතියක් අනුමත කරගත් අතර ඒ අනුව 2011 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ප්‍රදේශයට අයත් ඉඩකඩම් හා නිවාස විකිණීම සපුරා තහනම් විය.

සංචාරකයන්ට පැමිණීමද තහනම් විය. එපමණක්ද නොව 2012 දෙසැම්බර් 19  වෙනිදා සිට 23 දක්වා ගම් වැසියන් හැර වෙන කිසිම කෙනෙකුට මෙම ගමට ඇතුල් වීමේ තහනම් නියෝගයක් සමග හමුදා හා ‍පොලිස් භටයන්ගේ ආරක්ෂක වලල්ලක්ද පැය 24 පුරා ගමේ භූමිය ආරක්ෂා කරති. 

ගුවනින්ද එලෙසමය. දැඩි ආරක්ෂාවකින් ගම රැකීම හේතුකොට සතුටට පත් ගම් වැසියෝ විශේෂ අවසරපත් පෙන්වමින් ගමට එති හා යති. එසේ නොවුනි නම් එම දිනයට බුගරාච් ගම කෝටි ගණනක් වූ මිනිස් හිස් ගෙඩිවලින් වැසී යාම සිදුවනු නොඅනුමානය. 

ලෝක විනාශ මායා කතාවේ බුගරාච් ගම සුවිශේෂී ස්ථානයක් බව සාමාන්‍ය ජනයා කෙසේ වෙතත් මායා කතා අදහන්නෝ දනිති. මෙසේ වූයේ ඇයි? 

මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 3000 දක්වා ඈතට දිව යයි. දකුණු ඇමෙරිකානු භූමියේ මෙක්සිකෝව, වොලිෂ්, ගෝතමාලා. හොන්දුරාස්. එල්සැල්වදෝර්, ආදී ප්‍රදේශයන් ආශ්‍රිතව ගොඩ නැගුණු මේ ශිෂ්ටාචාරය ඉතා දියුණු සංස්කෘතියක් මෙන්ම ලිවීම. කලා ශිල්ප, කෘෂිකර්ම, ගණිතය, තාරකා විද්‍යාව, ආදී විෂය ක්ෂේත්‍රයන්හි දියුණුවට පත් බුද්ධිමතුන්ගෙන් පරිපූර්ණ වූවක් බව හේතු සාධක ඇතිව ඔප්පු වී තිබේ. 

ලෝකය ගෝලාකාර බව පවා නොදැන සිටි සමයක ගණිත දැනීම උපයෝගී කරගනිමින් චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ සිදුවන දින නිවැරදිව ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් දක්ෂයින් වූවෝය. 

ඔවුන් දින දර්ශන කීපයක්ම සකස් කර තිබේ. ගණිතයට අනුව කීපයක් 13 නේ පාදයෙනුත් අනෙක් දින දර්ශන 20 පාදයෙනුත් නිමවා තිබේ. එක් දින දර්ශනයක ක්‍රි.පූර්ව 3114 අගෝස්තු දිනයද සඳහන්ව තිබේ. මේ අනුව එතරම් ඈත අතීතයේදී ඔවුන්ගේ ශිෂ්ටාචාරයෙහි තිබූ දියුණුව කෙසේදැයි සිතා ගැනීමට ඔබට භාර කරමි. ක්‍රි.ව. 200 සිට 1000ත් අතර වූ කාලය ඔවුන්ගේ දියුණුම කාලය විය හැකිය.

එහි සිටි බුද්ධිමතුන් තම සංස්කෘතිය, විද්‍යාත්මක දැනීම, කලා ශිල්ප, ගෘහ නිර්මාණ, ගණිතය, තාරකා විද්‍යාත්මක දැනීම, ඒ හා සම්බන්ධ වෙනත් කරුණු ‍ලේඛන ගත කළොය. ඔවුන්ගේ එම කර්තව්‍යයේ එක් ප්‍රතිඵලයක් ලෙස දැනට කතා බහට ලක්වී ඇති මායාවරුන්ගේ කැලැන්ඩරය හැඳින්වීමට පිළිවන. 

ඉහත දැක්වූ දිනයෙන් දින දර්ශනය අවසන් වී තිබේ. මේ අනුව ඇතිවෙන ලෝක විනාශයෙන් මුළු ලොවම විනාශ වන නමුත් එදිනට පෘථිවි ගෝලයේ එක්තරා අංශක ගණනක දේශාං රේඛාව හා ග්‍රිනිච් සිරස් රේඛාව කැපෙන ලක්ෂය විනාශ නොවන බවත් මායාවරු විසින් ‍ලේඛන ගත කළ මායා ජාතක ‍පොතේ සඳහන් වන්නේලු. 

ඒ අනුව එම දිනයට ඉහත සඳහන් විනාශ නොවන ලක්ෂය කේන්ද්‍රය වූ ප්‍රදේශය පිහිටා ඇත්තේ ප්‍රංශයේ ඉහතින් සඳහන් බුගරාච් යනුවෙන් හැඳින්වූ ගමේය. මායා ජන කොට්ඨාසය වර්තමානයේ වෙනත් ජාතීන් සමග මිශ්‍ර වී ගොසිනි. මායාවරුන් යයි හඳුන්වාගනු ලබන 2000ටත් අඩු ප්‍රමාණයක් අදටත් දකුණු ඇමෙරිකාවේ ජීවත් වන්නේය. 

වර්ෂ මිලියන ගණනක් ඈත අතීතයේ සිට මේ දක්වා පැමිණි මායාවරුන්ගේ කතා වස්තුවේ සාරාංශය එසේය. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට මායා ‍පොත් කියවිය යුතුය. මායා ‍පොත්වලට අනුව දිවි ගලවා ගැනීමට ඉහත ගමට මෙතරම් වලිකන්නේ මරණයට බය බියගුල්ලන්ය. 

මරණයට බය ජනතාවක් බාර ගැනීමට ප්‍රංශය කොහෙත්ම කැමති වන්නේ නැත. එබැවින් මර බිය ඇති බියසුල්ලන්ගේ පැමිණීම වැළැක්වීමට ප්‍රංශ පාලකයෝ ගම ආරක්ෂිත ගමක් කළොය. 
අද ප්‍රංශයේ බුගාරාච් ගම් අධි ආරක්ෂිත කලාපයකි.
 
Related Posts with Thumbnails