Ads 468x60px

.

සරසවි සිසුවිය වැටුණාද? පැන්නාද?

පරීක්‍ෂණ පවත්වනවා -පොලිසිය

මහත්තයෙක්‌ කිව්වා දුව වැටිලා ඉක්‌මනට එන්න කියා -පියා


කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලෙන් බිමට පැනීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කරන ලද ශිෂ්‍යාව ඊයේ (18 වැනිදා) පෙරවරුවේ මිය ගියා.

ශෂිප්‍රභා ගුණරත්න නම් වූ මෙම ශිෂ්‍යාව ගොඩනැඟිල්ලෙන් පැන ඇත්තේ පෙරේදා (17 වැනිදා) උදේ 10 ට පමණය. පසුව ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර එහිදී ඇය ශල්‍යකර්ම කිහිපයකටද භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා. 

අංක 29 නව නගරය, ලුණුගම්වෙහෙර යන ලිපිනයේ පදිංචි ශෂිප්‍රභා ප්‍රථමයෙන්ම ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයටය. ඉන්පසුව ඇයට කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට ඇතුළත් වීමට අවස්‌ථාව ලැබී තිබෙනවා.

පසුගිය මස විද්‍යා පීඨයට ඇතුළත් වූ විසිඑක්‌ හැවිරිදි මෙම ශිෂ්‍යාව අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ පීඩනය මත ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසනවා. "කැම්පස්‌ එකේ මහත්තයෙක්‌ දුරකථන ඇමතුමක්‌ දෙමින් මට කිව්වා දුව පඩි පෙළෙන් ලිස්‌සලා වැටිලා කියලා. කව්රු හරි ඉක්‌මනට එන්න කියලත් කිව්වා."


කොළඹ විද්‍යා අංශයේ පළමු වසරේ සිසුවියක කොළඹ විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ලක පස්‌වැනි මහලින් බිමට වැටී
මියයාම සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ පියා වන කලුදුර අමරසිරි ගුණවර්ධන මහතා පැවසුවා. මෙලෙස මියගොස්‌ ඇත්තේ ලුණුගම් වෙහෙර නව නගරය පදිංචිව සිටි කලුදුර තිලිණි ශෂී ප්‍රභා රන්දිමාලි ගුණවර්ධන (22) නමැති සිසුවියයි.

"මා සේවය කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. මියගොස්‌ සිටින්නේ මගේ දෙවැනි දුව. පළවැනි දුව උපාධිය කරලා ගෙදර ඉන්නේ. මියගිය දුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළවැනි වසරේ ඉගෙනුම ලැබුවා. ඇය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා මාස තුනක්‌ ඇති."


"දුව නුගේගොඩ බෝඩිමක බෝඩිං වෙලා සිටියා. ඇය සිටි බෝඩිමේ තවත් ළමයින් තුන් දෙනෙක්‌ ඉන්නවා. දුව නුගේගොඩ බෝඩිමේ ඉඳන් කොළඹ කැම්පස්‌ එකට ගියේ බස්‌ එකේ. ඇය මාසයකට දෙවතාවක්‌ ගෙදර ඇවිත් ගියා. දුව සංතෝෂයෙන් සිටියා."

"මේ සිද්ධිය වුණේ 2013/06/17 වැනිදා. මා සිටියේ කාර්යාලයේ. උදේ 10.00 ට විතර මට කැම්පස්‌ එකේ මහත්තයෙක්‌ දුරකථන ඇමතුමක්‌ දෙමින් කිව්වා දුවට කරදරයක්‌ කියලා. දුව පඩිපෙලෙන් ලිස්‌සලා වැටිලා කියලා කිව්වා. කව්රු හරි ඉක්‌මනට එන්න කියලත් කිව්වා.

"ඉන්පසු මමයි, මගේ බිරිඳයි, අනිත් දුවයි කොළඹ ජාතික රෝහලට ගියා. අපි එනකොට හවස 5.30 ට ඇති. අපි එනකොට දුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. මා ඇතුළට ගියේ නැහැ. බිරිඳ ගියා දුව බලන්න. දුව සිහිය නැතුව සිටියා. පසුව (18 දා) උදේ පාන්දර දුව මිය ගියා."

"රෝහලට දුවගේ යාළුවෝ ඇවිත් සිටියා. ඒ අය කිව්වේ දුව ලිස්‌සලා වැටුණා කියලා. එච්චර ලොකු විදිහට කිව්වේ නැහැ. වැඩි විස්‌තර අපට කිව්වේ නැහැ."

මෙහිදී කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියට කරුණු දැක්‌වූ කුරුඳුවත්ත පොලිසිය ප්‍රකාශ කර සිටියේ මෙම විශ්වවිද්‍යාල සිසුවිය විශ්වවිද්‍යාලයේ පංති ශාලා ඇති තට්‌ටු පහක ගොඩනැඟිල්ලකින් වැටී ඇති බවයි.

එම පස්‌වැනි තට්‌ටුවේ අඩි තුනක තාප්පයක්‌ අයිනේ මේසයක්‌ තිබුණු බවත්, එම ස්‌ථානයෙන් මෙම සිසුවිය බිමට වැටී ඇති බවත් පොලිසිය උසාවියට දන්වා සිටියේය.

මෙම සිසුවිය බිම වැටුණාද? පැන්නාද? කියා නොදන්නා බව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බවත් පොලිසිය උසාවියට දැනුම් දුන්නේය.මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම සාක්‌ෂියක්‌ ඉදිරිපත් වී නොමැති බවත් පොලිසිය උසාවියට දන්වා සිටියේය.


එහි තවත් විස්තර පහතින්

 
Related Posts with Thumbnails